කහ ඉරෙන් පාර මාරුවෙද්දී තිදරු මව අනතුරින් මරුට

ධම්මික සල්වතුර, නන්දලාල් සමරවීර - කැලණිය අතිරේක

කිරිබත්ගොඩ තැඹිලිගස්‌මුල්ල ප්‍රදේශයේදී කහ ඉර මතින් පාර මාරු වෙමින් සිටියදී අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක වැදීමෙන් 52 හැවිරිදි කාන්තාවක්‌ කහ ඉර මතදීම මියගොස්‌ ඇත.

පෙරේදා (27 වැනිදා) රාත්‍රි 7.30 ට පමණ සිදු වූ මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ එම්. පී. අනුලා නමැති තිදරු මවකි.

මෙම කාන්තාව ජාඇල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව කරමින් සිට ඇති අතර පෙරේදා (27 වැනිදා) රාත්‍රි රැකියාව නිම කර තම නිවස කරා පැමිණෙමින් සිටියදී නිවස අසල මාර්ගයේ පාර මාරුවෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්‌ව ඇත.

පසුව ඇය කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කළ නමුත් ඒ වන විට මියගොස්‌ සිට ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය විය.

කැලණිය හදිසි මරණ පරීක්‍ෂක සරත් රොද්‍රිගු මහතා විසින් පරීක්‍ෂණ සිදුකර පසුව පශ්චාත් මරණ පරීක්‍ෂණය කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනී කේ. කේ. ජුසා මහත්මිය විසින් සිදුකරන ලදී.

ත්‍රිරෝද රථ රියෑදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්‍ෂිත බන්ධනාගාරගත කළ බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.