ජාතිවාදය කුළුගැන්වෙන සමයක
ස්‌මරණ කියා දෙන පාඩම


මිගාර බමුණුසිංහ

අනුරසිරි හෙට්‌ටිගේ වූ කලී ඓතිහාසික නවකතාකරුවෙක්‌ නොවේ. ඔහු ගැන හැඳින්වීමට හොදම අර්ථ නිරූපණයක්‌ නම්, ප්‍රමුඛ වශයෙන් කොළඹ හා ඒ අවට නාගරික පැල්පත් වාසීන්ගේ ජීවිත සිංහල ලේඛනවල ඉදිරියට ගෙන ආ ලේඛකයකු වශයෙනි. (ඉන් ඔබ්බට ගිය සමාජ ජීවිත පිළිබඳව ඔහුගේ කෙටි කතාවල සාකච්ඡා කොට ඇති බැව් සැළකුව මනාය) ඒ වස්‌තු බීජය තවත් ලේඛකයන් වස්‌තුකොට ඇති නමුත් ඔහු තරම් අපූරුවට නාගරික පැල්පත් වාසියා ගැන ගැඹුරටම කිඳා බසිමින් සිංහල පාඨකයා රස ගැන්වූ වෙනත් සාහිත්‍යකරුවෙක්‌ පිළිබඳව අපේ මතකයේ නැත. එහෙව් අනුරසිරි හෙට්‌ටිගේ සිංහල නවකතාවටත් සිංහල ඓතිහාසික නවකතාවටත් නව අර්ථකථනයක්‌ ලබා දී ඇති බව අපගේ හැඟීමයි.

අනුරසිරිගේ පෙරවදනේ සඳහන් වන හැටියට මේ නවකතාව මුලින්ම ලියෑවී ඇත්තේ අනූව දශකයේ ය. නමුත් පශ්චාත් යුද සමයක ජීවත් වන ලාංකිකයාට එදාට වඩා මේ නවකතාව අදට වටී. ඒ මන්ද මහාවංශයේ වීරයා පිළිබඳව ඔදවැඩුණු මානයකින් යුතුව කතා කරන සමහරුන් එළාර අදටත් දුෂ්ඨයෙක්‌ කොට සලකයි. මේ සැළකීම තව තවත් ජාතිවාදී හැඟීම් අවුස්‌සනවා විනා පිරිසිදු සාමයක අබ මල් රේණුවකවත් හැඟීම් ජනිත නොකරයි. ජාතිවාදී ගිනි දලු සහ හැඟීම් තව තවත් කුළුගන්වන යුගයක එළාර ධර්මිෂ්ට පාලකයෙක්‌ බව අපට යළිත් මතක්‌ කරන්නේ අනුරසිරි ය. ඒ ඔහු මතක්‌ කරනු ලබන්නේ අපට අමතක වුණ දේ ද නැතහොත් අපි අමතක කළ දේ ද යන්න සිතා බැලීමට ස්‌මරණ ඉඩ සළසන බව අවිවාදයකි. ජාතිකත්වය අනුව පාලකයාගේ පාලනය තීරණය කළ යුතු නැත. යම් රටක පාලකයා ධර්මානුකූලව රාජ්‍යය පාලනය කරන්නේ නම් එම රටේ වාසීන් සිය පාලකයාව පිළිගත යුතු බව මේ නවකතාවෙහි ප්‍රබලව ඉදිරිපත් කෙරෙයි. එය දේශපාලන අදහසකි. එයින් ඔබ්බට යන අනුරසිරි තුළ සිටින ප්‍රබල මානවවාදියා ඉදිරියට රැගෙන එන්නේ උතුම් මනුෂ්‍යත්වයේ නාමයෙන් ලේ වැගිරීමෙන් කිසිම දිනයක මේ දෙරණ කම්පා නොකරනු යන පණිවිඩයයි. නමුත් වර්තමාන දේශපාලනය තුළ අප දකින්නේ මිනිස්‌ රුධිරය ඉල්ලා කෑ ගැසීමක්‌ නොවේ ද? අපි අන්ධයන් වුණේ ඇයි?

