ආඝාතය භයානකයි වෙනසක්‌
දැනුණු වහාම ප්‍රතිකාර ලබාගන්න
විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

ඒමන්ති මාරඹේ

මෙරට වාර්ෂිකව දෙලක්‍ෂ දසදහසක්‌ (210,000) ආඝාතය රෝගයට ගොදුරු වන අතර ඔවුන්ගෙන් සියයට 10 ක්‌ පමණ රෝගී තත්ත්වය මත මරණයට පත් වන බව ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ හිටපු සභාපතිනි ස්‌නායු විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.

කොළඹ නගරයේ ජනතාවගෙන් සියයට එකක්‌ පමණ සිය ජීවිත කාලය තුළදී ආඝාතය රෝගයට ගොදුරු වන බව අනාවරණය වී ඇති බව කී වෛද්‍ය ගුණරත්න මහත්මිය මෙම රෝගය ජනතාව විසින් දැඩි අවධානයට ලක්‌ කළ යුතු රෝගී තත්ත්වයක්‌ බව අවධාරණය කළාය.

ශරීරය තුළ රුධිරය ගමන් කරන රුධිර නාලයක්‌ ලේ කැටියක්‌ හේතුවෙන් අවහිර වීම හා රුධිර නාලයක්‌ පිපිරී මොළය තුළට රුධිරය ගලා යැමෙන් ආඝාතය හට ගනී. මෙම රෝගී තත්ත්වය හට ගත් විට හදිසි මරණයක්‌ වවුද සිදුවිය හැකි නිසා රෝග ලක්‍ෂණ හඳුනාගෙන රෝගියාව වහාම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු කිරීම වැදගත් බව වෛද්‍ය ගුණරත්න සඳහන් කළාය.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරුවීම, තෙල්, සීනි, ලුණු භාවිතය අවම කිරීම, දුම්පානය හා මත්පැන් පානයෙන් වැළකීම, නිසි ව්‍යායාමය, කොලෙස්‌ටරෝල් මට්‌ටම හා රුධිර පීඩනය පාලනය කිරීම හා ස්‌ථූලභාවයෙන් මිදීම යන කරුණු මගින් ආඝාතය රෝග අවදානම අවම කර ගත හැකි බව වෛද්‍ය මතයයි.

ආඝාතවලින් සියයට 80 ක්‌ම වළක්‌වාගත හැකි නිසා රෝගයේ රෝග ලක්‍ෂණ වන හදිසියේ ඇතිවන තද හිසරදය, හදිසියේ ඇති වන පෙනීමේ වෙනස්‌ කම්, ගිලීමේ අපහසුව, ඇවිදීමේ අපහසු කම, කරකැවිල්ල හා සමතුලිත බවෙහි වෙනස්‌කම්, ශරීරයෙහි එකී පැත්තක පණ නැතිවීම හෝ දැනීම වෙනස්‌ වීම යන රෝගලක්‍ෂණ යමෙකු තුළ දක්‌නට ලැබුණොත් වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් කෙරේ. කාන්තාවන් අතර ආඝාතයට ගොදුරුවීම හා එම රෝගය මත මිය යැම පිරිමින්ට සාපේක්‍ෂව ඉහළ මට්‌ටමක පවතින බව අනාවරණය වීම නිසා කාන්තාවන් මෙම රෝගය පිළිබඳව වැඩි අවදානයක්‌ යොමු කළ යුතු බවද වෛද්‍ය ගුණරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

ඊයේ (29 දා) දිනයට යෙදී තිබූ ලෝක ආඝාත දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ආඝාතය පිළිබඳ ජගත් අයිතිවාසිකම් කෙටුම්පත එළිදැක්‌වීම හා ආඝාතය පිළිබඳ මාධ්‍ය සම්මන්ත්‍රණය අමතමින් ඇය මෙම කරුණු අනාවරණය කළාය. ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ වත්මන් සභාපති විශේෂඥ ස්‌නායු වෛද්‍ය උදය රණවක, සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන හා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ නීලමනී රාජපක්‍ෂ හේවාකීගන යන අයද මෙහිදී අදහස්‌ දැක්‌වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.