පාතාලයේ "කළු චූටි" වෙඩි කා නසී

හේමන්ත රන්දුණු

මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ, කප්පම් ගැනීම්, හෙරොයින් ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධ සිදු කරමින් වැල්ලම්පිටිය ප්‍රදේශයම භීතියට පත් කරගෙන සිටි "කළු චූටි" නමැති පාතාල ප්‍රබලයා කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ (28 වැනිදා) අලුයම මිය ගියේය.

මෙම පාතාල ප්‍රබලයා මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඔහු සඟවා ගෙන තිබූ ආයුධ කිහිපයක්‌ පෙන්වීමට රැගෙන යද්දී පොලිස්‌ නිලධාරින්ගෙන් මිදී පලායැමට උත්සාහ කළ අවස්‌ථාවේ මෙලෙස වෙඩි තබා තිබේ.

එසේ මරුමුවට පත් වූයේ විසිහතර හැවිරිදි පාළුගේ හිරාන් දර්ශන ගුණවර්ධන නොහොත් වැල්ලම්පිටියේ කළු චූටි නමැති අපරාධකරුය.

පොලිස්‌ නිලධාරියකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබිණි.

මහා පරිමාණ හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධවල නිරතව සිටි මෙම පාතාල ප්‍රබලයා වැල්ලම්පිටිය ප්‍රදේශය පුරා සිය අණසක පතුරුවා ගෙන සිටි බව කියයි. මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක නිමල් කරුණාරත්න කොස්‌තාපල් (857) විපුල ඇතුළු නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීය.

කළු චූටිගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ කල්ලියට අයත් තවත් අපරාධකරුවන් දෙදෙනකු දෙමටගොඩ ප්‍රදේශයේ දී පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

කළු චූටි නමැති පුද්ගලයා අපරාධ සඳහා යොදාගත් ආයුධ කිහිපයක්‌ චාමර නමැති පුද්ගලයකු විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා ගෙන සිටි බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

පොලිස්‌ නිලධාරීන් මෙම සැකකරු සමග වැල්ලවත්ත ප්‍රදේශයට ඊයේ අලුයම පිටත්ව ගොස්‌ ඇත්තේ අවි ආයුධ අත්අඩංගුවට ගැනීමටය. සැකකරු කොළඹ, කුරුඳුවත්ත, රාජකීය මාවත ප්‍රදේශයේදී ජීප් රථය පැදවූ කොස්‌තාපල් (44836) රත්නායක මහතාගේ ගෙල දෑතේ දමා තිබූ විලංගුවලින් තදකර පලා යෑමට උත්සාහගෙන ඇත. එහිදී පොලිසිය කළ වෙඩි තැබීමේදී සැකකරු මියගිය අතර ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබුණු නුග ගසක වැදී අනතුරට පත්විය.

කළු චූටිගේ ග්‍රහණයට හසුවූ තුවාල ලැබූ පොලිස්‌ කොස්‌තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු වැල්ලම්පිටිය, සාලමුල්ල ප්‍රදේශයේ දී 2007 වසරේ පෙබරවාරි 20 වැනිදා සමිත නලින්ද නොහොත් "සෝයි" නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම, වැල්ලම්පිටියේදීම 2010 වසරේ අගෝස්‌තු 01 වැනිදා සුදත් ප්‍රියදර්ශන නමැති පොලිස්‌ නිලධාරියා ඝාතනය කිරීම, ප්‍රතිවිරුද්ධ පාතාල සාමාජිකයකු වූ චමින්ද සම්පත් නොහොත් හැමිල්ටන් බබා 2014 ජනවාරි 06 වැනිදා කපාකොටා ඝාතනය කිරීම වැල්ලම්පිටිය, සිංහපුරය ප්‍රදේශයේ දී නුවන් සංජීව නමැත්තා ඝාතනය කිරීම යන අපරාධවලට චෝදනා ලැබූවකි.

ඉකුත් අගෝස්‌තු 17 වැනිදා දහසය හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු වූ දුලාඡ් මධුශංඛ කපාකොටා බරපතළ තුවාල සිදුකිරීමද මොහුට එරෙහි චෝදනා අතර වේ.

බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ පූර්ණ අධීක්‌ෂණය යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක නිමල් කරුණාරත්න, කොස්‌තාපල් 857 (විපුල) සැරයන් (56958) ප්‍රසන්න (33456), කොඩිතුවක්‌කු (81600) සමීර, (40248) ප්‍රසන්න, (44836) රත්නායක, යන නිලධාරීන් විසිනි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.