ඒ පණිවිඩය ජනිත කරවීම පිණිස ඔහු සොයාගෙන ඇති වස්‌තු බීජය අපට හමුවන්නේ එළාර පාලනයේ අවසානය හා දුටුගැමුණු මුළු ලක්‌දිව ම එක්‌සේසත් කිරීම අතර කාලයේ ය. අනුරසිරිට හමුවන අපූරු ගම් දනව්වකි. ඒ මිත්ත ග්‍රාමයයි. සරළවම කිවහොත් ගමේ පන්සල වන පබ්බතාරාමයේ වාසය කරන, අනුරසිරි බිහි කරනු ලබන සරළ දූරදර්ශී දාර්ශනිකයා පබ්බතාරාමයේ සෝණ තෙරණුවෝ ය. ඒ අධිශීල භික්‍ෂුව දකින දර්ශනයේ සැබෑ ඵලය දුමින්දු ය. දුමින්දු සෝණ තෙරණුවන්ගේම මඟපෙන්වීම ලබන පුද්ගලයෙක්‌ ලෙස දැකිය නොහැක. ඔහු ස්‌වයං දර්ශනයක්‌ දකී. ඒ දර්ශනය වර්තමාන තරුණ සමාජයට ඔප්පුකොට පෙන්වීම අනුරසිරිගේ අදහසයි. අපට 'ස්‌මරණ' කියවන විට මුල් පරිච්ඡේද කීපයේදී ඇතිවන මුල්ම ගැටලුව නම් මෙහි කතා නායකයා හඳුනා ගැනීමයි. හුදු ඓතිහාසික නවකතාවක්‌ ලිවීමේ පරමාර්ථයෙන් එහා ගිය අනුරසිරි හෙට්‌ටි ගේ කතා නායකයා යුද වීරයෙක්‌ නොකරයි. අපගේ හදවත් අග්නි නම් තරුණ සෙබලා මෙම නවකතාව තුළ වීරයා කරන ලෙස මුල් පරිච්ඡේදවලදී ඉල්ලා සිටිය මුත් අනුරසිරි ගේ පරිකල්පනය ඉන් එහා ගිය එකකි. ඔහුට යුද වීරයන් සමාජගත කිරීමට අවශ්‍ය නැත. ඔහුට අවශ්‍ය හැම මනුෂ්‍යයාම එක ලෙස සළකන තරුණ හදවතක්‌ නිර්මාණය කිරීම පමණි. මේ නවකතාවේ ස්‌ථාන හා චරිත පෙළගැස්‌ම සංකේත මතුකර දක්‌වන්නේ මේ ආකාරයෙනි. පබ්බතාරාමය මුල් කරගෙන මතු වන මිත්ත ග්‍රාමයේ උත්තරය හා දක්‌ෂිණය ලෙස කොටස්‌ දෙකකි. එළාර ගේ රාජ්‍යත්වය ලබා ගැනීම වෙනුවෙන් ඔහුට සේවය කළ 'භානුක' ප්‍රමුඛ උත්තර වාසීන් සහ එළාර ආක්‍රමණිකයෙක්‌ ලෙස සලකා ඔහුට විරුද්ධ වූව ද පසුව එළාරගේ යහපත් පාලනය තේරුම් ගෙන රජුට අවනත වූ 'දාසෙන්' ප්‍රමුඛ දක්‌ෂිණවාසීන් මේ නවකතාව තුළ වාසය කරන්නේ එකම කෙතක දෙපස ය. ඔවුහු සිය ජීවිතය එකට බෙදා ගනිති. එකට බැඳුණු කෙත් යාය එක්‌ව සංවර්ධනය කරති. මේ ගම වෙදනා වන දප්පුල උතුරටත් දකුණටත් දෙකටම වෙදකම් සපයයි. මේ අනුරසිරි පවසන්නේ එදා ලාංකිකයා ගැන නොවේ. අපි සැබෑවට නොදකින සිහිනයේ දකින වර්තමානයයි. ගම වෙසෙන පරිණතම මිනිසුන් මෙන් ම තරුණ පරපුරේ සමීපත්වය අනුරසිරි ඉදිරිපත් කරන්නේ අග්නි, මලිඳු, හා මලිති ලා ඔස්‌සේ ය.

