ඉස්‌ලාම් මූලධර්මවාදයේ ආසියානු බලපෑම



ලෝක යුද්ධ බොහොමයක්‌ ආරම්භ කළේ යම් කිසි රාජ්‍යයක්‌ හෝ රාජ්‍යයන් සමූහයක්‌ විසිනි. එහෙත් යම් කණ්‌ඩායමක්‌ විසින් තම ලබ්ධිය වෙනුවෙන් ලෝකයට අභියෝග කිරීම ආරම්භ වන්නේ අල් කයෙඩා සංවිධානයේ ආරම්භයත් සමගය. මෙම තත්ත්වයේ වඩාත් බියකරු ස්‌වභාවය ඉස්‌මතු කරමින් වර්තමානයේ අබුබකර් අල් බග්ඩාඩ් නමැත්තාගේ නායකත්වයෙන් ඉස්‌ලාම් රාජ්‍ය නමැති ඉස්‌ලාම් මූලධර්මවාදී කණ්‌ඩායම ලෝකයට අභියෝග කරමින් සිරියාවේ සහ ඉරාකයේ කොටස්‌ තමන්ගේ අණසකට නතු කරගෙන ඉස්‌ලාම් ෂරියා නීතියට අනුව පාලනය කෙරෙන කාලිපේත් නමින් ඉස්‌ලාම් රාජ්‍යයක්‌ බිහි කරලීමේ සටනක යෙදී සිටියි. ලෝකයේ බොහෝ රටවල වෙසෙන ඉස්‌ලාම් මූලධර්මවාදීහු ඉස්‌ලාම් රාජ්‍ය සංවිධානයට සහාය දැක්‌වීමට දහස්‌ ගණනින් රොද බැඳගනිමින් සිටිති.

අද පවතින තත්ත්වය දවසකින් දෙකකින් ආරම්භ වූවක්‌ නොවේ. ඒ සඳහා දිගු ඉතිහාසයක්‌ ඇත. ඉස්‌ලාම් රාජ්‍ය කණ්‌ඩායම සටනට පිවිසෙන්නේ සිරියානු යුද්ධය හරහායි. 2011 මාර්තුවේදී සිරියානු රජයට විරුද්ධව ආරම්භ වූ ජනතා නැගිටීමට දායක වීමට විවිධ සටන්කාමී කණ්‌ඩායම් සිරියාවට එකතු වූ අතර ඉස්‌ලාම් රාජ්‍ය ද මින් එකකි. මෙය අල්කයෙඩා සංවිධානයට නෑකම් කියන කණ්‌ඩායමක්‌ වන අතර සංග්‍රාමික උපක්‍රම අනුව ඔවුන් අල්කයෙඩා සංවිධානයට වඩා වෙනස්‌ වන්නේ මහා සංග්‍රාමයක්‌ තුළින් භූමිය අත්පත් කර ගැනීමට කටයුතු කරන හෙයිනි. අල්කයෙඩා සංවිධානයේ උපක්‍රමය වන්නේ කුඩා කණ්‌ඩායම් හෝ තනි තනිව බටහිර රටවල තෝරාගත් ඉලක්‌කවලට පහරදී එම රටවල් දුර්වල කිරීමය. විශේෂයෙන්ම 1979 - 1989 අතර සෝවියට්‌ දේශයට විරුද්ධව ඇෆ්ගනිස්‌ථාන් යුද්ධයට සමාන කමක්‌ දක්‌වමින් තමන්ගේ පොදු හතුරා හෙවත් සිරියානු ජනාධිපතිවරයාට විරුද්ධ සටනට ලොව පුරා ජිහාඩ් කණ්‌ඩායම් සිරියාවේදී එකතු වේ. එදා ඇෆ්ගනිස්‌ථානයේදී සෝවියට්‌ දේශයට විරුද්ධ සටනට ලොව හතර වටින් එකතු වූ සටන්කාමීන් පසුව විවිධ අන්තවාදී කණ්‌ඩායම් ගොඩනංවාගෙන තම සටන දිගටම කරගෙන ගියහ. අල්කයෙඩා සංවිධානය බිහිවන්නේද ඇෆ්ගනිස්‌ථාන් යුද්ධයේ අතුරු ඵලයක්‌ ලෙසය. සිරියානු යුද්ධයද එවැනිම වටාපිටාවක්‌ සකස්‌ කර දී තිබේ.

මැදපෙරදිග රටවල් හරහා හමාගිය අරාබි වසන්තයේ කුණාටුව ආරම්භ වන්නේ ටියුනීසියාවෙනි. එරට සිඩ් බව්සිට්‌ නගරයේ පදික වෙළෙන්දෙක්‌ වූ මොහොමඩ් බව්අසීසීගේ වෙළෙඳ බඩු නගරයේ නිලධාරීන් විසින් රාජසන්තක කිරීමට විරෝධය පෑම පිණිස හෙතෙම තම සිරුරට ගිනිතබාගෙන සිය දිවි හානිකර ගත්තේය. මෙම මරණයත් සමග කුපිතවූ ජනතාව දරිද්‍රතාවය, ආර්ථික අපහසුකම්, විරැකියාව, රාජ්‍ය මර්දනය සහ ඒකාධිපති පාලන ක්‍රමය මෙම මරණයට මූලික හේතු ලෙස දක්‌වමින් ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරය ලැව් ගින්නක්‌ මෙන් ටියුනීසියාව පුරා පැතිර ගියේය. මෙම නැගිටීමෙන් පන්නරය ලැබූ සෙසු අරාබි සහ උතුරු අප්‍රිකානු රටවල ජනතාවද දශක කීපයක්‌ තිස්‌සේ තම රටවල් පාලනය කළ පිරිස්‌ පන්නා දැමීම උදෙසා වීථි බැස්‌සහ.

