සමස්‌ත දෙමළ ජනතාවම බෙදුම්වාදීන් නොවේ
රටේ දේශමාමකත්වය දේශ හිතෛෂීත්වය කාටවත් ඔප්පුවකින් ලියා දී නැහැ
-එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස

මේ රටේ දේශමාමකත්වය දේශ හිතෛෂීත්වය කාටවත් සින්නක්‌කර ඔප්පුවකින් ලියා නැහැ. එය කිසියම් පක්‍ෂයකට කොටසකට පමණක්‌ අයත් වන දෙයක්‌ නොවේ. දෙමළ ඩයස්‌ පෝරාව හා එල්. ටී. ටී. ඊ. ඩයස්‌පෝරාව යනු දෙකක්‌. එහි වෙනස අප වටහාගත යුතුයි. සමස්‌ත දෙමළ ප්‍රජාවම බෙදුම්වාදයට උල්පන්දම් දෙන අය නොවන බව අප තේරුම් ගත යුතුයි. අප එය තේරුම් නොගතහොත් රටේ සාමය, මිත්‍රශීලිභාවය, සංහිඳියාව ඇති කළ නොහැකියි යෑයි එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා ඇතුළු ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති සමස්‌ත ලංකා මුස්‌ලිම් ලීගයේ තරුණ පෙරමුණේ 44 වැනි සම්මේලනය අමතා හෙතෙම මේ බව පැවසීය.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

අද "මුහර්රම්" හෙවත් ඉස්‌ලාම් නව වසරේ පළමු දිනයයි. ප්‍රථමයෙන්ම මා ඔබ සියලු දෙනාට සුබ නව වසරක්‌ වේවා යි ප්‍රාර්ථනා කරනවා. අද සම්භාවනීය අමුත්තන් රැසකගේ හර බර කථාවලට සවන් දෙමින් සිටියදී මට මඳකට සිතුණේ මම මේ අවස්‌ථාවේ පාර්ලිමේන්තුවේ සිටිනවාදොa කියායි. සේනාධිරාජා මැතිතුමාගේ අදහස්‌ ඉදිරිපත් කිරීමත් සමඟම සුපුරුදු පරිදි හරබර තර්ක විතර්ක ඉදිරිපත් කළ අපේ අස්‌වර් මැතිතුමා පිළිබඳව මා පුදුමයට පත් වන්නේ නැහැ. ඒ මන්ද එතුමා රණසිංහ ප්‍රේමදාස දේශපාලන විශ්වවිද්‍යාලයෙන් හොඳම උපාධියක්‌ ලබපු තැනැත්තෙක්‌ වන නිසයි. මම හිතුවා මගේ අදහසුත් ඉදිරිපත් කරන්නට අවස්‌ථාවක්‌ ඒදොa කියා. ඒ කෙසේ වෙතත් අප හිතවත් අග්‍රාමාත්‍ය තුමන්ගේ මූලිකත්වයෙන් පවත්වන සමස්‌ත ලංකා මුස්‌ලිම් ලීගයේ තරුණ පෙරමුණේ 44 වැනි සම්මේලනයට ප්‍රථමයෙන්ම මගේ සුබපැතුම් සහ හද පත්ලෙන්ම නැගෙන ආශිර්වාදය මා පුද කර සිටිනවා.

ඉමහත් ගෞරවයට පාත්‍ර වුණු මෙරට කෘතහස්‌ත දේශපාලනඥයකු මෙන්ම අපගේ හිටපු කථානායකවරයෙකු වූ දිවංගත අල්හාඡ් එම්. ඒ. බාකීර් මාකාර් මැතිතුමාගේ සංකල්පයක්‌ අනුව මේ තරුණ පෙරමුණ නිර්මාණය වුණා. මේ තරුණ පෙරමුණ නිර්මාණය කිරීමේ අරමුණ වූයේ ඉස්‌ලාමීය තරුණ ප්‍රජාව අන්තවාදයට යොමු නොවන සේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ ප්‍රබල කොටස්‌කරුවන් බවට පත් කර, ජන කොටස්‌ අතර සහෝදරත්වය ව්‍යාප්ත කිරීමේ ලා ප්‍රබල කාර්යභාරයක්‌ ඔවුන් වෙත පැවරීමයි. අද වන විට විවිධ දේශපාලන මතිමතාන්තර දැරුවත් බොහෝ දෙනා ඒ මතිමතාන්තර ගැටලුවක්‌ කර නොගනිමින් මේ තරුණ පෙරමුණ හරහා ආර්ථික, සමාජයීය, දේශපාලනික ඉලක්‌කයන් කරා ශක්‌තිමත්ව ගමන් කරන්නට සමත් වී තිබෙනවා. එය ඉතාම ප්‍රශංසනීය කරුණක්‌. ඒ පිළිබඳවත් මේ තරුණ පෙරමුණට මගේ සුභාශිංසන පළ කර සිටිනවා.

