මිරිසවතු මහා විහාරය
පස්‌යොදුන් කෝරළයට මිණි පහනකි


මහිලාල් පද්මසූරිය - අගලවත්ත

කළුතර දිස්‌ත්‍රික්‌කයේ පස්‌ යොදුන් කෝරළයේ ලෙව්වන්දූව අවිත්තාව මාර්ගයේ ඉත්තෑපාන මිරිස්‌වත්තේ පිහිsටි මිරිසවතු පුරාණ මහා විහාරය වසර 117 ක්‌ තරම් පැරැණි දර්ශනීය විහාරස්‌ථානයකි.

වර්ෂ 1897 වසරේ දී අතිපූජ්‍ය ආචාර්ය උඩුනුවර ශ්‍රී විපුලතිස්‌සාභිධාන නායක හිමියන් විසින් ආරම්භ කරන්නට යෙදුණ මිරිසවතු මහා විහාරය එතැන් පටන් බෙන්තර වලල්ලාවිට කෝරළයට මෙන්ම පස්‌යොදුන් කෝරළයටත් මිණිපහනක්‌ සේ බැබළෙමින් විශාල ශාසනික හා සමාජීය සේවාවක්‌ සිදු කරන්නට යෙදෙමින් වර්ෂ 28 ක කාලයක්‌ තුළදී දාගැබ, මහා බෝධිය, ප්‍රතිමා ගෘහය, ආවාසගෙය, සීමා ගෘහය ආදී විහාරාංගයන් ගෙන් සමන්විත අති රමණීය විහාරස්‌ථානයක්‌ බවට පත්කර ඇත.

1928 ඔක්‌තෝබර් මාසයේ අතිපූජ්‍ය ආචාර්ය උඩුනුවර ශ්‍රී විපුලතිස්‌සාභිධාන නාහිමියන්ගේ අපවත් වීමත් සමග උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක්‌ වූ මිරිස්‌වත්තේ ශ්‍රී සරණංකරාභිධාන හිමිපාණන් වහන්සේ මිරිසවතු මහා විහාරස්‌ථානයේ විහාරාධිපති ධුරයට පත්විය.

1928 සිට 1979 දක්‌වා මිරිසවතු මහා විහාරයට නායකත්වය දෙමින් එහි අඩුවක්‌ව පැවති මහා ධර්මශාලා මන්දිරයක්‌ ඉදිකර අංගසම්පූර්ණ විහාරස්‌ථානයක්‌ බවට පත් කරනු ලැබීය.

ඒ අතරම ප්‍රදේශයට විශාල අඩුපාඩුවක්‌ව පැවති පාඨශාලාවක්‌ 1959 වර්ෂයේ දී විහාරස්‌ථානයේ ධර්ම ශාලාවේ ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළ අතර වසර 3 ක්‌ පමණ කාලයක්‌ විහාරස්‌ථානයේ ධර්ම ශාලාවේ පවත්වාගෙන යනු ලැබූ පාඨශාලාව ඉන් අනතුරුව මල්ලිවත්ත ප්‍රදේශයේ උතුරු ඉත්තපාන කනිටු විදුහල ලෙස ස්‌ථාපනය කර ඇත. මේ තරම තම ගුරු දේවෝත්තමයාණන් වූ ශ්‍රී විපුලතිස්‌ස නාහිමියන් නමින් දහම් පාසලක්‌ ආරම්භ කර ප්‍රදේශයේ දුවා දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීම ආරම්භ කළහ.

1979 වර්ෂයේ දී අතිපූජ්‍ය මිරිස්‌වත්තේ ශ්‍රී සරණංකර නාහිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශිෂ්‍ය ශාස්‌ත්‍රවේදී මල්sවත්තේ විපුලසාර හිමියන් විහාරාධිපති ධුරයට පත් විය.

ඉත්තපාන මහ විදුහල, මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහ විදුහල ආදී විදුහල් ගණනාවක ආචාර්ය වරයකු ලෙසත්, නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙසත් කටයුතු කළ මල්ලිවත්තේ විපුලසාර හිමියන් විහාරස්‌ථානයට නව මුහුණුවරක්‌ ගෙන දෙමින් ඒ වන විට අබලන් තත්ත්වයට පත් වී තිබුණු විහාර මන්දිරය අලුත්වැඩියා කර ආවාසගෙය නවීකරණය කරන්නටත්, විහාරස්‌ථානයේ ආරක්‌ෂක බැමි, වලාකුළු බැමි, නව ප්‍රවේශ මාර්ග ආදිය ඉදිකර අලංකාර විහාරස්‌ථානයක්‌ බවට පත් කරන්නට යෙදුණි.

තම ගුරු දේවෝත්තම මිරිස්‌වත්තේ ශ්‍රී සරණංකර හිමියන්ගේ නමින් උතුරු ඉත්තපාන කනිටු විදුහල නම් කිරීමට කටයුතු කළ අතර වර්තමානයේ එම විදුහල ශ්‍රී සරණංකර කනිටු විදුහල ලෙස නම්කර ඇත.

කෝට්‌ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් බෙන්තර වල්ලලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් කරන ලද්දේ විනයාචාර්ය, සද්ධර්ම කීර්ති ශ්‍රී සරණංකර යන ගෞරව නාමයද සහිතවය.

පූජ්‍ය හල්මිටිගල අමිතසිරි හිමියන්ගෙන් විහාරස්‌ථානයට ඉටුවන සේවය සහ විහාරස්‌ථානයේ අනාගතය පිළිබඳව සලකා බලා මිරිසවතු පුරාණ විහාරස්‌ථානයේ වර්තමාන විහාරාධිපති ධුරයට උන්වහන්සේව කෝට්‌ටේ කාරක සංඝ සභාව මගින් පත්කළහ.

මේ වන විට ප්‍රදේශයටම පිහිටි විශාලතම

රැස්‌වීම් ශාලාව ලෙසත්, පරිහරණය කරනු ලබන සහ ශ්‍රී විපුලතිස්‌ස දහම් පාසලේ දූ දරුවන්ට සේවය ලබාදීමත් විශාල පිරිසකට බණ භාවනා කටයුතු සඳහා සෙවණ ලබාදුන් ධර්ම ශාලා මන්දිරයේ වහළ ඉතාම අබලන්ව ගරා වැටෙන තත්ත්වයට පැමිණ ඇත.

ප්‍රදේශයේ ආදි කර්තෘන් වහන්සේලාගේ සහ පැරැණි දායක කාරකාදීන්ගේ පරිශ්‍රමයෙන් ඉදිකරන ලද මෙම විශාල ගොඩනැඟිල්ල ගරා වැටිමට ඉඩ නොදී පිහිට ලැදි පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර මත අති අලංකාර ලෙසත්, ශක්‌තිමත් ලෙසත් මහල් තුනකින් යුතු ධර්මශාලා වහල අලුත්වැඩියා කර නව පිවිසුම් ද්වාර නිර්මාණය කරමින් රුපියල් ලක්‌ෂ 40 කට වැඩි මුදලකින් අලංකාර ධර්ම ශාලා මන්දිරය ප්‍රතිසංස්‌කරණය කර සියලු බොදු දනන් වෙත පසුගියදා පැවරුණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.