ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂට ආචාර්ය උපාධියක්‌

ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතාට කොළඹ විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය (දර්ශනශූරී) උපාධියක්‌ පිරිනමා ඇත.

ඒ ඔහු විසින් ඉදිරිපත් කර ඇති "1978 දෙවැනි ජනරජ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමෝපාය තහවුරු කිරීමට යොදා ඇති තුළනාත්මක සුරක්‍ෂිතතාවන්හි සඵලතාව" නමැති පර්යේෂණ නිබන්ධය වෙනුවෙනි. මෙය දේශීය හා විදේශීය පරීක්‍ෂකයන්ගේ නිරීක්‍ෂණය මත සිදු කරන ලද පර්යේෂණයකි.

මෙය විජයදාස රාජපක්‍ෂ මහතාට ලැබුනු දෙවැනි ආචාර්ය උපාධියයි. මෙයට පෙර ඒ මහතාට කැලණිය විශ්වවිද්‍යාලය මගින්ද ආචාර්ය උපාධියක්‌ පිරිනමනු ලැබීය.

මේ අනුව ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගෙන් පසු ආචාර්ය උපාධි දෙකක්‌ ලබා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට විජයදාස රාජපක්‍ෂ මහතා පත්ව ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධරයකු වන රාජපක්‍ෂ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්‌ත්‍රපති හා දර්ශනපති උපාධි ද ලබාගෙන තිබේ.

ඒ මහතා ජනාධිපති නීතිඥ පදවියක්‌ ලැබූ ළාබාලම නීතිඥවරයා ද වේ. ශ්‍රී ලංකා පුවත්පත් මණ්‌ඩලයේ සභාපතිවරයා වශයෙන් ද කලක්‌ කටයුතු කොට ඇති රාජපක්‍ෂ මහතා නීතිය පිළිබඳව හා ජනමාධ්‍ය භාවිතය පිළිබඳව ද ග්‍රන්ථ ගණනාවක්‌ පළ කොට ඇත.

ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ පසුගියදා පැවැති කොළඹ විශ්වවිද්‍යාලීය උපාධි ප්‍රදානෝත්සවයේදී රාජපක්‍ෂ මහතා උපාධිය ලබාගත් අවස්‌ථාවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.