ඌව පළාත් සභා ඡන්දය නිම වීමත් සමගම පළාත් සභා නවයෙහි ම ඡන්දය අවසන් වී ඇත. අනෙකුත් පළාත් සභා ඡන්දවලට සාපේක්‍ෂව ඌවේ ඡන්දය වඩාත් උණුසුම් මුහුණුවරක්‌ ගත් අතර ඡන්දය ලබා දීමේ ප්‍රතිශතය 75% ක්‌ පමණ ඉහළ අගයක්‌ ගත්තේය. මෙම ඡන්ද ප්‍රතිඵල ගැන බොහෝ අය නොයකුත් විග්‍රහයන් කළ ද වඩාත් වැදගත් වන්නේ පසුගිය මැතිවරණ කිහිපයක්‌ සමග මෙම ප්‍රතිඵලය සැසදීමෙන් ඒ හරහා ඉදිරි ජනාධිපතිවරණයක දී ඇති වන තත්ත්වයන් පිළිබඳ විග්‍රහයක්‌ කිරීමයි.

ඌව පළාතේ බදුල්ල දිස්‌ත්‍රික්‌කය කවදත් එජාපයට වඩාත් වාසිදායක දිස්‌ත්‍රික්‌කයකි. 2004 සිට 2014 දක්‌වා ප්‍රධාන මැතිවරණ හයක දී මැතිවරණ හතරක්‌ ම බදුල්ල දිස්‌ත්‍රික්‌කය දිනා ඇත්තේ එක්‌සත් ජාතික පක්‍ෂයයි. නිදහස්‌ සන්ධානය ජයගෙන ඇත්තේ එයින් මැතිවරණ දෙකක්‌ පමණි. 2014 දී 44.79 ඡන්ද පදනමක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට ලැබුණත් මැතිවරණ හතරක දී ම 44% කට වඩා ඡන්ද පදනමක්‌ එජාපය ලබාගෙන ඇත. මේ අනුව මෙම ඡන්දයේ දී එක්‌සත් ජාතික පක්‍ෂය විශේෂ ලෙස ඉදිරියට ඒමක්‌ දක්‌නට නොලැබේ. මෙම මැතිවරණයේදී විශේෂයෙන් ම බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ දී එජාපයට වාසි බොහෝ තිබිණි. හරින් ප්‍රනාන්දු නමැති තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත් වී පළාත් සභාවට තරග කළ අතර කුල සාධකයත් ආගම් සාධකයත් යන කරුණු දෙකම ඔහුට වාසිදායක ලෙස පැවතිණි. එසේ ම සුළු ජාතික ඡන්දවලින් විශේෂයෙන් ම මුස්‌ලිම් ඡන්දවලට ආමන්ත්‍රණය කළ අතර එක්‌සත් සන්ධාන ලයිස්‌තුවේ කිසිදු මුස්‌ලිම් අපේක්‍ෂකයකු ඉදිරිපත් නොවීම නිසා වඩාත් වාසිදායක විය. එසේ ම දැනට මොණරාගලට හිමිව තිබෙන ප්‍රධාන අමාත්‍ය ධුරය බදුල්ලට යන තේමාව ද ඔහුට වඩාත් වාසිදායක විය. මේ නිසා බදුල්ලෙන් 44% ක්‌ වැනි ප්‍රතිශතයක්‌ ලබා ගත්ත ද ඉදිරි ජනාධිපතිවරණයක දී මෙම සාධක බොහෝමයක්‌ ඉවත් වන හෙයින් ලබාගත් ප්‍රතිශතය පවත්වා ගැනීම ද අපහසුවනු ඇත.

බදුල්ලේ තිබූ ආකර්ෂණය මොණරාගල දී නොමැති වූ අතර දැඩි නියං සමයක දී වුවද මොණරාගල දී ලබාගත හැකි වූයේ 31% ක ඡන්ද ප්‍රතිශතයක්‌ පමණි. මොණරාගල දී වඩාත් ආකර්ෂණීය චරිතය වූයේ ශශින්ද්‍ර රාජපක්‍ෂ මහතාය. එජාපය දිනන මාවතට පැමිණ ඇතිනම් බදුල්ලේ මෙන් මොණරාගල දී ද ඉහළ ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගත යුතුය. එසේ වුවද අඩු ඡන්ද ප්‍රතිශතයක්‌ ලැබීම නිසා මොණරාගල දී ජනාධිපතිවරණයක්‌ ජයග්‍රහණය කිරීම සඳහා ලබාගත යුතු 50% ලබා ගැනීම සඳහා ද ඉතා වෙහෙස කර කාර්යයක්‌ වනු ඇත.

