ඇමැති මණ්‌ඩලය 25ක්‌ වීම ව්‍යවස්‌ථාවට ඇතුළත් විය යුතුයි

එජාප පා. ම. නිරෝෂන් පෙරේරා

අකිත පෙරේරා

ඉදිරියේ කුමන ආණ්‌ඩුවක්‌ බලයට ආවත් ඇමැති මණ්‌ඩලය 25 කට සීමා විය යුතු බවත් එය නීත්‍යානුකූලව රටේ ව්‍යවස්‌ථාවට ඇතුළත් විය යුතු බවත් පුත්තලම දිස්‌ත්‍රික්‌ එ.ජා.ප. සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය.

ජනාධිපතිවරයාට හෝ වෙනත් පාර්ශ්වයකට සිතූ පරිදි ඇමැති මණ්‌ඩලය අඩුවැඩි කිරීමට තිබෙන හැකියාව වහා වෙනස්‌ කර එය රටේ නීති රාමුව අනුව සිදුකළ යුතු ක්‍රමවේදයක්‌ ස්‌ථාපිත කළ යුතුව ඇතැයි හෙතෙම කීය.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් මේ බව සඳහන් කළ නිරෝෂන් පෙරේරා මහතා මෙසේද කීය.

ඉතිහාසයේ බලයට පත්වූ කිසිදු ආණ්‌ඩුවක්‌ සිදුනොකළ ආකාරයට මේ ආණ්‌ඩුව තමන්ගේ ඇමැති මණ්‌ඩලය වැඩිකරගෙන තිබෙනවා. ලෝකයේ වෙන කිසිදු රටක මෙවැනි විශාල ඇමැති මණ්‌ඩලයක්‌ ඇති රටක්‌ තවත් නැහැ.

සිතූ පරිදි ඇමැති මණ්‌ඩලය වැඩිකර ගැනීමටත් විෂයයන් වෙනස්‌ කිරීමටත් තිබෙන මේ ක්‍රමවේදය වහා වෙනස්‌ කළ යුතුයි. එදා එක්‌ ඇමැතිවරයෙක්‌ යටතේ පැවැති විෂය ක්‍ෂේත්‍රය අද ඇමැතිවරු හතර පස්‌ දෙනෙක්‌ අතර බෙදාදී තිබෙනවා. මේ තත්ත්වය මත ඇතැම් ඇමැතිවරුන්ට කරන්න වැඩකටයුත්තක්‌ නැහැ.

අද මේ ආණ්‌ඩුවේ සිටින අසීමිත ඇමැති මණ්‌ඩලය නඩත්තු කිරීම සඳහා විශාල මුදලක්‌ වැයවෙනවා. ඇතැම් ඇමැතිවරුන්ගේ විදුලි බිල ලක්‍ෂය ඉක්‌මවනවා. ඔවුන්ගේ නිවාස කුලිය, ඉන්ධන දීමනා, වාහන, විදුලි බිල් වෙනුවෙන් විශාල මුදලක්‌ වැයකළ යුතුයි. මෙලෙස වැයකරන මුදල් වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ මෙරට අහිංසක ජනතාවටයි.

රටේ මහජන මුදල් කොපමණ වැය වුණත් ආණ්‌ඩුව උත්සාහ කරන්නේ කෙසේ හෝ ඇමැති මණ්‌ඩලය වැඩිකරගෙන බලය ආරක්‍ෂාකර ගැනීමටයි. ඌව පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජනතාවගේ ඡන්දය ලබාගැනීම සඳහා දෙමළ ජනතාව නියෝජනය කරන දෙදෙනකුට ඇමැති තනතුරු දෙකක්‌ ලබාදුන්නා. මේ විනාශය දැන්වත් නතර කළ යුතුයි.

අද ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන්ම ඇමැති මණ්‌ඩලය අඩුකළ යුතු බව කියනවා. ඒ අනුව ගම්පහ දිස්‌ත්‍රික්‌ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 22 වැනි සංශෝධනයක්‌ මගින් ඇමැති මණ්‌ඩලය තිහකට සීමාවිය යුතු බවට යෝජනා කර තිබුණා. එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුණත් ආණ්‌ඩුවේ බලපෑම මත ඔහු එය ඉවත්කර ගෙන තිබෙනවා.

මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්‌. කුමන ආණ්‌ඩුවක්‌ බලයේ සිටියත් රට ගැන කල්පනා කළ යුතුයි. රටේ ජනතාව ගැන කල්පනා කළ යුතුයි. ජනතාවට හා රටට සෙතක්‌ සිදුවන්නේ නැතිනම් ඇමැති මණ්‌ඩලය කොපමණ සිටියත් වැඩක්‌ නැහැ.

අද මේ රටට ශාපයක්‌ වී තිබෙන විධායක ජනාධිපති ක්‍රමය, අහෝසි කළ යුතු බවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි යෝජනා කර තිබෙනවා. එක්‌සත් ජාතික පක්‍ෂය එම යෝජනාව එක හෙලාම පිළිගන්නවා. අපි කියන්නෙත් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර ඇමැති මණ්‌ඩලය 25 කට සීමාකළ යුතු බවයි.

රටක්‌ දියුණු වීමට නම් ආණ්‌ඩුවෙන් ආණ්‌ඩුවට වෙනස්‌ නොවන ප්‍රතිපත්ති රාමුවක්‌ රටක තිබිය යුතුයි. අවාසනාවකට මෙන් අද අපේ රටේ එහෙම නැහැ. බලයට පත්වන ආණ්‌ඩුවලට අවශ්‍ය ආකාරයට රටේ ප්‍රතිපත්ති වෙනස්‌ කරනවා. මේ ක්‍රමවේදය වහා වෙනස්‌විය යුතුයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර රටට ගැළපෙන ප්‍රතිපත්ති රාමුවක්‌ මගින් රට ගොඩ නැගිය හැක්‌කේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවකට පමණයි. ජනතා ප්‍රශ්නවලට තිරසාර විසඳුම් ලබාදිය හැක්‌කේ එ.ජා.ප. යට පමණයි.

ඌව පළාත් සභා මැතිවරණයෙන් එ.ජා.ප. ජනාධිපතිවරයෙක්‌, එ.ජා.ප. ආණ්‌ඩුවක්‌ ළඟ එන බවට සංඥව නිකුත් කර තිබෙනවා. ඉතිහාසයේ කිසිදු කාලයකටත් දකින්නට නොලැබූ ආකාරයට අද එ.ජා.ප ය වටා විශාල වශයෙන් ජනතාව එක්‌රොක්‌ වෙමින් තිබෙනවා. මේ අනුව ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණ එ.ජා.පයට ජයගත හැකියි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.