ගමන් කරන ගල්වල අබිරහස

උතුරු ඇමෙරිකාවේ මොහාවි කාන්තාරයේ ඇති ඩෙත් නිම්නයේ සමහර ගල් තනිවම ගමන්කරන බවක්‌ පෙන්වයි. රේස්‌ට්‍රැක්‌ ලෙසින් හඳුන්වන ස්‌ථානය ඒ සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක්‌ ගනී. ගල් ගමන් කරනවා කිසිවෙකුත් දැක නැති වුණත් ගල් පසුපසින් වියළි සමතලා පොළවේ හීරී කාවැදී සටහන් වී ඇති දිග පාරෙන් පෙන්නුම් කරනුයේ කිසිවෙකු ඒවා බිම දිගේ ඇදගෙන ගිය බවකි. ඒවා ඇදගෙන ගියේ කවරෙක්‌දැයි අඟවන කිසිදු සාක්‍ෂියක්‌ දක්‌නට නොවේ.

ගල් ගමන් කළ බව දක්‌නට ලැබෙනුයේ වසර 2 කට හෝ 3 කට වතාවකි. ඒවා සියල්ලම එකම දිසාවට එක වෙලාවේදී ගමන් කරන බවක්‌ද දක්‌නට නොවේ. ගල්වල ගමන් මාර්ග අඩි 10 සිට සිය ගණනක්‌ දක්‌වා වෙනස්‌ විය හැකිය. සමහර ඒවායේ ගමන් මාර්ගය අංශක 90 කින් හැරුණ අවස්‌ථාත් දක්‌නට ලැබේ. ගමන්කරන ගල් ප්‍රමාණයෙන්ද වෙනස්‌ වේ. ඒවායේ විශ්aකම්භය අඟල් 6 ත් 18 ත් අතර පවතී.

සියවසක පමණ කාලයක පටන් දක්‌නට ලැබෙන ගල් ගමන්කිරීමේ අබිරහස සම්බන්ධව මත කීපයක්‌ම පවතී. එක්‌ මතයක්‌ වනුයේ එම ගල්වල නාඳුනන චුම්බක බලපෑමක්‌ ඇති බවයි. නමුත් මේ ගල්වල යකඩ වැනි චුම්බක මූලද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක්‌ අඩංගු නොවේ. චුම්බක ශක්‌තියක්‌ ඇති ගල් මෙන් ඒවා එක ස්‌ථානයකට රැස්‌ වන්නේද නැත. පොළව තෙත් වී අතිශයින්ම ලිස්‌සා යන බිමක්‌ නිර්මාණය වී තද සුළඟකින් ගල් චලනය වන බවට තවත් අදහසක්‌ වෙයි.

මේ අබිරහසට සුළඟ, උෂ්ණත්වය සහ ජලය යන තුනේම සම්බන්ධයක්‌ ඇතැයි සැලකීම වඩාත් නිවැරදි බවක්‌ පෙනේ. රේස්‌ට්‍රැක්‌ ස්‌ථානය වියළි වැව් පතුලක්‌ වූවත් එය සෑම විටම වියළී නොපවතී. වර්ෂාවකට පසුව හෝ වටේ ඇති කඳුවල හිම දිය වූ විට ජලය එකතු වේ. කැලිෆෝනියානු නිරීක්‍ෂකයෙකු වන බ්‍රයන් ඩනිං තම අත්දැකීම්වලට අනුව නම් මඩේ ඇලී පවතින ගලක්‌ එහා මෙහා කිරීම බොහෝ අපහසු බව පවසා සිටී. ජලය පිරී එවැනිම තත්ත්වයක්‌ නිර්මාණය වන රේස්‌ට්‍රැක්‌ ප්‍රදේශයේ ගල් ඇදගෙන යැමට හැකි තරම් සුළඟක්‌ පිළිබඳ සිතා ගැනීමට අපහසුය. ඔහු විස්‌තර කර පෙන්වා දෙන ආකාරයට ජලය ඇති විට සහ උෂ්ණත්වය ජලය මිදෙන තරමට පහත වැටුණ විට තුනී අයිස්‌ තට්‌ටුවක්‌ නිරීමාණය විය හැක. සුළඟ සමඟ වැව මතුපිට ඝන අයිස්‌ පාවෙන විට ලිස්‌සන මඩ පොළවේ ඇති ගලක්‌ තල්ලු කරගෙන යැම එම අයිස්‌තට්‌ටුවට එතරම් දෙයක්‌ නොවේ. සුළඟෙ දිශාව මාරු වන විට ඒ අනූව යමින් අයිස්‌ තට්‌ටුව වංගු සහිත පාරක ගල ඇදගෙන යයි.