මුස්‌ලිම් හා සිංහල ප්‍රජාවන් අතර වසර දහසක පමණ කලාපරාසයක්‌ තුළ හොඳ ශක්‌තිමත් සබඳතාවක්‌ පැවත තිබූ බවට සාක්‍ෂි තිබෙනවා. ශ්‍රී ලාංකික ජන සමාජයේ එකම මවකගේ, එකම පියෙකුගේ දූ දරුවන් ලෙස මේ සහෝදරත්වය අඛණ්‌ඩව පැවතුණා. යෝනක ජනතාවට "මරක්‌කල" යන නාමය නිර්මාණය වුණු ආකාරය පිළිබඳ විමසා බැලීමේදී හෙළි වන්නේ අපේ රට පාලනය කළ සිංහල රජවරුන් සුරකින්නට එදා ඉස්‌ලාමීය ජනතාව ඉෂ්ට සිද්ධ කළ කාර්යභාරයයි. කන්ද උඩරට පාලනය කළ රජතුමෙකුට ආක්‍රමණික විදේශ බලවේග තර්ජන ගර්ජන එල්ල කරන විට මේ රජතුමා ජීවිතය රැකගන්නේ මහියංගන ප්‍රදේශයේ පංගරගම්මන කියන ගම්මානයේ. එහි නිවසක කිරි දොවමින් සිටි මුස්‌ලිම් කාන්තාවක්‌ රජතුමාගේ ජීවිතය බේරා ගැනීමට දැරූ උත්සාහය නිසා පර සතුරන් අතින් සිය ජීවිතය අහිමි කරගත් ආකාරය ඉතිහාසයේ ලියෑවී තිබෙනවා. "මා රැක්‌ක ලේ" නොඑසේ නම් "මා රැක ගත්ත ලේ" පසු කාලයේදී "මරක්‌කලේ" වී අනතුරුව "මරක්‌කල" ලෙස වෙනස්‌ වී තිබෙන බව අප දන්නා කාරණයක්‌.

අපේ රට විදේශ ආධිපත්‍යයෙන් මුදවා ගන්නට ශ්‍රීමත් ටී. බී. ජායා මැතිතුමා මෙන්ම ශ්‍රීමත් රාසික්‌ µරීඩ් මැතිතුමා එදා කළ උත්තුංග කාර්යභාරය අපට කවරදාකවත් අමතක කරන්නට බැහැ. එමෙන්ම ඉස්‌ලාමීය ප්‍රජාවට අතිමහත් කාර්යභාරයක්‌ ඉටු කළ දොස්‌තර එම්. සී. එම්. කලීල් මැතිතුමා, ආචාර්ය බදුර්දීන් මහමුද් මැතිතුමා ඇතුළු මුස්‌ලිම් නායකයන් රැසක්‌ එදා ඉටු කළ කාර්යභාරය මා මේ අවස්‌ථාවේ ඉමහත් කෘතවේදීව සිහිපත් කරන්නට කැමතියි. එමෙන්ම සමස්‌ත ලංකා මුස්‌ලිම් ලීගයේ තරුණ පෙරමුණ නියෝජනය කළ අතීත සභාපතිවරුන් රැසක්‌ සිටිනවා. රිස්‌වි සින්නලෙබ්බේ. එන්. එම්. සහීඩ්, අපේ හිටපු අමාත්‍ය මා හිතවත් ඉම්තියාස්‌ බාකීර් මාකාර්, එන්. එන්. අමීන්, රෂීඩ් එම්. ඉම්තියාස්‌ වැනි එහි හිටපු සභාපතිවරුන් විසින් ඉටු කළ සාදා නොමැකෙන සේවාවන් අද කාගේත් අගැයීමට පාත්‍ර වී තිබෙනවා.