''මිත්ත වාපියේ ජල තරංගය සුළඟ හා මුසුව නඟන හ`ඩ අසන සශ්‍රීක කෙත් යාය ඉඟ නෙරිය ලෙළවමින්'' රූබර ලිය පෙරහැරක්‌ මෙන් රඟන ඒ සුන්දර උදෑසනට අඳුරත් එක්‌ කරමින් සෝණ නම් අධිශීල භික්‍ෂුව අතට පත් වන ළා බෝපත් රිකිල්ල මේ නවකතාවේ අනුරසිsරි භාවිත කරන ප්‍රබල සංකේතවලට හොඳම උදාහරණ වේ. එම බෝ පත් රිකිල්ල නවකතාකරුවා කතාවේ අවසානය තෙක්‌ රැගෙන යැමට අමතක නොකරයි. මේ සැබැවින්ම අනිත්‍යය පිළිබඳ අදහස්‌ ජනිත කරවීමකි. ''උපතක රැඳුණු මරණය'' ස්‌වභාව ධර්මය තුළින් සෝණ තෙරුණුවෝ දකිනු බලන අඳුරු පෙරමඟ සළකුණු සැබෑවක්‌ කර දක්‌වනු ලබන්නේ එළාරගේ සෙබළෙක්‌ වන අග්නි ගෙනඑනු බලන තිස්‌සයන් මියයැම පිළිබඳ ආරංචි යයි. ද්වාරමණ්‌ඩල ගමේ දඩනාගේ පුතු වන දුමින්දු උතුරේ එළාරගේ පාලනයට විරුද්ධව තිස්‌සයන්ට සහාය වීම සඳහ මාගම බලා යැමට සිත් ඇති තරුණයෙකි. ඉරණම ඔහු නවත්වනු ලබන හැරවුම් ලක්‌ෂය පබ්බතාරාමයයි. දාසෙන් පුත් මලිඳු සමඟ මිත්‍රකම් ගොඩ නඟාගන්නා දුමින්ඳු ඒ හරහා අග්නිව හමුවේ. තිස්‌සයන් මිය යැම දුමින්ඳුගේ සිත සොලවන ආරංචියකි.ඔහු මාගමට ගොස්‌ තිස්‌සයන්ට එකතුවීම හා සෝණ තෙරුණුවන් ඇසුරේ පසුවීම පිළිබඳ තම සිත තුළ නොනවතින සටනක්‌ කරන පුද්ගලයෙකි. සිදු වන්නට යන දේශපාලන පෙරළිය පිළිබඳව බාල මහලු කවුරුත් කලබල වන අතරේ අනුරසිරි අහිංසක ගැමි ආදරය කරළියට ගෙන එනු ලබන්නේ අග්නි හා මලිති ඇසුරිණි. පසුව කතා නායක දුමින්ඳු පබ්බතාරාමය හැර යැමට එක්‌ මානසික හේතුවක්‌ වන්නේ මලිතිගේ පෙම්වතා තමා නොවීමයි. අනුරසිරි ඒ ආදරය පිළිබඳව එතරම් දීර්ඝව කතා නොකළත් නියත හා ප්‍රබල ආදරයක්‌ අග්නි හා මලිති අතර ගොඩනඟයි.

''නැඟණිය.. නුඹ පෙරමඟ බලා සිටි අග්නිගේ රුව ඇති සැටියෙන් බලා ගත්තා ද..? පෙරදා රැයේ ඇය නොනිදා පහන් කළ බවත් මෑණියන් පවසනවා මට ඇසුණා..'' (පි( 46)

දුමින්ඳු තම හදවත සහ සෝණ තෙරුන්ගේ මහා කරුණාවෙන් පිරි සත්‍ය අතර සටනක්‌ රැගෙන යයි. අනුරසිරි මේ පවසන්නේ සමස්‌ත විප්ලවවාදී තරුණ පරම්පරාව පිළිබඳව ය. ඔහු සිත තුළ මනුෂ්‍යත්වය පරදා එළාර විදේශිකයෙක්‌ ය යන හැඟීම මතුයේ. නමුත් සෝණ තෙරුන්ගේ ප්‍රබල දැක්‌ම දුමින්ඳුව හික්‌මීම කරා ගෙන යයි.

