ලක්‍ෂ 44 ක රට සල්ලි රැගෙන රටින් පනින්න තැත් කරද්දී අල්ලයි

අනුර බාලසූරිය සහ ප්‍රභාත් විතාන

නීති විරෝධී ලෙස රුපියල් හතළිස්‌ හතර ලක්‌ෂ විසිහත් දහස්‌ හාරසිය එකක (44,27401/}) විදේශ මුදල් ප්‍රමාණයක්‌ මෙරටින් ගෙන යැමට තැත්කළ පුද්ගලයකු ඊයේ (28 දා) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 ක්‌ වයසැති මෙම පුද්ගලයා විදේශ මුදල් ප්‍රමාණය ඩුබායි රටට ගෙන යැමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත්ව ඇති බව රේගු අධ්‍යක්‍ෂ (නීති) මාධ්‍ය ප්‍රකාශක ලෙස්‌ලි ගාමිණි මහතා පැවැසීය.

මොහු සතුව ඇමරිකානු ඩොලර් 5000 ක්‌ ඕමාන් රියාල් 2160 ක්‌, සෞදි රියාල් 20,000 ක්‌, කුවේට්‌ ඩිනාර් 1440 ක්‌, කටාර් රියාල් 10,500 ක්‌, ඩිරාම් 27500 ක්‌, බහරේන් ඩිනාර් 200 ක්‌, සහ ශ්‍රී ලංකා රුපියල් දෙලක්‍ෂ තිස්‌ දෙදහසක (232,000) මුදලක්‌ තිබී සොයාගත් බව හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳව රේගු අධිකාරි ශ්‍රී ක්‍රිෂ්ණන්, සහකාර රේගු අධිකාරීන් වන එස්‌. එස්‌. එම්. ප්‍රනාන්දු, කේ. බී. ඩී. වීරසිංහ, ආර්. එම්. කේ. ආර්. රත්නායක, ඩබ්ලිව්. ඒ. අයි. පුෂ්පකුමාර, අශංක ප්‍රියදර්ශන මංජුල ප්‍රසාද් යන මහත්වරු හා නිමන්ති ප්‍රනාන්දු මහත්මිය පරීක්‌ෂණ පවත්වති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.