ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස්‌ ස්‌ථානාධිපතිට ඇප

මීගමුව සමූහ - විමල් කීර්ති

සිය දරු මුණුබුරන්ට දේව ආසිරි පතා සැඳෑ දේවමෙහයකට සහභාගි වී නිවස කරා යමින් සිටි 73 හැවිරිදි දෙදරු මවක්‌ අනතුරකට ලක්‌කොට මරණයට පත්කිරීම සම්බන්ධයෙන් සීදූව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික ළමා රක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස්‌ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපතිවරයා අනතුරට ලක්‌වූ පාර්ශ්වයට රුපියල් පනස්‌දහසක සානුකම්පිත දීමනාව ගෙවීම සැලකිල්ලට ගත් මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා එම සැකකරු රුපියල් දසදහසක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත අත්අඩංගුවෙන් මුදා හැරීමට (25 දා) නියෝග කළේය.

ඇප මත මුදාහළ සැකකරුවූයේ ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති කටාන පහළ කඳවල තිඹිරිගස්‌කටුව පදිංචි ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක බන්දුජීව වීරසිංහ බෝපිටිගොඩ මහතාය. ඔහුට එරෙහි සීදූව පොලිසිය ගොනුකළ පැමිණිල්ලේ සඳහන් වන පරිදි අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ කොළඹ පාර කුරණ කටුනායක පදිංචිව සිටි 73 හැවිරිදි එම්. ඩී. එල්. විලියම් මහත්මියයි. අනතුර සිදුවූ 24 වැනි දින ඇය කුරණ - කටුනායක මෙතෝදිස්‌ත දෙව්මැදුරේ සවස පැවැති ආසිරි දේව මෙහෙයට සහභාගී වී රාත්‍රි 7.30 ට පමණ තම නිවසට යැම සඳහා පාර හරහා ගමන් කරද්දී අනතුරකට ලක්‌ව ඇත. එම වාහනය ධාවනය කර ඇත්තේ මෙම සැකකරු විසිනි. මෝටර් රථයේ ගැටුණු වයෝවෘද්ධ කත වාහනයේ දැවටී ඉදිරියට ඇදීගොස්‌ එම ස්‌ථානයේදීම මරණයට පත්ව ඇත.

සීදූව පොලිසිය පැමිණිල්ල මෙහෙය වීය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රීමාල් අමරසිංහ මහතා පෙනී සිටියේය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ඉරෝමා දිසානායක මෙනවිය පෙනී සිටියාය. වැඩිදුර විභාගය නොවැම්බර් මස 13 වැනිදා පැවැත්වෙයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.