HNB - ඩයලොග් සහභාගිත්වයෙන් මනිග්‍රෑම් මුදල්
ගෙවීම් සේවාව දැන් ඩයලොග් සේවා මධ්‍යස්‌ථානවලින්


මනිග්‍රෑම් ජාත්‍යන්තර මුදල් හුවමාරු සේවාවේ මෙරට සුපිරි නියෝජිතයා වන හැටන් නැෂනල් බැංකුව සමග ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සහකරු ඩයලොග් ආසිආටා සමාගම අතර සිය සේවාව ආරම්භ කරමින් මුල්ම ගනුදෙනුව සුපිරි ක්‍රිකට්‌ ක්‍රීඩක අජන්ත මෙන්ඩිස්‌ සමගින් සිදුවූ අවස්‌ථාව. එම අවස්‌ථාවට එක්‌වූ ගෞතම් කාර්ලෝ (මනිග්‍රෑම් දකුණු ආසියා ප්‍රාදේශීය ව්‍යාපාර කළමනාකරු, කෞෂික රෝයි (මනිග්‍රෑම් දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ), ජෙනතන් අලස්‌ (හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ / ප්‍රධාන විධායක නිලධාරි), ආචාර්ය හාන්ස්‌ විඡේසූරිය (ඩයලොග් ආසිආටා සමූහ ප්‍රධාන විධායක නිලධාරි), අජන්ත මෙන්ඩිස්‌, ඉසිර පෙරේරා (ඩයලොග් ආසිආටා ජංගම මුදල් කළමනාකරු, කැලුම් විඡේසූරිය (හැටන් නැෂනල් බැංකුවේ විදේශ මුදල් සහකාර සාමාන්‍යාධිකාරි) යන මහත්වරු ඡායාරූපයෙන් දැක්‌වේ. ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

ප්‍රභාත් විතාන


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සහකරු වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මනිග්‍රෑම් ජාත්‍යන්තර මුදල් හුවමාරු සේවාවේ මෙරට නියෝජිත වන හැටන් නැෂනල් බැංකුව සමග සහයෝගිතාවකට එළැඹෙමින් දිවයින පුරා පිහිටා ඇති ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්‌ථාන 25ක්‌ මුදල් ලබා ගැනීමේ මධ්‍යස්‌ථාන බවට පත් කරන ලදී.

හිල්ටන් කළම්බු රෙසිඩන්ස්‌ හෝටලයේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව නිවේදනය කෙරිණි.

මනිග්‍රෑම් යනු ලොව රටවල් සහ ප්‍රදේශ 200කට වැඩි ප්‍රමාණයක්‌ පුරා ස්‌ථාන 345,000ක ජාලයක්‌ පවත්වාගෙන යනු ලබන වඩා පහසුවෙන්, වේගවත්ව සහ සුරක්‍ෂිතව අභ්‍යන්තර විදේශ මුදල් සම්ප්‍රේෂණය සඳහා ලොව ජනප්‍රියතම සේවාවකි. ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්‌ථාන, මෙලෙස මුදල් එකතු කිරීමේ මධ්‍යස්‌ථාන වශයෙන් හැඳින්වීම සමගින් එහි සේවාවන් තවදුරටත් ඉහළ යන අතර පාරිභෝගිකයන්ට වැඩි පහසුකමක්‌ අත්විඳීමටද හැකියාව ලැබේ.

ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්‌ථානවලින් මනිග්‍රෑම් මුදල් ලබා ගැනීම ඉතාමත් පහසු වේ. ඒ සඳහා ගනුදෙනුකරුවන් කළ යුත්තේ ගනුදෙනු රහස්‍ය අංකය සහ ජාතික හැඳුනුම්පත රැගෙන දිවයින පුරා පිහිටා ඇති ප්‍රධාන පාරිභෝගික සේවා මධ්‍යස්‌ථාන 25 අතරින් ඕනෑම ස්‌ථානයකට ගොස්‌ මුදල් ලබා ගැනීමේ පත්‍රිකාව සම්පූර්ණ කර අයකැමිගෙන් මුදල් ලබා ගැනීමයි. මෙම සේවාව ලබා ගැනීම සඳහා පාරිභෝගිකයන් විසින් කිසිදු ගාස්‌තුවක්‌ ගෙවීමට අවශ්‍ය නොවීමද මෙහි ඇති සුවිශේෂත්වයකි.