නාසා ආයතනයේ නිරීක්‍ෂකයකු වන රල්ෆ් ලෝරන්ස්‌ ඩෙත් නිම්නයේ කාලගුණ තත්ත්වයන් අධ්‍යයනය කිරීමේදී මේ ගුප්ත ගල් පිළිබඳව කුතුහලයට පත් වූවෙකි. ඔහු එම අබිරහස විසඳීමට මේසය මත කරන පර්යේෂණයක්‌ ඉදිරිපත් කළේය. ලෝරන්ස්‌ ප්ලාස්‌ටික්‌ බඳුනකට අඟලක්‌ පමණ ගැඹුරට වතුර පුරවා එයින් උඩට මතු වී සිටින ප්‍රමාණයේ ගලක්‌ එය තුළට දැමුවේය. එය අධිශීතකරණයේ තැබූ පසු ගලක්‌ එබ්බවූ අයිස්‌ තට්‌ටුවක්‌ බවට පත්විය. ඔහු අයිස්‌වලින් බැඳුණු ගල ගෙන පතුලට වැලි දමා වතුර පුරවා ඇති විශාල බන්දේසියක තැබුවේය. ඉන්පසු ජලය හරහා ගල ගමන් කරවීමට සුළං පිඹීමක්‌ කෙරුණි. සුළඟ අනුව ගල එබ්බවූ අයිස්‌ තට්‌ටුව ගමන් කිරීමේදී ගලෙන් වැලි මත ඇදීයන මඟ සටහන් විය.

ඉහත පැහැදිලි කිරීම් සත්‍ය ලෙසම රේස්‌ට්‍රැක්‌ විලේ විය හැකි ඒවා වූවත් කිසිවෙකු දැක නැති නිසා සහ වාර්තාගත කර නැති නිසා ඔප්පු කිරීමට අපහසුය. ගලක එහා මෙහා යැමක්‌ දැකීමට විටක සෙල්සියස්‌ අංශක 37 ඉක්‌මවා යන පරිසරයක රැයක්‌ දවාලක්‌ නැතිව වසර ගණනක්‌ කෙනකුට මුරකිරීමට නොහැකිය. ඒ ඇරත් රේස්‌ට්‍රැක්‌ වැව්පතුල සැතපුම් 3 ක්‌ තරම් දිග සැතපුමකට වඩා පළල වූවක්‌ නිසා කෙනකුට බලාසිටිය හැක්‌කේ ගල් කීපයක්‌ දෙස පමණි. කෙනෙක්‌ වසර දෙකක්‌ පමණ සෙලවෙන්නේ නැති ගලක්‌ දෙස බලා හිඳින විට එම බිමේ වෙනත් තැනක ඇති ගලක්‌ කිසිවකුගෙවත් පරීක්‍ෂාවක්‌ නැතිව ගමන් කළ හැකිය.

වාසනාවකට තාක්‍ෂණ පහසුකම් නිසා ඒ තරම් අපහසු කාර්යයක්‌ දුර සිට පරීක්‍ෂා කිරීමේ හැකියාව ලැබී ඇත. 2013 දි විද්‍යාඥයන් පිරිසකට චලනය ක්‍රියාත්මක කල ජී. පී. එස්‌. ඒකක සහ වේලාව ඉක්‌මවන ඡායාරූපකරණය භාවිතා කර කාන්තාර බිමේ ගල් ගමන් කරන ආකාරය පළමු වරට ග්‍රහණය කර ගැනීමට හැකියාව ලැබුණි. වැවේ ජලය මත පාවුණු වීදුරු පතුරු වැනි තුනී කඩතොලු වූ අයිස්‌ තල මඟින් සුළඟත් සමග ගල් තල්ලු කර ගෙන යන ආකාරය එහිදී දකින්නට ලැබුණි. ගල්වල ගමන් පථය සුළඟේ වේගය සහ දිශාව මෙන්ම අයිස්‌ යටින් ගලා යන ජලය අනුව තීරණය විය. කෙසේ නමුත් විද්‍යාඥයන්ගේ වීඩියෝ පටයේ දැක්‌වුණේ කුඩා ගල් ගමන් කරන ආකාරයයි. ඔවුන්ගේ වීඩියෝ පටයෙ විශාල ගල් පර්වත අඟලක්‌ වත් සෙලවීමක්‌ සිදු නොවීය. ඒවා ගමන් කරන ආකාරය කිසිවකුත් දැක තිබුණේද නැත. පරීක්‍ෂණයට සහභාගි වූ විද්‍යාඥ පිරිසේ සාමාජිකයකු වන ඉංජිනේරු ජිම් නොරිස්‌ සමහර විට විශාල ගල් ගමන් කිරීම සම්බන්ධයෙන් වෙනත් ක්‍රියාවලියක්‌ බල පවත්වනවා ඇතැයි අදහස්‌ කරයි.

නිල්මිණි රාජපක්‍ෂ රදලගේ
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.