බලය දෙදරා හිරගෙය නියම වූ "තමිල්නාඩුවේ අම්මා"

තමිල්නාඩුවේ මහ ඇමැති ජයලලිතා ජයරාම්ගේ බලය දෙදරා ගොස්‌ ඇත. ඇය දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ බවට අධිකරණයට යොමුවූ නඩුව වසර දොළහක්‌ තිස්‌සේ විභාගයට ගැනිණි. එම්. ජී. රාමචන්ද්‍රන්ගේ පෙම්වතිය ලෙසට හඳුන්වනු ලැබූ ජයලලිතා දේශපාලනයෙන් මහා ධනස්‌කන්ධයක්‌ උපයාගත් බවට චෝදනා එල්ලවී ඇත.

රත්තරන් කිලෝ තිස්‌ දෙකක්‌, ඉඩම් අක්‌කර 2000 ක්‌, සාරි 12,000 ක්‌ හා වෙනත් වත්කම් රැසක්‌ ජයලලිතා උපයාගෙන ඇතැයි අනාවරණය වී ඇත. ස්‌විස්‌ බැංකු කළු සල්ලි ඇති කාන්තාවක්‌ ලෙසටද ඇය ප්‍රසිද්ධියට පත්ව සිටී.

තමාට එරෙහි මෙම නඩුව විභාග කිරීම අහෝසි කරන්නැයි ජයලලිතා කළ ඉල්ලීමද අධිකරණය විසින් ප්‍රතික්‌ෂේප කර ඇත. තමිල්නාඩුවේ අම්මා ලෙස විරුදාවලිය ලත් ජයලලිතාට නියම වූ මෙම සිරදඬුවමින් කොටි ඩයස්‌පෝරාව සහ තමිල්නාඩුවේ ඊළාම් ඩයස්‌පෝරාවද බරපතළ කම්පනයට පත්ව ඇත.

මේ නඩුවේ ජයග්‍රාහකයන් දෙදෙනෙකි. සුබ්‍රමනියම් ස්‌වාමි සහ හිටපු තමිල්නාඩු මහ ඇමැති කරුණානිධි මෙම දෙදෙනායි.

ජයලලිතා තමිල්නාඩුවේ ධීවර ව්‍යාපාරිකයන්වද ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිව උසිගන්වනු ලැබීය. මෙහිදී සුබ්‍රමනියම් ස්‌වාමි පැවසුවේ මාළු බෝට්‌ටු රාශියක අයිතිකාරිය වන්නේ ජයලලිතා සහ සිරදඬුවම් නියම වූ ඇගේ මිතුරියක වන ශෂිකලා නමැත්තිය බවයි. බැංගලෝර් විනිසුරු බී කුන්හා විනිසුරුගේ ඓතිහාසික තීන්දුව නිසා මුළු තමිල්නාඩුවම හෙල්ලුම් කෑවේය.

ඊළාම් ජාලයද දෙදරීමට ලක්‌ව ඇත. මේ සම්බන්ධයෙන් කොටි ජාලය පවසා ඇත්තේ මෙය ශ්‍රී ලංකාව සමග එක්‌වී සිදුකළ කුමන්ත්‍රණයක්‌ බවයි. ජයලලිතාට වසර දහයක්‌ යනතුරු ඡන්දය ඉල්ලීමටද නොහැකිය.

මෙම තත්ත්වය මත තමිල්නාඩුවේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත. හිටපු මහ ඇමැති කරුණානිධිගේ දියණිය වූ කන්මෝෂිටද දූෂණ චෝදනා එල්ල වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.