''යුද්ධය මිනිසා විනාශය කරා රැගෙන යනවා දුමින්ඳු.. පාලකයන්ට විනා පාලිතයන්හට යුද්ධය වුවමනා නැහැ. සියල්ල ඇති හැටියෙන් දැකීමේ බුද්ධිය නුඹ සතුයි... හැඟීම් යටපත් කොට බුද්ධිය රජ කරවීම පිණිස අදිටන් කරගනින් දුමින්ඳු..'' (පි(60)

දුමින්ඳු තුළ පෙනෙන අභ්‍යන්තර ගැටුම අවසානයේ බුද්ධිය පැරදේ. තරුණ විප්ලවවාදියා පබ්බතාරාමය හැර යයි. මේ සමස්‌ත තරුණ පරම්පරාව හික්‌මීම හැර යන අවස්‌ථාවයි. මේ අතරම මිත්තයේ උත්තර හා දක්‌ෂිණ මහලු මිතුරන් දෙදෙනා වන භානුක ගේ හා දාසෙන් ගේ සිතුවිලිවල සිදුවන්නට යන විපත පිළිබඳව ඇතිවන හැඟීම් සමුදාය අනුරසිරි දකින පරිණත බව පෙන්වයි.

''භානුක මේ කුමන අපහාසයක්‌ ද..? අපේ මිතුරුකම් නුඹට අමතක වීද..? නුඹ පර දේශක්‌කාරයෙක්‌ වන්නේ උපතින් පමණයි.. මා පුතු මලිඳු මෙන් නුඹ පුතු අග්නිද මට මගේ පුතකු හා සමයි... මා විස්‌වාශ කරපං භානුක..'' (පි(64)

අනුරසිරි මේ ඉදිරිපත් කරන්නේ ඉතිහාසයෙන් කතාන්දරයක්‌ නොවේ. නිර්මාණාත්මක කතන්දරයකි. මහාවංසයේ වීරයා වන දුටුගැමුණු රජු සාහිත්‍යකරුවන්ගේ නිර්මාණවලට කොතෙකුත් ගොදුරු වී ඇත. මහාවංසය තුළ අප කියවන දුටුගැමුණුගේ නැඟී සිටීම නවකතාකරුවා නවකතාවට කාලානුරූපීව එකතු කර ගනියි. 'ස්‌මරණ' තුළ අපි දකින දුටුගැමුණු එළාර නම් ධාර්මිෂ්ට පාලකයා ගේ පාලනයට එරෙහිව නැඟී සිටින සිංහල කුමාරයෙකි. අනුරසිරි නිර්මාණය කරන කතාවේ එන චරිත හා ස්‌ථාන ඉතිහාස සාහිත්‍ය තුළ අපට මුණ ගැසී නැත. නවකතාකරුවා කාවන්තිස්‌ස ගෙන් පසු දුටුගැමුණු රජ වීම හා රුහුණේ ඇතිවන පිබිදීම කතාවට එකතු කරයි. දුමින්ඳු එළාර සතුරෙක්‌ කොට සළකා ගැමුණු කුමරුට සහය ලබාදීමේ අරමුණින් පිට වූවත් පබ්බතාරාමයෙන් නික්‌ම ගිය විගසින් ඔහුගේ අදහස්‌ වෙනස්‌වීමට පටන් ගනී. දුමින්ඳු මෙන්ම ස්‌වදේශීය වැසියෙක්‌ වන මලිඳු පවසනු ලබන දේ අසා ඔහු ලබා දෙන පිළිතුර දුමින්ඳුගේ වෙනස පැහැදිලි කරයි.

''මාගමුන් උන්ද අප වැනි මිනිසුන් මලිඳු, නුඹ සටන් වදින්නේ මිනිසුන් සමඟයි.. සත්‍ය එයයි. සටනකින් සිදු වන විනාශය.. නුඹට ඒ ගැන වගක්‌ නෑ මලිඳු''

(පි(87)

ඒ මලිඳුට තේරුම් කර දිය යුතු සත්‍ය නොවේ. දුමින්ඳු තේරුම් ගත් සත්‍යයි. සැබෑ දාර්ශනික විප්ලවවාදියා බිහි වේ. හේ විමුක්‌තිය සොයා යයි. දුමින්ඳුට හමු වන්නේ ආලාර කාලාම පරපුරේ අයෙක්‌ ද? චුල්ල පණ්‌ඩුල ඇදුරා ළඟ දුමින්ඳු සොයන විමුක්‌තිය නොවී ය. හේ නික්‌මී ය. මේ අනුරසිරි ඉදිරිපත් කරනු ලබන්නේ ගෞතම සිද්ධාර්ථ ගේ ප්‍රතිරූපයක්‌ නොවේ. මේ සිද්ධාර්ථ වැනි තවත් එක්‌ විප්ලවවාදියෙකි. ඔහු ස්‌වයං දර්ශනය ගොඩනඟා ගැනීම වෙනුවෙන් අභිනික්‌මන් කරයි. අභිනික්‌මන් කරන හැම දෙනාම බුදුවරු නොවන්නේ ය.