එසේම දකුණ සහ බස්‌නාහිර පළාත් සභා ඡන්ද විමසීම මාර්තු මාසයේ දී අවසන් විය. පසුගිය දකුණු සහ බස්‌නාහිර පළාත් සභා ප්‍රතිඵල අනුව ද එජාපය ඉතා විශාල ලෙස ඉදිරියට පැමිණ ඇතැයි එජාපයේ නායකයෝ කියති. පළාත් සභා ඡන්දයට පෙර එජාපයේ වෙනස්‌කම් කිහිපයක්‌ ඇති කළ අතර එදා නායකත්ව මණ්‌ඩලයක්‌ පත් කර ඒ හරහා නායකත්වය දෙමින් පළාත් සභා ඡන්ද ව්‍යාපාරයට අවතීර්ණ විය. මේ නිසා දකුණු පළාතේ ගාල්ල ආසනය පමණක්‌ දිනාගත් අතර තිස්‌සමහාරාමයේ දී ඡන්ද ප්‍රතිශතය ද යම්තාක්‌ දුරට වර්ධනය කරගෙන ඇත. මෙම වැඩිවීමට ප්‍රධාන හේතුව වූයේ කුල පදනමේ පිහිටා ලබාදුන් ඡන්ද ප්‍රමාණය නිසාය. එසේම ගාල්ල ආසනය එජාපය දිනීමට හේතු ගණනාවක්‌ පැවතිණි. ගාල්ලේ මුස්‌ලිම්වරු විශාල වශයෙන් එජාපයට ඡන්ද භාවිතා කළේය. මෙය එක්‌ ප්‍රධාන සාධයක්‌ විය. මේ පිළිබඳ වඩාත් වැදගත් ආදර්ශයක්‌ දුන්නේ අමරසිරි දොඩංගොඩය. 1993 පැවති පළාත් සභා ඡන්දයේදී බොහෝ ආසනවල පොදුජන එක්‌සත් පෙරමුණට බොහෝ වාසිදායක වුවද ගාල්ල ආසනය කවදත් එජාපය දිනන නිසාමත් එසේ දිනන්නේ මුස්‌ලිම් ඡන්දවලින් බවත් හඳුනාගත් දොඩංගොඩ මහතා ආසමි හමාඩ් නමැති මුස්‌ලිම් ව්‍යාපාරිකයා ලැයිස්‌තුවට ඉදිරිපත් කර දකුණ දින්නාම ලැබෙන බෝනස්‌ මන්ත්‍රී ධුරය ගාල්ලේ ආසමි හමාඩ්ට දෙනවා යන්න සටන් පාඨකයක්‌ ලෙස මුස්‌ලිම්වරු අතරට ගෙන ගියේය.

පොදු පෙරමුණ පළාත් සභා ජයගත් අතර ගාල්ල මනාප ලැයිස්‌තුවේ අන්තිමයා වූ ආසමි හමාඩ් පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස නම් කෙරිණි. අතීතයේ ජයග්‍රහණ සඳහා ලබාදෙන හොඳම පාඩම මෙයයි. මෙවැනි ඉතිහාසයක්‌ දන්නා නිදහස්‌ සන්ධානය බදුල්ලේදී කිසිදු මුස්‌ලිම් අපේක්‍ෂකයකු නම් නොකිරීම සහ සන්ධානයේ විවිධ පක්‍ෂ තනිව තරග කිරීමත් නිසා බදුල්ලේ ඡන්ද ප්‍රතිශතය අඩු වී ඇත.

