පාප් වහන්සේගේ සංචාරය අවලංගුයි?

නිලන්ත මදුරාවල, නෝමන් පලිහවඩන



ලබන ජනවාරි මස මුල් සතියේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත හෙයින් ශුද්ධෝත්තම පළමුවැනි µ්‍රeන්සිස්‌ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කතෝලික බිෂොප්තුමන්ලා රැස්‌ වී විශේෂ සාකච්ඡාවක්‌ ද පවත්වා තිබේ.

මේ අතර පාප් වහන්සේගේ සංචාරයට අදාළ සංවිධාන කටයුතු සොයා බැලීම සඳහා වතිකානුවේ දූත පිරිසක්‌ ලබන මස අවසානයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. පාප් වහන්සේ පිළිගැනීමට රටේ පවතින සූදානම මෙන්ම දේශපාලන තත්ත්වයද එම දූත පිරිසේ සැලකිල්ලට භාජන වන බව දැනගන්නට තිබේ. දූත පිරිස ඉදිරිපත් කරන තොරතුරු පාප් වහන්සේගේ සංචාරය කෙරෙහි දැඩි ලෙස බලපාන බව අගරදගුරු මැඳුරේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙරට කතෝලික දහම ප්‍රචාරය කිරීම වෙනුවෙන් කැපවූ ජුසේවාස්‌ පියතුමන් ශුද්ධවරයට එසවීම ද පාප් වහන්සේගේ සංචාරයේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ. යම් ලෙසකින් සංචාරය අවලංගු වුවහොත් ජුසේවාස්‌ පියතුමන් ශුද්ධවරයට එසවීම සිදු කෙරෙන්නේ වතිකානුවේදීය.

දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල්තුමන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට යවා ඇති ලිපියටද මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැතැයිද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වුවද පවතින තත්ත්වය පිළිබඳව කතෝලික සභාවද ඉක්‌මනින්ම තීරණයක්‌ ගැනීමට නියමිත යෑයිද එම ආරංචි මාර්ග කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.