මුලතිවි දිස්‌ත්‍රික්‌කයේ
එකම පංසලේ කඨින පිංකමට ගියෙමි


එදින වැසි සහිත දහවලක්‌ තිබුණද රාත්‍රී කාලයේ මහ වැසි නැවති ගත සිත ප්‍රබෝධමත් වන සුවදායි වටපිටාවක්‌ නිර්මාණය වී තිබිණි.

රාත්‍රී 10 වන විට සියයකට අඩුවැඩි පිරිසක්‌ රැගත් බස්‌ රථ 2 ක්‌ කොළඹින් පිටත්වන්නේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති ශ්‍රී සම්බෝධි බෞද්ධ විහාරස්‌ථානයේ සිදු කරන කඨින පිංකමට සහභාගිවීම පිණිසය.

සාමාන්‍යයෙන් කඨින පිංකමක්‌ බෞද්ධයින්හට වැදගත් වන බව සැබෑය. එහෙත් අප සහභාගිවීමට යන මෙම කඨින පිංකම සුවිශේෂී හේතු ගණනාවක්‌ නිසා ඉතා වැදගත් පිංකමක්‌ ලෙස අප සලකන්නෙමු.

එම හේතූන් අතරට මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ලියාපදිංචි එකම විහාරස්‌ථානය මෙන්ම මහජන ආධාරයෙන් නිර්මාණය වෙමින් පවතින ඕනෑම අයකුට වැඳපුදා ගත හැකි පන්සලක්‌ වන නිසාත්, ඉතා සුළු සිංහල බෞද්ධ ජනතාවක්‌ සමග ද්‍රවිඩ කතෝලික සහ හින්දු ආගම් අදහන විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පිංකම සිදු කිරීමත්, සිංහල ද්‍රවිඩ ජාතීන් තුළ සහ සමගිතාවය ඇතිවීමත් ඇතුළු කරුණු ගනනාවක්‌ පාදක වන බව පැවසිය යුතුය.

උඩහමුල්ලේ හඳරාගම මෝටර්ස්‌ අධිපති ආරියසේන හඳරාගම මහතා විසින් සංවිධානය කර තිබූ මෙම වන්දනාගමන සඳහා විවිධ තරාතිරමේ උදවිය සහභාගිවී සිටියහ.

මැදියම, අලුයම, හිමිදිරිය පසුකරමින් උදෑසන එළඹෙමින් තිබිනි. අප රැගත් බස්‌ රථ දෙක නෙලුම් වැව 9 වැනි ගජබා රෙජිමේන්තු කඳවුර වෙත ළඟා වූයේ අප වෙනුවෙන් මෙම කඳවුරේ උදැසන ආහාරය පිළියෙළ කර තිබූ නිසාවෙනි.

සියයකට ආසන්න පිරිසට ප්‍රණීත උදෑසන ආහාරවේල සකසාදුන් එම කඳවුරේ සියලුම නිලධාරීන්ටත් සෙබළ පිරිසටත් අනෙකුත් අයටත් ස්‌තූති පූර්වක පුණ්‍යානුමෝදනාවක්‌ ලබාදෙමින් තවත් කි. මිටර් 22 ක දුර පිහිටා ඇති ශ්‍රී සම්බෝධි විහාරස්‌ථානය දක්‌වා අපි ගමන් ආරම්භ කළෙමු.

උදෑසන හිරුඑළිය වැටෙමින් තිබිණි. අප ගමන් කරන මුලතිව් දක්‌වා දිවෙන කාපට්‌ අතුරා අඩි 30 ක පමණ පළලින් යුතු බී 297 මාර්ගය හොඳින් සංවර්ධනය කර ඇත. බැලු බැලූ අත මනරම් දසුන්ය. කඩසාප්පු, නිවාස, විවිධ ගොඩනැගිලි, කතෝලික පල්ලි, කෝවිල් පසු කරමින් අප ගමනාන්තයට ළඟා වීමු.

අනුරාධපුර, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය, පරාක්‍රමපුර හරහා කොහොඹගස්‌ හන්දියෙන් දකුණට හැරී කි. මීටර් 12 කදී පමණ හමුවන්නේ කෝකිලායි ගම්මානයයි.

පසෙකින් උතුරුමුහුදටත් අනෙක්‌ පසින් කෝකිලායි කලපුවටත් මැදිවූ බිම් තිරයේ කෝකිලායි ගම්මානය මුලතිව් නගරයේ සිට කි. මීටර් 35 ක්‌ පමණ දකුණට වන්නට පිහිටා ඇත.

