බෝම්බය නියම වෙලාවට පුපුරයි (1)

හොඳම හරිය හෙට!


ඉන්දියන් රුපියල් කෝටි 66 ක්‌ පමණ අයුතු ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් පෙරේදා (27 දා) දඩ සහ සිරදඬුවමකට යටත් කෙරුණ තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා සිරගෙදර බලා යනු පිණිස දැල් බස්‌ එකට ගොඩවන අතර කියා සිටියේ මෙය "දේශපාලන පළිගැනීමක්‌" බවය. මෙය මෙකල හිරේ යන ඕනෑම දේශපාලනඥයකු කියන සාමාන්‍ය කතාවය. මිනී මරා හිරේ ගියත්, ස්‌ත්‍රී දූෂණයක්‌ කර හිරේ ගියත් සල්ලි ගසා කා හිරේ ගියත් ඔවුහු තමන් දේශපාලන පළිගැනීමකට ලක්‌වූ බව කියති. තම වත්තේ වැට ගලවා අල්ලපු වත්තෙන් අඩියක්‌ ඇල්ලීමට යන දේශපාලනඥයා කැති පහර කා මියගිය විට "ජාතිය වෙනුවෙන් දිවි පිදූ දේශපාලනඥයාට නිවන් සැප ලැබේවා" යනුවෙන් බැනර් ගැසීමේ පුරුද්දක්‌ අපේ රටේ තිබේ. නිවාඩුවට ගමේ එන සෙබළෙක්‌ බස්‌ එකකට යටවී මියගිය විට පෝස්‌ටර් වදින්නේ "ජාතිය වෙනුවෙන් දිවිපිදූ" එහෙමත් නැතිනම් "රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ" යුද සෙබළාට නිවන් සැප ලැබේවා යනුවෙනි. ආසියානු සංස්‌කෘතිය යනු හරි පුqදුම එකකි. ආසියානු භාෂාවල ඇසට පෙනෙන තේරුම එකක්‌ වන අතර මිනිසුන්ට කෙරෙන තේරුම තව එකකි. රුපියල් කෝටි 66 ක්‌ ගසා කා හිරේ යන එකා තමන් දේශපාලන පළිගැනීමකට ලක්‌වූ බව කියත් නම් ඇත්තම දේශපාලන පළිගැනීමකට කියන නම කුමක්‌ද? ජයලලිතා හිරේ ගියේ අවුරුදු හතරකටය. ඇය බැංගලෝරයේ පිහිටි ප්‍රධාන හිර ගෙදරට ගෙන ගොස්‌ ඇරලවිය යුතු නමුදු ඇරලවන්නේ රෝහලකටය. ජයලලිතාට දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ හෘද රෝග තත්ත්වයක්‌ තිබේ. මෙය මේ මට්‌ටමේ සිටින උසස්‌ දේශපාලනඥයන් කාටත් හැදෙන අසනීප සමූහයකි. ඔවුන් කවර කුපාඩිකමක්‌ හෝ කර හිරේ යනවා කියා යන්නේ රෝහලකටය. මේ අනුව ජයලලිතාද ඉදිරි සිවු වසරක කාලය හොඳට තුන්වේල කා බී වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහලේ කාලය ගත කරනවා ඇත. ඉන්දියාව හා ලංකාව වැනි රටවල කෙළින්ම හිරේ යැමට නම් හොරෙන් පොල් කැඩිය යුතුය. කුඩු පැකට්‌ එකක්‌ සාක්‌කුවේ දමාගෙන පොලිස්‌කාරයකු ඉදිරිපිට නිතර එහා මෙහා ගොස්‌ ඔහුට හසුවිය යුතුය. එසේ නැතහොත් ගංජා, සුරුට්‌ටුවක්‌ ගැසිය යුතුය. මෙයින් අප අවධාරණය කරන්නේ කෙළින්ම හිරේ යන්නේ එක්‌තරා සමාජ පන්තියක්‌ පමණක්‌ බවය. ඉහළ පන්තියේ කෙනෙකු හිරේ යනවා කියා යන්නේ බන්ධනාගාර රෝහලටය.

ඉන්දියාවේ තිබෙන ඉතාම බලගතු නීතියක්‌ වන හරියටම හසු වුණොත් කිසිදු ගැලවිල්ලක්‌ නැති දූෂණ වැළැක්‌වීමේ ආඥපනත යටතේ තමිල්නාඩු පොලිසිය මගින් 1996 දී ජයලලිතාට විරුද්ධ නඩුව පවරන ලදී. ඇයට එරෙහි චෝදනාව වූයේ ඇය සන්තකයේ තිබූ ඉන්දියන් රුපියල් කෝටි 66 ක්‌ (ලංකාවේ මුදලින් කෝටි 140 ක්‌ පමණ) වටිනා නිවාස හා ඉඩ කඩම් 78 ක්‌, රත්රන් සහ රිදී කිලෝ විශාල ගණනක්‌, සමාගම් කොටස්‌ සමූහයක්‌ අත්පත් කර ගැනීමට මුදල් ලැබුණේ කොහෙන්දැයි පෙන්වීමට බැරි වීමය. ඇය මේ වංචනික අත්පත් කර ගැනීම් කර තිබුණේ 1991-96 තමිල්නාඩු මහ ඇමැති ධුරය දරන කාලයේදීය. අවිවාහක කාන්තාවක්‌ වූ ජයලලිතාට "හදාගත් පුතෙක්‌" විය. ඔහු විවාහ වන විට රත්තරන් කිලෝ 100 ක්‌ පමණ ද රුපියල් කෝටි ගණන් සල්ලිද, තවත් දේපළද ජයලලිතා ඔහුට දුන්නාය. සාමාන්‍ය චිත්‍රපට නිළියක ලෙස ජීවිතය පටන් ගත් ඇයට මෙතරම් සල්ලි කොහෙන්ද? සාමාන්‍ය නීතියට අනුව ලැබුණ මාර්ගයක්‌ පෙන්වීමට බැරි හැම සතයක්‌ම වංචනික මුදල්ය.

ජයලලිතාගේ නඩු තීන්දුව මේ රටේ දේශපාලනඥයන්ට ද කදිම පාඩමකි. අතේ සතේ නැතිව චාටර් වී දේශපාලනය පටන් ගෙන ඉතා කෙටි කාලයක්‌ තුළ කෝටිපතියන් වූ අයද අප අතර වෙති. ටෙලිනාට්‍යයක්‌ පෙන්වන විට පවා දේශපාලනඥයන්ට ජරාව යන කාලයකි මේ. ඒ ගැන හෙට මේ තීරුව ඔස්‌සේ කියවමු.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.