සාමාන්තමාතව, නව්‍යකරණය සහ පහසුව අපි සියලු ශ්‍රී ලාංකිකයන්ට පිරිනමන සේවාවේ ප්‍රධානතම මූලිකාංගයි. HNB සහ මනිග්‍රෑම් සමග ඇති කර ගත් මේ සහයෝගිතාව මගින් මේ සියලු මූලිකාංග ස්‌පර්ශ කිරීමට හැකියාව ලැබෙනවා යෑයි ඩයලොග් ආසිආටා පීඑල්සී සමූහ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හාන්ස්‌ විඡේසූරිය මහතා පැවසීය. දිවයින පුරා ව්‍යාප්ත වූ අපගේ සේවාවන්හි ස්‌ථාවරත්වය සහ පහසු බව මගින් මනිග්‍රෑම් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම ප්‍රතිලාභ අත්විඳිය හැකි අතර ඉදිරියේදී මේ සේවාව තවදුරටත් ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වෙනවා යෑයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මනිග්‍රෑම්හි ජ්‍යෙෂ්ඨ කලාප අධ්‍යක්‍ෂ කෞෂික්‌ රෝයි මහතා මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් , මේ නව සහයෝගිත්වය සමගින් සිදු වන්නේ අපගේ පා සටහන තවදුරටත් පුළුල්වීම පමණක්‌ නොවෙයි, එයින් අපට ශ්‍රී ලංකාවේ සිටින අපගේ පාරිභෝගිකයන් වෙත තවත් සමීප වීමට අවස්‌ථාව ලැබෙනවා යෑයි කියා සිටියේය. ඒ වගේම සාම්ප්‍රදායික බවින් ඈත්වී අප සියලු දෙනාට නවතම අත්දැකීමක්‌ වූ පාරිභෝගික සේවාවක්‌ සමග එක්‌ වෙමින් මේ සේවාව ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබෙනවා යෑයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය. හඳුන්වවාදෙනු ලැබූ නව සේවාව පිළිබඳව හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක නිලධාරි ජෙනතන් අලස්‌ මහතා අදහස්‌ දක්‌වමින්, අපේ රටේ පවතින ජාතික අවශ්‍යතාවක්‌ හඳුනාගත් හැටන් නැෂනල් බැංකුව ලොව පුරා විවෘත වන මුදල් ප්‍රේෂණ දොරටු හසු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ සුරක්‍ෂිත වූ විධිමත් පසුබිමක්‌ නිර්මාණය කිරීමට පුරෝගාමී වී කටයුතු කළා යෑයි පැවසීය.

ශ්‍රී ලංකාවේ මනිග්‍රෑම් සේවාවේ සුපිරි නියෝජිත වශයෙන් ශ්‍රී ලාංකිකයන්ට වැඩි ප්‍රතිලාභ ලබාදෙමින් මෙම සේවාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපි අඛණ්‌ඩව උත්සාහ දරනවා. දිවයින පුරා අපගේ ශාඛා ජාලය සමගින් ඇති මුදල් ගෙවීම් මධ්‍යස්‌ථාන ගණන 250ක්‌. පාරිභෝගිකයන්ට වඩා පහසු අත්දැකීමක්‌ ලබාදීමට මුදල් සම්ප්‍රේෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව සිටින අපගේ ගෙවීම් ජාලය හා එක්‌වූ ඩයලොග් ආසිආටා සමාගම අපි ඉමහත් සාදරයෙන් පිළිගන්නවා යෑයිද හෙතෙම කියා සිටියේය.

සංස්‌කරණය -
අසෝක වන්නිආරච්චි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.