හිතුවොත් මේ ලෝකේ කරන්න බැරි දෙයක්‌ නැහැ

කේ. ඕ. ජී. චරිත්මි

ශිෂ්‍යත්වයෙන් ලංකාවෙන්ම සිව්වැනියා වූ දෙදෙනා කියත


ගම්පහ සමූහ - සුසිල් රණමුක,ඡායාරූප - දෙල්ගොඩ - විතාන

මම හොඳටම දැනගෙන හිටියා මම විශිෂ්ට ලෙස ශිෂ්‍යත්වය සමත් වෙනවා කියලා. ඒකට හේතුව තමයි මම පුංචි වුණත් හොඳ මනසකින් යුතුව අවබෝධයකින් යුතුව පාසලේ අධ්‍යාපන වැඩකරපු එක. හිතුවොත් මේ ලෝකේ කරන්න බැරි දෙයක්‌ නෑ. අවබෝධය කියන එක තමයි හැම වැඩකදීම වැදගත් වෙන්නේ යෑයි මෙවර 2014 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 196 ක්‌ ලබාගෙන දිවයිනෙන් 4 වැනි ස්‌ථානය ලබා ගම්පහ යශෝදරා දේවි බාලිකා විදුහලේ කේ. ඕ. ජී. චරිත්මි (10) හැවිරිදි ශිෂ්‍යාව අපට පැවසුවාය.

ශිෂ්‍යත්ව විභාගයෙන් හතර වැනි ස්‌ථානය ලැබූ පුංචි චරිත්මි සෙනල්යා දැරියගේ ගම්පහ අංක 34 චිත්‍රා පාර යන ලිපිනයේ නිවෙසට අප යන විට ඇයට සුබ පැතීමට බොහෝ දෙනෙකු පැමිණ සිටියහ.

කදුරුවෙල සෙලාන් බැංකුවේ සහකාර කළමනාකරු දුමින්ද කරුණානායක මහතාගේ සහ භාෂිනී විතානගේ මහත්මියගේ දරු දෙදෙනාගෙන් වැඩිමල් දියණිය වූ චරිත්මි නිදහස්‌ මාධ්‍යවේදියකු හා ප්‍රකට ගත්කරුවකුවූ කේ. එන්. ඕ. අමරදාස මහතාගේ මිනිපිරියද වෙයි.

පුංචි චරිත්මි සෙනල්යා අපට වැඩිදුරටත් මෙසේ කීය. මම ආගමට දහමට ලැදියි. අපේ ඉස්‌කෝලේ ප්‍රින්සිපල් මැඩම් ලීලා බස්‌නායක මැඩම් අපට හොඳට පාඩම් කියාදෙනවා. උපදෙස්‌ දෙනවා. පන්තිභාර සමීර ද සිල්වා ගුරුතුමාත් මට අධ්‍යාපනය සාර්ථක කරගැනීමට උපදෙස්‌ අවවාද දෙමින් ඉගැන්වූවා.

මම ටී. වී. එකේ බලන්නේ අධ්‍යාපනික විශේෂ වැඩසටහන් විතරයි. අනෙක්‌වා මම බලන්නේ නෑ. ඒ වගේම විජිතා සුබසිංහ ටීචර්ත් කමල් බියන්විල ගුරුතුමාත් මගේ අධ්‍යාපන ගමනට උදව් කළා. මගේ අනාගත බලාපොරොත්තුව ජීව විද්‍යා කථිකාචාර්යවරියකු වීමයි. මම ඒ බලාපොරොත්තුවත් ඉටුකරගන්නවා.

චරිත්මිගේ මව වන හෂිනි විතානගේ මහත්මිය - මගේ දුව හරි දක්‍ෂයි. යශෝදරා විද්‍යාලයට ගියේ 2010 වර්ෂයේදී. දුවට හැම දේ ගැනම අවබෝධයක්‌ තියෙනවා. රූපවාහිනියේ හොඳ අධ්‍යාපනික වැඩසටහන් බලනවා. දුවට පළාත් මට්‌ටමින් සංගීත තරගවලින් ජයග්‍රහණ ලැබී තිබෙනවා. සාහිත්‍ය තරග වලින්ද ජයග්‍රහණය කර තිබෙනවා.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.