ආසියානු ක්‍රීඩා උළෙලේ
චීනයට රන් පදක්‌කම් වරුෂාවක්‌


ශ්‍රී ලංකාවේ බොක්‌සිං පදක්‌කම්
බලාපොරොත්තුවත් බිඳ වැටෙයි


දකුණු කොරියාවේ ඉංචියෝන් හිදී පැවැත්වෙන 17 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ නව වැනි දහවැනි දිනය වූ ඊයේ (28 දා) සවස්‌ වන විට රන් පදක්‌කම් 101 ක්‌ දිනා සිටින චීනය අභියෝගයකින් තොරව තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියි.

චීනය රන් පදක්‌කම් 101 ට අමතරව රිදී පදක්‌කම් 61 ක්‌ සහ ලෝකඩ පදක්‌කම් 44 ක්‌ දිනා ගනිමින් සමස්‌ත පදක්‌කම් සංඛ්‍යාව 206 දක්‌වා ඉහළ දමා ගැනීමට ඊයේ සවස්‌ වන විට සමත්ව තිබුණි. චීනයට පසු පසින් පදක්‌කම් සටහනේ දෙවැනි තැනට පත්ව සිටින සත්කාරක දකුණු කොරියාව රන් පදක්‌කම් 40 ක්‌, රිදී 44 ක්‌ සහ ලෝකඩ 44 ක්‌ වශයෙන් සමස්‌ත පදක්‌කම් 128 ක්‌ දිනා තිබේ. තෙවැනි ස්‌ථානයේ පසුවන ජපානය රන් 32 ක්‌, රිදී 49 ක්‌ සහ ලෝකඩ 44 ක්‌ සමග දිනා ඇති සමස්‌ත පදක්‌කම් ප්‍රමාණය 120 කි.

එරන්දිගේ අවසන් පිම්ම වරදියි

ශ්‍රී ලංකා බොක්‌සිං ක්‍රීඩිකා එරන්දි ගිම්හානිද සිල්වා කි.ග්‍රෑ. 51 (ෆ්ලයි) බර පංතිය යටතේ ඊයේ (28 දා) පැවැති අවසන් පූර්ව තරගයෙන් මොන්ගෝලියානු ක්‍රීඩිකා නන්ජික්‌ සෙසෙග් හමුවේ තරග වට 3-0 කින් පරාජයට පත් වූවාය.

මෙම තරගයේදී එරන්දි පරාජය වුයේ 40-36, 40-35 ක්‌ සහ 39-36 ක්‌ වශයෙනි. අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා පැවැති තරගයේදී එරන්දි විසින් මැකෝවෝ ක්‍රීඩිකා මැක්‌ කිට්‌ව තරග වට 3-0 කින් පරාජය කළාය.

බර ඉසිලීමෙන් චීනයේ ලූලූ ට ලෝක වාර්තාවක්‌

බර ඉසිලීමේ ඔලිම්පික්‌ ශූරියකු වන චීනයේ සූ ලූලූ විසින් කි.ග්‍රෑ. 75 බර පංතිය යටතේ නව ලෝක වාර්තාවක්‌ තැබීමට මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී සමත් වූවාය. ලූලූ විසින් අදාළ බර පංතිය යටතේ සමස්‌ත බර කි.ග්‍රෑ. 334 ක්‌ ඔසවා අදාළ ලෝක වාර්තාව බිහි කිරීමට සමත් වුවාය.

ලූලූ විසින් බිද හෙලූනු ලැබුවේ රුසියාවේ ටටේනා කසිනා විසින් අදාළ බර පංතිය යටතේ ඔසවා තිබූ කි.ග්‍රෑ. 333 ක වාර්තාවයි.

ශ්‍රී ලංකා 400ං4 කණ්‌ඩායම අද තරගය බිමට

ආසියානු ක්‍රීඩා උළෙලේ 400ං4 සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්‌ඩායම මුලික වටයේ තරගයකට අද සහභාගි වේ. ශ්‍රී ලංකා කණ්‌ඩායම වෙනුවෙන් කසුන් කල්හාර, කාලිංග කුමාරගේ, ධනුෂ්ක නලීන් සහ අංජන මධුෂාන් ඇතුළත් වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.