මේ ප්‍රදේශය අද කෝකිලායි ලෙස හැඳින්වුවද කුකුලෙකුගේ කරමලය හැඩගත් බිම් කඩක්‌ නිසා කුකුලාව ලෙසින් අතීතයේදී භාවිතා කර ඇත.

දැඩි නියඟයට මුහුණදි තිබුනු මෙම ප්‍රදේශයේ තවමත් ප්‍රමාණවත් තරම් වැසි ලැබී නැති බව පෙනෙන්නට තිබේ.

අඩි 06 ක පමණ උසින් යුතු සමාධි පිළිමවහන්සේ නමක්‌ පන්සල ඉදිරිපිට ස්‌ථාපිත කර තිබිණි. මදක්‌ පැරණි ගොඩනැගිල්ලක්‌ සහ ඊට යාව ඉදි කරන ලද නව ගොඩනැගිල්ලක්‌ පෙනෙන්නට තිබූ අතර ඒ බණමඩුව සහ ආවාසගෙය වන්නට ඇතැයි මම අනුමාන කළෙමි.

අක්‌කර 03ක පමණ භූමි භාගයක පිහිටා ඇතැයි සිතිය හැකි ශ්‍රී සම්බෝධි විහාරස්‌ථානයේ ඉදිරිපස මැද සහ කෙළවරට වන්නට ඉපැරණි බෝධිවෘක්‌ෂ 03 ක්‌ පිහිටා තිබිණි.

මෙම විහාරස්‌ථානයේ වැඩසිටින එකම ස්‌වාමින් වහන්සේ වන පූජ්‍ය ශ්‍රී තිස්‌සපුර ගුණරතන ස්‌වාමින් වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය නිසාම ඉදිව ඇති ශ්‍රී සම්බෝධි විහාරයට යුද හමුදාව සහ නාවික හමුදාව ලබාදෙන්නේ විශාල සහයෝගයක්‌ බව දැනගන්නට ලැබිණි.

කෝකිලායි ජනතාව බහුතරයක්‌ ධීවර වෘත්තියෙන් ජීවිකාව කරන්නෝ වෙති. ඉතා දුප්පත් අහිංසක ජනතාවක්‌ වන ඔවුනගේ හදවත් වලින් යුද බිය ඉවත් ව තිබුණද ජීවිතයේ ''සැප'' සහ ''වින්දනය'' නම් ඔවුන්ගේ අහලකටවත් තවම ලඟාවී නොමැත. සිංහල සහ ද්‍රවිඩ ජනතාව බහුතරයක්‌ කතෝලික හා හින්දු ආගම් අදහන උදවිය වන අතර සිංහල බෞද්ධ පිරිස විශාල නොවේ.

කිසිදු ආගම් භේදයකින් තොරව ප්‍රදේශවාසීන් පංසලේ සියලු කටයුතුවලදි තම උපරිම දායකත්වය ලබාදෙන්නේ රටේ ජාතික සමගිය ගොඩනැගෙන බවට පැහැදිලි සාක්‍ෂි සපයමිණි.

කළුතරින් සහ අනුරාධපුරයෙන් තවත් බස්‌ රථ 2 ක 80 කට ආසන්න කණ්‌ඩායම් දෙකක්‌ මෙම පිංකමට සහභාගිවීමට පැමිණියහ.

ඉතාම ඉහළින් මේ සියලු දෙනාටම ආගන්තුක සත්කාර ලබාදුන් පූජ්‍ය ශ්‍රී තිස්‌සපුර ගුණරතන හිමියෝ තම නෑදෑහිතවතුගේ සහයෝගයෙන් දිවා ආහාරයද ලබා දුණි.

එදින සවස්‌කාලයේ මල්පහන් දැහැත් ගිලන් පස පූජාවෙන් අනතුරුව යාය 12 ශ්‍රී පුෂ්පාරාම පුරාණ රජමහා විහාරාධිපති ශ්‍රී පුර ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී තලගල නන්දරතන ස්‌වාමීන් වහන්සේ විසින් බෝධි පූජාවක්‌ පැවැත්වූ අතර ශ්‍රී තිස්‌සපුර ගුණරත්න ස්‌වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනයක්‌ද පවත්වන ලදී.

දහසකට ආසන්න පිරිසක්‌ මේ පිංකම් වලට සහභාගි වූයේ ආගම් බේදයකින් තොරව බව නැවතත් පැවසිය යුතුය.

