අම්මාගේ කුසට නංගි ආවේ කොහෙන්ද?

දිවයිනේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්aතර පාසලක දරු දැරියන්ගේ හතර වසර විද්‍යා පොතෙහි ලිංගික පාඩම් ඇතැයි ඊයේ (03 දා) "දිවයිනේ" පුවතක්‌ පළ විය. ගැහැනුන් සහ පිරිමින් ලිංගිකව එක්‌වන අයුරු රූප සටහන් සහිතව එම පාඩමෙහි ඇතැයි දැන ගන්නට තිබේ.

සිංහල සංස්‌කෘතියට ඒවා ගැලපේ දැයි එම පාසලේ දරුවන්ගේ මාපියෝ ප්‍රශ්න කරතැයි ද අපේ පුවතේ පළ විය. මෙය මේ මවුපියන් ජාත්‍යන්තර පාසල්වලට ළමයින් ඇතුළත් කරන අවස්‌ථාවේදී තමන්ගෙන්ම ඇසිය යුතු වන ප්‍රශ්නයකි. මෙතැනදී වැදගත් වන්නේ සංස්‌කෘතිය නොව හතර වසරේ පන්තිවල සිටින එකොළොස්‌ හැවිරිදි සිසුන් හා සිසුවියන් ලිංගික සම්බන්ධකම් පිළිබඳ රූපසටහන් ආශ්‍රයෙන් දැනුම ලබා ගත යුතු ද යන්නය. මෙයට අවුරුදු හතළිහකට පෙර සිටි එකොළොස්‌ හැවිරිදි ළමා පරපුර දැන සිටියේ අම්මාගේ බඩේ සිටින මල්ලි හෝ නංගී දෙව්ලොවින් විත් තැන්පත් කර ගිය බවය. මෙයට අවුරුදු 20 කට පෙර සිටි ළමා පරපුර දෙව්ලොව පිළිබඳව කතාන්දරය බාගෙට විශ්වාස කළහ. ඉතිරි බාගයේදී අම්මාගේ කුස මෝරා ඒම පිටුපස කිසියම් රහසක්‌ තිබෙන බව ඔවුහු හොර රහසේම කල්පනා කළහ. අද වන විට මෙකී දිව්‍යලෝක න්‍යාය විශ්වාස කරන්නේ අවුරුදු පහට අඩු ළමයින් පමණි. අවුරුදු 11 ක වයසේ ළමයි මේ ගැන සාකච්ඡා නොකළ ද අම්මාගේ කුස පිටුපස දෙව්ලොවට සම්බන්ධයක්‌ නැති රහසිගත යමක්‌ තිබෙන බව දනිති. එහෙත් ඒ රහස සෙවීම සඳහා ඔවුන් දැන්මම කාලය ගත කළ යුතු නැත. ඒ ලෙවල්a විභාගය නිමවී ප්‍රතිඵල නිකුත් වන කාලය දක්‌වා ඇති අන්තර් නිවාඩු කාලය වැනි කාලයන් මේ රහස සෙවීම වෙනුවෙන් කැප කිරීමට සිසු දරුවන්ට හැකිය.

ලිංගික සම්බන්ධකම් යනු කුණුහරුපයක්‌ය යන්න වික්‌ටෝරියානු සංස්‌කෘතියට අයත් දිරාගිය මතයකි. මේ මතය පෝෂණය කරන්නෝ ගොන්නුය. ලිංගික අධ්‍යාපනය යනු වරදක්‌ නොවේ. ලිංගික අධ්‍යාපනයෙන් සිදු කෙරෙන්නේ ස්‌ත්‍රී පුරුෂ කායික සම්බන්ධකම් ළමා වියේ සිටම ප්‍රවර්ධනය කිරීම නොව එම කාරණය සම්බන්ධයෙන් ළමයින් තුළ තිබෙන කුතුහලයට ඔවුන්ට තේරෙන පරිදි විද්‍යාත්මක නිර්වචනයක්‌ ලබා දීමය. මන්දබුද්ධික නොවන සෑම දරුවකුටම ලිංගිකත්වය ගැන කුතුහලයක්‌ පවතී. මන්දබුද්ධික දරුවන්ට මේ ගැන ඇත්තේ ඉවක්‌ පමණි. එහෙත් සම්බන්ධයක්‌ ඇතිවන අවස්‌ථාවේදී අවශ්‍ය පිබිදීම ඔවුන් තුළ තිබේ. මේ අනුව ලිංගිකත්වය යනු විටෙක සවිඤ්Æණිකවද විටෙක අවිඤ්ඥණිකවද ඇති වන්නකි.

මේ රටේ ළමයින්ට ලිංගික අධ්‍යාපනය දිය යුතු බව 1970 දී බලයට පැමිණි සමගි පෙරමුණු ආණ්‌ඩුව ප්‍රතිපත්තියක්‌ වශයෙන් පිළිගත්තේය. එහෙත් ඒ පිළිගැනීමට පවා එරෙහිවූ සුධීහු යකා නැටූහ. මෙසේ යකා නැටූ සිල්වතුන් අතර ගුරු පත්වීමක්‌ ලබාදීම සඳහා ගැහැනුq ළමයකු දූෂණය කළ දේශපාලනඥයෙක්‌ ද සිටියේය. එදා මේ රටේ ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට ආණ්‌ඩුව පටන් ගත්තේ නම් අද මේ රටේ සිටින ළමයින්ට අම්මාගේ කුස තුළ සිටින මල්ලී හෝ නංගි ගැන වැඩි තැකීමක්‌ හටගන්නේ නැත. මල්ලී හෝ නංගීs සාප්පුවෙන් ගෙනෙන බවට බොරු දෙසා බෑමට අම්මාට හෝ තාත්තාට සිදු වන්නේද නැත.

අපේ රටේ ඇති වැරැද්ද සමහර දේවල් කිසිදු පෙර සූදානමක්‌ හෝ පෙර දැනුම්දීමක්‌ නැතිව ඩෝං ගා අත හැරීමය. මෙවිට හටගන්නා තත්ත්වයේ විභවය ඉතා ඉහළය. ජාත්‍යන්තර පාසලේ හතර වැනි පන්තියේ පෙළපොතේ ඇති ලිංගික කාරණාව විසින් හට ගනු ලැබ ඇත්තේ එවැනි තත්ත්වයක්‌ බව අපට සිතෙයි. ඉන් එහා බෙල්ල ගහලා යන වැඩක්‌ මෙතැන සිදුවී නැත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.