ජවිපෙ සහ නව නායකත්වය

ජනතා විමුක්‌ති පෙරමුණු විප්ලවවාදී වාමාංශික පක්‍ෂයක්‌ වූ නිසාම රටේ තරුණ කොටස්‌ අතර විශේෂ ජනප්‍රිය පක්‍ෂයකි. 2004 දී පොදුජන එක්‌සත් පෙරමුණට සහයෝගය ලබාදී ඉතා විශාල ඡන්ද පදනමක්‌ සහිතව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 37 දෙනකු සිටි පක්‍ෂයක්‌ විය. 2005 දී මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය ලබාදුන් අතර 2010 දී ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට සහයෝගය ලබාදෙන අතර 2010 මහා මැතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතා සමග එක්‌ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (DNA) යටතේ තරග වැදි සාපේක්‍ෂව ඉහළ ඡන්ද පදනමක්‌ ලබා ගැනීමට සමත් විය. පසුව සරත් ෆොන්සේකා මහතා සමග ඇති පෙරමුණෙන් ඉවත් වී නැවත 2014 දී ජවිපෙ තනි පක්‍ෂයක්‌ ලෙස තරග කළේය. පළාත් සභා දෙවැනි පෙළ තරගයෙන් වුවද ඉදිරිපත් කළේ තමන්ට සිටි හොඳම කණ්‌ඩායමයි.

ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ඡන්ද පදනම තිබුණේ දකුණේය. තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාව ජවිපෙ සතු විය. එවිට සන්ධානය ඡන්ද ප්‍රමාණය අතින් දෙවන තැනට තල්ලු විය. මේ නිසා සන්ධානයේ ඡන්ද පදනමට විශාල බලපෑමක්‌ තිබිණි. 1994 දී ජවිපෙ ප්‍රථම මන්ත්‍රීවරයා වූයේ නිහාල් ගලප්පත්තිය. 1994 දී ජවිපෙ මනාප ලැයිස්‌තුවේ පළමුවැනියා වෙනුවට නිහාල් ගලප්පත්ති මහතා මන්ත්‍රී ධුරයට පත් කළේය. ගලප්පත්තිලාට දකුණේ පවතින ඡන්ද පදනම වඩාත් ප්‍රගුණ කළ සාධකයක්‌ වන්නේ සන්ධානයේ සිට එජාපයට පැමිණි චතුර ගලප්පත්ති මහතා මාතර එජාප ලැයිස්‌තුවේ පළමු වැනියා වීමය. මේ නිසා දකුණේ විඡේවීරලා, ගලප්පත්තිලාගෙන් සැදුණු ජවිපෙ ඡන්ද පදනමට බස්‌නාහිරදී සහ දකුණේ දී ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් බලපෑම් ඇති වූ අතර ඌවේ දී හරින් ප්‍රනාන්දු ඉදිරිපත් වීම හරහා දකුණේ හා බස්‌නාහිර පළාත් සභාවල දී ලබාගත් ඡන්ද ප්‍රතිශතය කරා ළඟාවීමට ජවිපෙ බොහෝ දුරට අසමත් වී ඇත. මේ නිසා ම ඉදිරි ජනාධිපතිවරණයක දී තුන්වැනි අපේක්‍ෂකයා ලෙස තනිව ඉදිරිපත් වීම සහ ඒ හරහා අන් අපේක්‍ෂකයන්ගේ ඡන්ද පදනමට ඇති කළ හැකි බලපෑම ගැන මීට වඩා සැලකිලිමත් ලෙස සලකා බැලීම ජවිපෙට අතිශයින්ම වැඩදායක වනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සහ සිව්වන බලවේගය