මුස්‌ලිම් ලීගයේ තරුණ පෙරමුණ ඉටු කරන සමාජ සත්කාරක සේවාවන් මෙන්ම දේශපාලන පුහුණු කිරීම ජනතාව විපතට පත්වුණු අවස්‌ථාවලදී ඔවුන් ජීවත් කරවීම සඳහා ලබා දුන් සහාය හා ශක්‌තිය අප සියල්ලන් දැක තිබෙනවා. මෙතැන් සිට ඒ කාර්යභාරයන් ඉදිරියටම රැගෙන යැමට ඉදිරිපත් වුණු අක්‌කරෙයිපත්තුව ප්‍රදේශයෙන් බිහිවුණු උදුමා ලෙබ්බේ නව සභාපතිතුමන්ට ඒ සඳහා ශක්‌තිය ධෛර්යය හා වාසනාව ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා.

අද අප ජීවත් වන්නේ ත්‍රස්‌තවාදයෙන් මිදුණු ශ්‍රී ලංකාවකයි. අප දැන් යුද ජයග්‍රහණය ලැබූ රටක්‌. දශක තුනක කාලයක්‌ මේ රට වෙලා ගත් ඒ කුරිරු කොටි ත්‍රස්‌තවාදය අද අවසන් වී තිබෙනවා. ප්‍රතිවාදියාට ගෞරවයක්‌ දැක්‌වීම දේශපාලන ක්‍ෂේත්‍රයේ ඉතා දුර්ලභ දෙයක්‌. මයික්‍රෙµdaනයක්‌ අතට ගත්තොත්, වේදිකාවකට නැග්ගොත් සියයට අනු නවයයි දශම නවයක්‌ම දේශපාලනඥයන් ජප කරන මන්ත්‍රයක්‌ තිබෙනවා. ඔවුන් පෙන්වා දීමට උත්සාහ කරන්නේ තමන් තරම් සුවිශේෂි වූ පුද්ගලයෙක්‌, සිය පක්‍ෂය තරම් විශිෂ්ට පක්‍ෂයක්‌ මේ ලෝකයේ කිසිදා බිහි වී නැති බවයි. මා කැමතියි, ඒ සම්ප්‍රදායෙන් පිට පැන දේශපාලන කුහකත්වයෙන්, ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන්, ක්‍රෝධයෙන්, අධිමානයෙන් මිදී යුද ජයග්‍රහණයේ පූර්ණ ගෞරවය වත්මන් රජයට ලබා දෙන්නට.

එනමුත් ශ්‍රී ලංකාව රුදුරු යුද්ධයෙන් අත්මිදී වසර පහ හමාරකට පසුව අපේ පුරවැසි පරපුරේ මුහුණු දෙස බලන විට ඒ මුහුණුවල තවමත් සතුටක්‌ දකින්නට නැහැ. මට නම් පේන්නේ අර කොටි යුද්ධය පැවති කාලයටත් වඩා මළානික වුණු මුහුණුයි. එය කණගාටුවට කාරණයක්‌. එවැනි තත්ත්වයක්‌ පැවතීම ගැන අප කණගාටු විය යුතුයි. යුද ජයග්‍රහණයේ ප්‍රශංසාව පාලක පක්‍ෂය වෙත ලබා දෙන අතරම යුද්ධය ජය ගත්තත් තවමත් සාමය දිනා ගත නොහැකි වීම ගැන අප ලැඡ්ජා විය යුතුයි. ජාතීන් අතරත්, ආගම් අතරත් සබැඳියාව, මිත්‍රශීලීත්වය, සහෝදරත්වය ගොඩනඟා ගැනීමට රටක්‌ හැටියට අපට නොහැකි වී තිබීම අතිශයින්ම කණගාටුදායක තත්ත්වයක්‌. අද රට පාලනය කරන අයත්, පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනාත් දේශපාලන වාද-භේද, මතිමතාන්තර, තර්ක විතර්ක පසෙක ලා හද පත්ලෙන්ම අපේ රටේ ජනතාව අතර මිත්‍රශීලීත්වය. සංහිඳියාව, සහෝදරත්වය, එකමුතුභාවය ගොඩ නඟන්නට ඇප කැප විය යුතුයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.