ළමා රෝහලට දරුවා බාර දී ආපසු එද්දී
හිතහොඳ වෛද්‍යතුමී මාරක අනතුරින් මරුට!


බත්තුලුඔය හන්දිය අසලදී ගිලන් රිය ලොරියක ගැටේ;

රිය සහායකත් මරුට: හෙදිය සහ රියෑදුරු හලාවත රෝහලේ


පුත්තලම - නලීන් හෙන්දුරුගොඩ

පුත්තලම රෝහලේ සිට කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට රෝගී දරුවකු රැගෙන ගොස්‌ භාරදී ආපසු එමින් තිබූ ගිලන් රථයක්‌ පුත්තලම කොළඹ පාරේ බත්තුළුඔය 61 හන්දිය ආසන්නයේදී පෙරේදා (18 දා) අලුයම ලොරි රථයක ගැටීමෙන් වූ අනතුරින් පුත්තලම රෝහලේ ළමා වාට්‌ටුවේ සේවය කළ වෛද්‍යවරිය සහ ගිලන් රථයේ සහායක මරුමුවට පත් වී තිබේ.

වෛද්‍ය ඉෂානි එරංගිකා ජයවර්ධන (26) මෙනවිය සහ ගිලන් රිය සහායක ඒ.එම්. එම්. ඉර්ෂාඩ් මහතා මෙහිදී මරුමුවට පත්ව තිබේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ගිලන් රියේ සිටි උපස්‌ථායිකාව හා රියෑදුරු කොළඹ මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර තුවාල ලැබූ හෙදියක හලාවත රෝහලට ඇතුළත් කෙරිණි.

කිලිනොච්චිය ප්‍රදේශයේ සිට රැස්‌වීම් වේදිකාවක්‌ පටවාගෙන කොළඹ බලා එමින් තිබූ ලොරි රථයක ගිලන් රිය මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

මියගිය වෛද්‍ය ඉෂානි එරංගිකා මෙනවිය පුත්තලම මූලික රෝහලේ ළමා වාට්‌ටුවේ ඕනෑම රාජකාරියක්‌ අවංකවම කැපවීමෙන් ඉටුකළ බව රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දම්මිකා දිසානායක මෙනවිය පැවසූවාය.

නොබෝ කලකින් තම සීමාවාසික පුහුණුව අවසන් කිරීමට තිබියදී මෙලොවින් සමුගත් වෛද්‍ය ඉෂානි එරංගිකා මෙනවිය තම රාජකාරි ජීවිතය ආරම්භයේ සිටම හොඳින් සිදුකළ බවත් කිසිම අවස්‌ථාවක නෑ බෑ නොකී බවත් සියලු දෙනා සමග සුහදව මිත්‍රශීලීව කටයුතු කළ බවත් විශේෂඥ වෛද්‍යවරිය කියා සිටී.

ඉකුත් 01 දා ලෝක ළමා දිනය දා ළමා වාට්‌ටුවෙන් සංවිධානය කළ ළමා දින සැමරුමේදී මේ මියගිය වෛද්‍යවරිය අපට හමුවුණු අතර ඇය එම උළෙලේදී සැමට ඉතා සුහදව කතා කරමින් ආගන්තුක සත්කාර කිරීමට මහත් වෙහෙසක්‌ දැරුවාය.

රාගම තේවත්ත පාර අංක 772 නිවසේ සිය මව වන අනෝමා මදුරප්පෙරුම මහත්මිය සමග ඇය දිවි ගෙව්වාය. කුඩා වියේදීම සිදුවූ පියාගේ අභාවයෙන් පසුව සිය ජීවිතය ජයගන්නට මහත් වෙහෙසක්‌ ගත් වෛද්‍ය ඉෂානි මෙනවිය තම මව සමග හොඳ ජීවිතයක්‌ ගත කරන්නට දහසක්‌ බලාපොරොත්තු තබා සිටියාය.

කොළඹ මියුසියස්‌ බාලිකා විදුහලෙන් උසස්‌ පෙළ හදරා චීනයේ කියෑංජින් වෛද්‍ය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය හැදැරූ ඇය සීමාවාසික පුහුණුව අතරතුර මෙම අනතුරට මූණදී මෙලොවින් සමුගත්තාය.

ඇයගේ දේහය දැනට රාගම තේවත්ත පාර අංක 772 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (20 දා) සවස රාගමදී සිදුකෙරේ.

ලොරි රථයේ රියෑදුරු අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැර තිබේ. මුන්දලම පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.