හලෝ චීෆ් මං නෝමන් දොරට වැඩුම අද

(අද සවස තුනට බෞද්ධා ලෝක මාවතේ බෞද්ධ සම්මේලන ශාලාවේදී නෝමන් පලිහවඩනගේ "හලෝ චීෆ් මං නෝමන්" ග්‍රන්ථය දොරට වැඩීම නිමිත්තෙනි.)


නෝමන් පලිහවඩන නමැති මෙම සුවිශේෂී පුද්ගලයා මට ප්‍රථම වරට හමුවූයේ ඥනාර්ථ ප්‍රදීපය පුවත්පතේ මා ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස සේවය කරන සමයේදීය.

ඉන්පසුව මා ලේක්‌ හවුස්‌ පුවත්පත් කාණ්‌ඩයේ සේවය කළ වකවානුවේදී මුණ ගැසුණු මොහුගේ ක්‍රියා කලාපය මා තදින්ම සිත්ගත් අතර විවිධ වාර්තා සහ තොරතුරු ලබා ගැනීම සඳහා මොහුට තිබූ සහජ දක්‍ෂතාවය පිළිබඳව මම ඇත්තවශයෙන්ම විමතියට පත් වූයෙමි.

වාර්තාවක්‌ ලබා ගැනීම සඳහා අපට පියමං නැඟීමට බිය හිතෙන සමහර අය වෙත ඔහු ගමන් කළේ සිංහ රාජයෙකු ලෙසිනි.

උසස්‌ යෑයි සම්මත දේශපාලනඥයින් මෙන්ම රාජ තේජසින් විරාජමානව වැජඹෙන උසස්‌ රජයේ නිලධාරීන් සැවොම මොහු ඇමතුයේ එකම විලාශයකිනි.

"චීෆ් මං නෝමන්" කී සෑම මොහොතකම ඔහුට සවන්දෙන අනිත් කොනේ සිටින නිලධාරියා දුරකථනය තුළින් ඔහුට පිළිතුරු දෙන්නේ ඔහුගේ වසඟයට පත්වූවා සේය.

මාධ්‍ය තුළින් ඔහු මෙතෙක්‌ හෙළිදරව් කර ඇති විශේෂ වාර්තා සහ පිළිසඳර තුළින් ඉහත සඳහන් ඔහුගේ සහජ දක්‍ෂතාවය මනාව ප්‍රත්‍යක්‍ෂ වේ.

සාමාන්‍ය පුද්ගලයෙකුට නොව විශේෂ හැඳුනුම්පතක්‌ ඇති මාධ්‍යවේදියකුට පවා ඇතුළු වීමට සිතන්නටවත් බැරි දැඩි ආරක්‍ෂා සහිත ස්‌ථානවලට ඔහු ඇතුළු වූ එක්‌ අවස්‌ථාවක්‌ මට ඉතා හොඳින් මතකය.

දැඩි මුරකාවල් යොදා තිබුණු එක්‌තරා රජයේ ආයතනයකට ඔහු ඇතුළුවූ අයුරු මටම සිතාගත නොහැකි විය. ඔහු සමග එකට ගිය මම අතරමඟදී නතර වුණෙමි. ඊට හේතුව වූයේ මා තුළ දැනුනු අධික බියය. "උඹට බැරිනම් හිටපන්, ඔන්න බලපන් මම යන හැටි" කියා ඔහු ගියේ වීරයෙකු ලෙසිනි.

වෙන්නට යන්නෙ කුමක්‌දැයි මම හද ගැස්‌මෙන් යුතුව බලා සිටියෙමි. එම ආයතනයේ බලයලත් නිලධාරීන් එහා මෙහා යද්දී ඔහු ඒ අය ගමන් ගන්නා වේගයෙන්ම ගේට්‌ටුව පසුකර ගියේය. මුරට සිටි භටයෙකු ඔහුගෙන් යමක්‌ ප්‍රශ්න කළේය. ඔහු එයට පිළිතුරු දුන්නේද සිංහලෙන් නොව ඔහුට සෑහෙන දැනුමක්‌ ඇති ලතින් භාෂාවෙනි. ඔහු නොනවත්වාම මොන මොනවාදොa කියමින් ඉදිරියටම ගියේය. එවිට තවත් උසස්‌ නිලධාරියෙක්‌ පැමිණ "මොනවද එයා කියන්නේ" යෑයි ඇසීය. එවිට කලින් සිටි මුර භටයා මොනවාදොa කියනවා සර් මට ඒවා තේරෙන්නෙ නැහැයි" කීය. ඔන්න ඔහේ ගියාවේ" තමා උන්නු තැනට යනවා යෑයි කියූ උසස්‌ නිලධාරියා වෙනත් රාජකාරියකට පිටත්ව ගියේය.

පුවත්පත් ආයතනයේ සුළු සේවකයාගේ මෙන්ම කර්තෘ මණ්‌ඩලයේ සහ අධ්‍යක්‍ෂතුමන්ලාගේද සිත් දිනාගෙන සිටින සැබෑ මානව දයාවකින් පිරි අවංක හදවතක්‌ ඇති මොහුගේ ජීවිතයේ තවත් එක්‌ අංගයක්‌ වන්නේ වාර්තාකරණය සඳහා හාස්‍ය රසයද ගැබ් කිරීමය.

