කෝටි 1 1/2 ක රන් බිස්‌කට්‌ සමඟ
ගුවන් තොටුපළ සේවකයා රේගු දැලේ

අනුර බාලසූරිය සහ ප්‍රභාත් විතාන

හොර රහසේ රට තුළට ගෙන ඒමට තැත් කළ කිලෝග්‍රෑම් තුනක්‌ බරැති රුපියල් එක්‌කෝටි පනස්‌ ලක්‍ෂයක රන් බිස්‌කට්‌ තොගයක්‌ සමඟ ගුවන්තොටුපළ සේවකයකු ඊයේ (28 දා) අලුයම කටුනායක ගුවන්තොටුපළ ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

සිංගප්පූරුවේ සිට ඊයේ අලුයම ගුවන් මගින් පැමිණ ඇති ශ්‍රී ලාංකිකයකු මෙම රන් බිස්‌කට්‌ තොගය ගුවන් තොටුපළ පර්යන්තයේ වැසිකිළියක්‌ තුළදී ගුවන් තොටුපළ සේවකයා අතට පත්කර තිබේ.

මෙම ගුවන් තොටුපළ සේවකයා රන් තොගය හොර රහසේ පිට කිරීමට දණ හිස්‌ ආවරණ ලෙසට තම දණහිස්‌ දෙකේ පාර්සල් දෙකකට ගැටගසා ගෙන වැසිකිළිය තුළ සිටියදී ගුවන්තොටුපළ ආරක්‍ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බව රේගු අධ්‍යක්‍ෂ (නීති) මාධ්‍ය ප්‍රකාශක ලෙස්‌ලි ගාමිණී මහතා පැවසීය.

මහනුවර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ක්‌ වයසැති මෙම පුද්ගලයා රන් බිස්‌කට්‌ සමඟ රේගු නිලධාරීන්ට භාර දී ඇත.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ රන්ජන් හේවාගම මහතාගේ මෙහෙයවීම මත රේගු අධිකාරීන් වන ඩී. එම්. ජී. නිමල්තිලක, අමිත් උදයපාල, ඡේ. කේ. ආරියදාස, පියතිස්‌ස පතිරණ, නියෝජ්‍ය රේගු අධිකාරීන් වන අනුර කන්කානිගේ, පී. එල්. වනිගසිංහ, පී. එම්. යූ. අයි. විඡේපාල, සහකාර රේගු අධිකාරීන් වන රුවන්වැල්ල අල්විස්‌, එල්. එන්. ජයසුන්දර යන මහත්වරු පරීක්‍ෂණ පවත්වති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.