ලෝක සත්ව දිනය දා එළුවන් 72 ක්‌ මස්‌ කරන්න හදලා

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක, දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන, පූගොඩ සරණපාල නුවරපක්‍ෂ

ලෝක සත්ව දිනය යෙදී තිබූ පෙරේදා (04 වැනිදා) දොම්පේ උලහිටිවල ප්‍රදේශයේ මුස්‌ලිම් අනාථ නිවාසයක රඳවා සිටි එළුවන් හැත්තෑදෙදෙනකු මරා මස්‌ කිරීමට යද්දී ජාතික සංඝ සභාවේ විජිත හිමියන් සහ ගම්වාසීන් එම එළුවන් බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඇතිවීමට ගිය ගැටුම්කාරී තත්ත්වයට දොම්පේ පොලිසිය මැදිහත්ව එම එළුවන්ව පොලිස්‌ භාරයට ගෙන තිබේ.

මෙම නිවාසයේ 260 ක පමණ පිරිසක්‌ සිටින බව පොලිසිය පවසයි. 4 වැනිදා ගවයන් දෙදෙනකු එම ස්‌ථානයේදී මරා මස්‌ කර තිබූ බවට සාක්‍ෂි තිබූ බවත් එම ස්‌ථානයේ සත්ව ඝාතකාගාරයක්‌ පවත්වාගෙන යැමට නීත්‍යානුකූල බලපත්‍රයක්‌ නොමැති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

එම ස්‌ථානයේදී ගවයන්, එළුවන් ඝාතනය කිරීමට පිලිමතලාව ප්‍රදේශයේ සිට පුද්ගලයකු පැමිණෙන බවත් හෙළිවී තිබේ. මුස්‌ලිම් ජාතික බැතිමතුන් බාරහාර වෙනුවෙන් ලබාදෙන එම සත්වයන් ලේඛනගත කළ ලේඛනයක්‌ ද එම ස්‌ථානයේ තිබී සොයාගෙන ඇත.

පූගොඩ වැඩ බලන මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. පී. වීරරත්න මහතා ඊයේ (05 වැනිදා) දහවල් මේ ස්‌ථානයට පැමිණ එම එළුවන් බඩල්ගම රජයේ ගොවිපළට භාරදෙන ලෙසට පොලිසියට නියෝග කර අදාළ තැනැත්තා අත්අඩංගවට ගන්නා ලෙසට ද නියම කෙරිණි. දොම්පේ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එස්‌. ජී. එම්. රණතුංග මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ මේ වැටලීම සිදු කළහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.