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය නව පක්‍ෂයකි. ඔවුන් බස්‌නාහිර දී ජවිපෙ ඉක්‌මවා ඡන්ද පදනමක්‌ ලබා ගත්තේය. එයට අලුත් සාමාජිකයන් බඳවාගත යුතුවේ. මෙලෙස එම පක්‍ෂයට එකතු වන්නේ බොහෝ විට එජාපයේ ජවිපෙ සහ සන්ධානයෙන් ඈත් වන කොටසය. විශේෂයෙන්ම දකුණු සහ බස්‌නාහිර පළාත් සභා මැතිවරණයේ දී එජාපයේ ඡන්ද පදනමට විශාල හානියක්‌ සිදු කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයයි. මෙහිදී වඩාත් කැපී පෙනෙන සිද්ධියක්‌ වන්නේ එජාපයේ දක්‍ෂ සහ ප්‍රසිද්ධ අපේක්‍ෂකයන් ඉදිරිපත් කළ විට ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය හතර වැනි තැනට තල්ලු වී යාමයි. මෙම ලක්‍ෂණය වඩාත් ප්‍රකට වූයේ ඌව පළාත් සභා ඡන්දයේ දී ය. ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය තනි පුද්ගලයෙක්‌ මත බොහෝ දුරට කුල සාධකය මත රැඳුණු පක්‍ෂයකි. මේ නිසා කුල සාධකය මතම පක්‍ෂයේ ඉදිරි තීරණය කිරීම අතිශයින් ම අවදානම් තත්ත්වයකි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායකත්වය තමන් පිළිබඳ ස්‌වයං අධ්‍යයනයක්‌ කිරීමය. ඔහු දේශපාලනයට ගෙනා ජවිපෙ සමග ඇයි හොඳයිකම් අඩුය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ මන්ත්‍රීවරු හයදෙනා අතරින් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සමග සිටින්නේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පමණි. ජ.වි.පෙ. මන්ත්‍රීවරු තිදෙනා ඉවත් කළ විට ඉතිරි මන්ත්‍රීවරු දෙදෙනා වන අර්ජුන රණතුංගත් ටිරාන් අලසුත් ස්‌වාධීන මන්ත්‍රීවරුන්සේ ක්‍රියා කරයි. තමන් සමග ටික කාලයකට වඩා අන් අයට සිටින්නට බැරි වන්නේ ඇයි දැයි සොයා බැලිය යුතුය. එසේ නොවුණ හොත් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට අත්වන ඉරණම පහසුවෙන් සිතාගත හැකිය. මේ නව ප්‍රවණතාවය දෙස ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය නැවත සලකා බැලිය යුතුය. 2004 දී ජාතික හෙළ උරුමය මාස 02 ක්‌ වැනි ඉතා කෙටි කාලයක්‌ තුළ දී කොළඹදී ලබාගත් ජන පදනමට ළඟා වන්නට ඔවුන්ට තවමත් බැරි වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය තම ඡන්ද පදනම වර්ධනය කර ගන්නේ නම් එය ජවිපෙ සහ එජාපයේ වර්ධනයට ප්‍රශ්නයක්‌ ඇති කිරීමට සමත් වනු ඇත. එසේ ම එජාපයේ හෝ ජවිපෙ ඡන්ද පදනම වර්ධනය වේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට අහිත කර ලෙස බලපානු ඇත.

සන්ධානයට ඡන්ද අහිමිවීමට වෙනත් හේතු ගණනක්‌ බලපෑවේය. ජීවන වියදම පිළිබඳ ප්‍රශ්න බොහෝ විට ඉස්‌මතු විය. එසේ ම සමාජයේ විවිධ අකටයුතුකම් මැඬලීමට අපොහොසත් වන්නේය යන විපක්‍ෂයේ මතයත් සන්ධානයට අවාසිසහගත විය. එසේම මුස්‌ලිම්වරුන් සහ රජය අතර යම් අමනාපයක්‌ ඇති වන සේ විවිධ ක්‍රියාකාරකම් නිර්මාණය විය.

බදුල්ලේ දී ඉන්දියානු සම්භවයක්‌ සහිත ද්‍රවිඩ ජනයා පිළිබඳ විශේෂ සැලකිල්ලක්‌ දැක්‌වූ බව සන්ධාන අපේක්‍ෂක ලැයිස්‌තුවෙන් මොනවට පැහැදිලි වන අතර තේරී පත් වූ අපේක්‍ෂකයන් නමදෙනා අතරින් තිදෙනෙක්‌ ම ද්‍රවිඩ මන්ත්‍රීවරුන් වේ. එම සැලකිල්ල මුස්‌ලිම් ඡන්දදායකයන් කෙරෙහි නොදැක්‌වූයේ මන්දයන්න ප්‍රශ්නකාරී වේ. බදුල්ල වැනි බහුවාර්ගික ඡන්ද පදනමක්‌ ඇති දිස්‌ත්‍රික්‌කවල දී තම අපේක්‍ෂක ලැයිස්‌තුව කෙරෙහි මෙන් ම සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මුස්‌ලිම් කණ්‌ඩායමට මීට වඩා සැලකිල්ලක්‌ දැක්‌විය යුතු බව මේ මැතිවරණ ප්‍රථිපල වලින් පෙනී යයි. යම් තරමක්‌ දුරට මුස්‌ලිම් ඡන්දදායකයන් සන්ධානයෙන් ඈත්ව ගොස්‌ හෝ ඡන්දය නොදී සිටීම පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

මහාචාර්ය
සුදන්ත ලියනගේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
 

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.