අනුරසිරි ප්‍රබන්ධ කතාව තුළ කෙටියෙන් කතා කෙරුණ ඉතිහාස කතාව ප්‍රබල ලෙස සම්බන්ධ වන අවස්‌ථාව හමු වේ. මියුගුණ නුවර ජය ගන්නා දුටු ගැමුණු තිත්තම්බ තොටේදීත් ජය අත්කර ගනියි. පිළිවෙලින් සත්බෑකෝට්‌ටය, අතුරොබ, දෙනගම, හාලකෝල නුවර පසුකර කසාතොටට පැමිණේ. අග්නි නම් තරුණ සෙබලා ගේ සිරුරට ඇතුළු වන හීයත් සමඟ ඔහුගේ ජවාධික අශ්වයා ඔහු රැගෙන යන්නේ පැරණි මතකයකට ය. එහිදී අනුරසිරි මතුකර පෙන්වන්නේ යුද බිමට ගිය තම පුරුෂයා වෙනුවෙන් හ`ඩන තරුණ පතිනියකගේ ජීවිතය හා හැඟීSම් ය.

ඉතා ක්‍රමවත්ව විහිදී යන නවකතාව තුළට එකවරම කතා නායකයා ගේ අභිප්‍රායන් වෙනස්‌ කරන ආකාරයේ චරිතයක්‌ මතු වේ. ඒ කාජරී ය. දුමින්ඳු හා එකම ගමක වාසය කළ මේ තරුණිය දුමින්ඳු වෙනුවෙන් ම සිය හදවත පිළිගන්වන්නට ප්‍රාර්ථනා කරගෙන සිටි බව කතුවරයා ස්‌මතු කරයි. සත්‍ය සොයා යනු ලබන තවුස්‌ වෙස්‌ ගත් තරුණයෙකු ඉදිරියේ ආත්මය පූජා කරන්නට බලා සිටින තරුණියක්‌ තබන්නේ ඇයි? අනුරසිරි සිය ප්‍රබන්ධය ගොඩනඟා තිබූ රටාවම වෙනස්‌ කර ඇත. මේ වෙනස කතා නායකයා ගේ චරිතයට සුවිශාල වෙනසක්‌ සිදු කරයි. මේ ගිහි ජීවිතය හැර යනු ලබන තරුණයෙක්‌ නැවත කම් සැප විඳීමය. කාජරී කතාවේ අවසානයට පුළුල් ලෙස බලපාන නමුත් ක්‍රමවත්ව ගලා ගිය කතාවට හානියක්‌ වූවාදැයි අපට සිතේ. මන්ද දුමින්ඳුගේ අපේක්‍ෂා කාජරී විසින් බිඳදැම්මා දැයි දුමින්ඳුටම ගැටලුවකි.

''රාගය.. ඇට මිදුළු කකියවමින් සිරුර පුරා දිව-යන මේ ප්‍රහර්ෂය.¾ කාජරී¾ නුඹ සීල සමාධිය බිඳ-දමන මරඟනක්‌..¾''

(පි(143)

පබ්බතාරාමයෙන් පිටවන විට දුමින්ඳු තුළ බුද්ධිය රජ වී තිබිණි. නමුත් අනුරසිරි විසින් ම ඒ පුද්ගල බුද්ධිය පරාජයට පත් කර ඇත. සෝණ නම් ගල් වඩුවාට දුමින්ඳු මෙසේ පවසයි.

''අන්ධකාරයේ සඳ එළියේ පමණක්‌ නොවේ, උදෑසන හිරු එළියේත් මා ඇය හා රමණයේ යෙදුණා.''