රාත්‍රියේදි පන්සලට යාබදව ඇති ආරොග්‍ය ශාලාවේත් පන්සල ඉදිරිපිට නිවසකත් පන්සලේත් බස්‌රථ වලින් පැමිණි කණ්‌ඩායම් නිදා ගනිමින් තිබියදි මම මේ පින්බිමේ ඇවිද ගියෙමි. මේ ප්‍රදේශයේ විශාල පිරිසක්‌ ජල අවශ්‍යතා සපුරා ගන්නා නල ළිඳ ද පන්සලේ පසෙක පිහිටා ඇති අතර එය කිසිදු කිවුල් රසක්‌ නැති පිරිසිදු වතුර උල්පතකින් එන්නකි.

මඳක්‌ පැරණි ගොඩනැඟිල්ලේ පසෙක බුදු මැදුරක්‌ද අනෙක්‌ පස එක්‌ කාමරයක්‌ ද වෙයි. එය ගුණරතන හිමියන්ගේ ආවාසගෙය වන්නේය.

මේ රාත්‍රියේදී පැරණි බෝගස යට පුටුවක්‌ උඩට වී ඉතා කටුක නින්දක්‌ ලබන ගුණරතන හිමියන් මගේ නෙත ගැටිණි. තමන්ගේ එකම ඇඳ කණ්‌ඩායමේ සිටි සාමනේර හිමිවරු දෙපළකට දී බෝගසයට පුටුවකට වී කටුක නින්දක්‌ ලබන මේ ආදර්ශවත් බුද්ධ පුත්‍රයා ගැන බෞද්ධයන් හැටියට අප ආඩම්බර විය යුතු යෑයි මට සිතිනි.

හිමිදිරියේ පන්සලේ සිට කි. මීටර් 11/2 ක පමණ දුරින් පිහිටි නිවසක සිට කඨින චීවරය රැගත් පෙරහැර ආරම්භ විය.

මෙම නිවස හිමිකරු විඡේකෝන් නමැති මහතකු වන අතර එම මහත්මිය කතෝලික ආගමේ වීමද විශේෂත්වයකි. එම නිවසේ පසෙක ආගමට අදාල සුරුවම් සහ දේව පිංතූර තිබූ අතර අනෙක්‌ පස බුදුපිළිමද තබා තිබිණි.

දහසකට ආසන්න පිරිසක්‌ සහභාගිවූ මෙම පෙරහරේ මල් බයිසිකල් බොරු කකුල් කරුවන්, ලීකෙලි, වැදි නැටුම්, කුළු නැටුම් ඇතුළු නැටුම් කණ්‌ඩායම් 08 ක්‌ පමණ සහභාගි විය.

ඉතාම පූජනීය ලෙසත් අලංකාර ලෙසත් කඨින චීවර පූජාව අවසන් වූ අතර පසුදින 20 නමක්‌ උදෙසා පැවැති සාංඝික දානමය පිංකමෙන් අනතුරුව කටයුතු නිමා විය.

ඉන් අනතුරුවද මහත් පිංකමක්‌ පැවැත්විණි. ඒ බස්‌ රථවලින් ගිය කණ්‌ඩායම් එකතුව කළ සාංඝික දානමය පිංකමට පසු ගමේ පිරිසටද හොඳ කෑමවේලක්‌ ලබාදීමය.

ඇපල් නොහඳුනන දරුවෝත් ඇපල් රස නාඳුනන වැඩිහිටියෝත් මෙම ගම්මානයේ සිටින බව පැවසීම ඔවුන්ට කරන අපහාසයක්‌ නම් නොවේ. එය මා දුටු සංවේදී සත්‍යයයි.

මෙම පින්කම් සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජනරාල් ජගත් ඩයස්‌ මහතාද පුදුකුඩුඉරිප්පු 60 සේනාධිපති මේජර් ජනරාල් අමිත් කාරියකරවන මහතාද මුලතිව් පොලිස්‌ පරීක්‍ෂක නාමල් පෙරේරා ඇතුළු ආරක්‍ෂක අංශවල විශාල පිරිසක්‌ද සහභාගි විය.

නගරබද විවිධ වූ ආරාම නමින් සහ කුටි නමින්ද අසපු නමින්ද කෝටිපති දායකයින්ගේ නොමසුරු දායකත්වය මත අංගසම්පූර්ණ සැප පහසුකම් මැද පවත්වාගෙන යන පන්සල්වලත්ල අන්ත අසරණ අපහසුකම් මැද විශාල සමාජ මෙහෙවරයන් රාශියක්‌ පවත්වාගෙන යන ශ්‍රී සම්බෝධි විහාරස්‌ථානය වැනි පන්සල්වලත් අදහන්නේ එකම බුදු පියාණන් කෙනෙකු දැයි මට සාධාරණ සැකයක්‌ මතුවන්නේය.

අමරසිංහ මාලගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.