එක්‌තරා විදේශීය රාජ්‍ය නායකයන් මුණ ගැසෙන රැස්‌වීමක්‌ ආවරණය සඳහා මොහුද සහභාගි විය. එහි නායකයන් කතා පැවැත්වූයේ ඔවුන්ට ආවේණික (ජර්මන්) භාෂාවලිනි. පරිවර්තකයෙක්‌ ඒ අතරේ සිsටි නමුත් ඔහු වෙනත් කාර්යයක නිරතව සිටි බැවින් මෙම කතා වලින් කියෑවෙන්නේ කුමක්‌දැයි කිසිවෙකුට හෝ දැන ගත නොහැකි විය.

මේ අවස්‌ථාවේ එතැනට ගිය නෝමන් තම පොතේ වහවහා එම කතා සටහන් කරන්නට විය. එකිනෙකා මුහුණට මුහුණ බලා ගත්හ. සමහරු නෝමන්ගෙන් එක එක දේ විමසූහ. එවිට නෝමන් තම මුවට ඇඟිල්ල තබා ඔවුන්ට නිශ්ශබ්ද වන ලෙස ඉඟිකොට නොනවත්වාම ලියන්නට විය. අනිත් සැවොම ගල් ගැසුණාක්‌ මෙන් එකත්පස්‌ව සිටියහ.

එදින දහවල් 12.45 ප්‍රවෘත්තිවලට එම රැස්‌වීමේ වාර්තාව නිවේදනය කෙරුණි. එම කතාව හා නෝමන්ගේ කතාවෙහිද කිසිම වෙනසක්‌ නොවීය.

"ඒ භාෂාව නොදැන උඹ ඒ වාර්තාව ලියුවේ කෙසේදැයි" මම නෝමන්ගෙන් විමසුවෙමි. "මොනවද මචං විදේශීය රටක ඕනෑම නායකයෙක්‌ ලංකාවට ආපුවාම කියන්නේ දෙරටේ සම්බන්ධය ඈත අතීතයේ සිටම තිබුණා. එය යළිත් හොඳින් වර්ධනය කොට එකිනෙකාට සහයෝගය දෙමින් සාමකාමීව ජීවත් වීමයි. ඕක එතරම් දෙයක්‌ද මම ඔය ජර්මන් භාෂා ගැන දන්න කෙහෙල් මලක්‌ නැතැයි මම ඒ කතාව ලීවේ හිතලා" යෑයි ඔහු කීය.

මේ අතර මුළු රට පමණක්‌ නොව විදේශීය ජනයාද මවිතයට පත්කළ සේපාල ඒකනායක විසින් ගුවන් යානයක්‌ මංකොල්ල කෑමේ වාර්තාවද දිවයිනේ පළවූයේ නෝමන්ගේ දක්‍ෂතාවය තුළිනි.

අද මෙන් නොව එදා පහසුකම් සහිත දුරකථන නොවීය. දිවයිනට තිබුණේ සමාන්තර දුරකථන තුනකි. එවිට කර්තෘ ධුරය හෙබවූ එඩ්මන් රණසිංහ මහතා කර්තෘ මණ්‌ඩලයට නියෝග කළේ එම වාර්තාව කෙසේ හෝ ඉක්‌මනින්ම ලබා ගන්නා ලෙසය.

කළ හැකි කිසිවක්‌ නොතිබුණු අතර දැඩි අධිෂ්ඨාන ශක්‌තියක්‌ මවාගත් නෝමන් කෙලින්ම ඇමතූයේ ලේක්‌හවුස්‌ සභාපති ආර්. බෝධිනාගොඩ මහතාටය. ඒ නෝමන් පළිහවඩන වශයෙන් නොව ජපන් මාධ්‍ය ආයතනයේ නිලධාරියකු වශයෙන් ජපන් හා ඉංගී්‍රසි මිශ්‍රිත භාෂාවකිනි.

විදේශිකයකු තමා අමතන අවස්‌ථාවේ එහි භාරදූරත්වය වටහාගත් බෝධිනාගොඩ මහතා එම තොරතුරු වහාම නෝමන්ට නිකුත් කරන ලෙස ලේක්‌ හවුස්‌ බලධාරීන්ට නියෝග කළේය.

ඉන්පසුව එම තොරතුරු දුරකථනය මගින් නිකුත් කළ අතර ක්‍රීඩා අංශය භාරව සිටි අසෝක ගුණතිලක හා ස්‌ටැන්ලි ප්‍රේමරත්න යන මහත්වරුන් විසින් ක්‍ෂණිකවම සටහන් කර ගනු ලැබිණි.

දිවයින පත්‍රයේ පළ වූයේ එසේ ලබාගත් වාර්තාවය.

එවැනිම තවත් සිද්ධියක්‌ද මා සිහියට නැඟේ. එනම් චන්ද්‍රිකා බණ්‌ඩාරනායක රජය සමයේදී සිරගත කරනු ලැබූ එස්‌. බී. දිසානායක මහතාගේ ප්‍රථම ඡායාරූපය ගැනීමට ද හැකි වූයේ ඔහුට පමණකි. පුවත්පත් කලාවේ නියුතු කිසිම ඡායාරූප ශිල්පියෙකුට කළ නොහැකි වූ ක්‍රියාවක්‌ මගින් ඔහුට එම ඡායාරූපය ගැනීමට හැකිවිය. මේ සඳහා ඔහු කළේ දිසානායක මහතා ප්‍රතිකාර ලැබූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසික රෝගියකු ලෙස රඟපෑමය. දින තුනක්‌ එහි නැවතී සිටි ඔහු තමා තුළ සඟවාගෙන තිබූ කුඩා කැමරාවක්‌ මගින් දිසානායක මහතාගේ අලුත්ම ඡායාරූපය ගෙන දිවයිනට සැපයීය.

එස්‌. කේ. ඡේ. කුරේරා
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.