(පි(149)

දුමින්ඳු ගේ කම් සැප විඳීමේ ආශාවේ කෙළවර ඔහු තම ආත්මාර්ථකාමී සිතුවිලි ඉදිරිපත් කරයි. තමාට ආදරය කරන තරුණිය අමතක කර තම අභිප්‍රාය පසුපස යැම සැබැවින්ම තරුණියක්‌ අසරණ කර දැමීමකි. දුමින්ඳු ගේ විමුක්‌තිය වෙනුවෙන් අවසන මේ තරුණිය ගේ වගකීම භාරගනු ලබන්නේ සෝණ නම් ගල් වඩුවා ය. තවුස්‌දම් පුරන පිරිමිබොහෝ තැන කාන්තාව අසරණ කර දැමීමට දනියි. අප පවසන්නේ නියර මිටි තැනින් වතුර බසිනවා කියා ය. ඒ මිටිතැන්හි සත්‍ය ලෙසින් ම සිටින්නේ ගැහැනිsයකි. කාජරී ගේ වගකීම් භාරගනු ලබන සෝණ නම් ගල් වඩුවා සැබෑ මානව හිතවාදියෙකි. මේ බිමේ අනුන් ගේ ගැහැණනියක්‌ තමන් ගේ කරගෙන ඇත්තටම ආදරය කිරීම සුළුකොට තැකිය නොහැක. එවිට තවුස්‌දම් පුරන දුමින්ඳුට වඩා සෝණ සැබෑ මිනිසෙකි. එහිදී අනුරසිරි ගෙනහැර දක්‌වන්නේ තවුසෙකු ගේ නොව කලාකරුවකු ගේ ජීවන දර්ශනයයි.

ඉතිහාස කතාවේ අවසානය දුටුගැමුණු සටන ජයගැනීමයි. සටන අවසන් කර ජයග්‍රාහීව ඉදිරියට ඇදෙන පිරිවර සෝණ ගේ හා කාජරී ගේ දෑසට හසුවෙයි. ගල් වඩුවා ඒ පෙරහැරේ එන ගැමුණු කුමරුට වශී වේ. අප දකින විශ්මිත අනුරපුර ගල්වඩුවාගේ අපූර්ව නිර්මාණයක්‌ වන ඉසුරුමුණියේ 'මිනිසා සහ අශ්ව හිස්‌ නවකතාව අවසානයේ සෝණ දකින ගැමුණු කුමරු ගේ කරුණාබර දෑස බවට පත් කිරීමට තරම් අනුරසිරි ගේ පරිකල්පනය සමත් ය. සෝණ තමා දකින හැඟීම් තනිව ගල් පවුරේ කැටයම් කරයි. පින්වත් කුමාරයෙක්‌ සහ යහපත් පාලනයක්‌ පිළිබඳ සතුට සෝණ ගේ ගල් කැටයම ඔස්‌සේ දකින දුමින්ඳු තමාට හිමි සත්‍ය දත් මිත්තයේ පබ්බතාරාමයේ සෝණ තෙරුන් ගේ සෙවණට සෙමින් පා ඔසවයි. 'ස්‌මරණ' නිමා වේ. මෙහි අවසානය දකින්නට අනුරසිරි ඉක්‌මන් වූවා යෑයි අපට හැඟේ. ස්‌මරණ තුළ තව ටිකදුරක්‌ ජීවත් වන්නට තිබුණා නම් අගනේ යෑයි ඔබටත් සිතෙන්නට පුළුවන.

මේ ඉතිහාසය විකෘති කිරීමක්‌ නොවේ. ඉතිහාසය මතක්‌ කරගෙන වර්තමානය දෙස බැලීමකි. අප තාම සිටින්නේ දශක තුනක යුද්ධයේ සුන්බුන් අතරය. ජාතිවාදී ගැටුම්වල දශක තුනක අත්දැකීම් අප සතු වුවත් පක්‍ෂ, කුල, ආගම් වෙනුවෙන් අපි තාම ඇන කොට ගන්නෙමු. දුමින්ඳ පරාජය කළ බුද්ධිය පරාජය කිරීමට අපට තව බොහෝ කල් යනු ඇත. අනුරසිරි අපට තේරුම් ගැනීමට එක්‌ සත්‍යයක්‌ ඉතුරු කර ඇත. එහි වටිනාකම කොයි තරම්දැයි මුදලින් ගණන් බැලීමය මම ගණන් කාරයෙකු නොවෙමි. ඒ සත්‍ය නම්, ''පාලකයන්ට ඔටුන් පැළඳවීම සඳහා මිනිසුන් තම ජීවිත බිළි දිය යුතු නැත'' (පි(18) මම අනුරසිරි හෙට්‌ටිගේ නම් වූ නොකිළිටි සාහිත්‍යකරුවාට සුබ පතමි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.