මැදපෙරදිග සහ සමහර උතුරු අප්‍රිකානු රටවල ජනතාව පාරට බැස්‌සේ ඒකාධිපති පාලන ක්‍රමයන් වෙනස්‌ කිරීම අවශ්‍ය බව ප්‍රකාශ කරමිනි. සැබෑවට මෙම සටන ආරම්භ වන්නේ මින් දශක ගණනාවකට පෙර මෙම රටවල් යටත් විජිත පාලනයෙන් මිදීමත් සමගයි. එක්‌ පැත්තකින් මෙම පාලකයන් ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් ඇති කිරීම වෙනුවෙන් එක්‌ පිරිසක්‌ සටන් කරන විට තවත් පිරිසක්‌ සටන් කළේ මෙම රටවල ඉස්‌ලාම් ෂරියා නීති රීතිවලට අනුව පාලන ක්‍රමයක්‌ ඇති කිරීමටයි. මෙම දෙපිරිසම දුටු එක්‌ සත්‍යතාවක්‌ වන්නේ මෙම රටවල පාලකයන්ට ඇමරිකානු සහ බටහිර රටවල ආධාර සහ ආරක්‍ෂාව ලැබෙන බවයි. එසේම මෙම පාලන ක්‍රමයන් වෙනස්‌ කිරීමට එක්‌ පිරිසක්‌ පවතින දේශපාලන ක්‍රමය තෝරා ගන්නා විට තවත් පිරිසක්‌ තෝරා ගත්තේ සන්නද්ධ ව්‍යාපාරයන්ය.

මුස්‌ලිම් රටවලට සිදු වූයේ කුමක්‌ද?

20 වැනි ශතවර්ෂයේ ආරම්භයේ සිටම මුස්‌ලිම් ලෝකයට තම කැමැත්තට පටහැනිව දැඩි ලෙස වෙනස්‌ වීම සඳහා අවැසි පරිසරයක්‌ බිහිවෙමින් පැවතිණි. ලෝක යුද්ධ, යටත් විජිත බිඳවැටීම, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීම, ආර්ථික, සමාජීය, දේශපාලනික වෙනස්‌වීම්, නිරවි යුද්ධය, තොරතුරු තාක්‍ෂණයේ දියුණුව සහ ඇමරිකාව ලෝක බලවතා වීම යන කරුණු මෙම වෙනස්‌වීම්වලට පාදක විය. එහෙත් මුස්‌ලිම් රටවල සාම්ප්‍රදායික සමාජයන් කෙරෙහි නව ලෝක ප්‍රවණතාවන් තර්ජනාත්මක ලෙස බලපෑම නුරුස්‌සන බලවේගයන් හට මෙම තත්ත්වයන්ගෙන් මිදුණු සමාජයක්‌ කරා නැවතත් අවතීර්ණය වීමේ අවශ්‍යතාවක්‌ද ඇති විය.

අරාබි රටවල් පාලනය කළ ඔටොමාන් අධිරාජ්‍යය පළමු ලෝක යුද්ධයත් සමග අවසන් විය. මෙය මුස්‌ලිම් ලෝකය ලද විශාලතම පරාජය සහ අවමානය ලෙස සලකන ලදී. තුර්කිය ප්‍රධාන කරගෙන පැවැති කාලිප් රාජ පරම්පරාව 1924 දී අවසන් විය. මෙම කාලිපෙත් ක්‍රමය හරහා මුස්‌ලිම් ලෝකය ඉස්‌ලාම් ධර්මයට අනුව පාලනය කරන ලදී.

තම පාලන කාලයේදී බටහිර ජාතීන් ඔටොමාන් අධිරාජ්‍යය කැබැලිවලට කඩා ලෙබනනය. ඊශ්‍රායලය, පලස්‌තීනය, ජෝර්දානය සහ සිරියාව වැනි රාජ්‍යයන් බිහි කළහ. බටහිර සංස්‌කෘතියේ අංගයන් වන පුවත්පත්, නාට්‍ය, චිත්‍රපට, නවකතා සහ මත්පැන් වැනි දේ අරාබි රටවලට ඇතුළු වී ඉක්‌මනින්ම ප්‍රචලිත වන්නට පටන් ගත්තේය. බටහිර ජීවන රටාව මෙම රටවල ජනතාව වැළඳ ගත් අතර මේ නිසා ඉස්‌ලාම් ධර්මයට අනුකූලව පවත්වාගෙන පැමිණි ජීවන රටාවේ වෙනසක්‌ ඇති වේය යන බිය ආගමික නායකයන්ගේ සිත් තුළ ජනිත විය. මේ අතර බටහිර අධ්‍යාපන ක්‍රමය සහ විද්‍යාවන් ප්‍රචලිත වීම පිරිසිදු ඉස්‌ලාම් ධර්මයක පැවැත්මට තර්ජනයක්‌ විය හැකි බවද සමහරු කල්පනා කළහ.

මෙම නව තත්ත්වයන් හමුවේ බොහෝ මුස්‌ලිම්වරුන් කල්පනා කළේ ඉස්‌ලාම් ෂරියා නීතිය අනුව පාලනය කරන මුස්‌ලිම් රාජ්‍යයක්‌ ගොඩනැඟීම මෙයට ඇති එකම විසඳුම බවයි. මේ සඳහා වූ පළමු ව්‍යාපාරය වූ මුස්‌ලිම් සහෝදරත්ව සංවිධානය 1928 දී ඊජිප්තු ජාතික ගුරුවරයකු වූ හසන් අල්-ඛන්නා විසින් ආරම්භ කරන ලදී. කෙටි කලකින් මොහුගේ ඉගැන්වීම් වෙනත් රටවලටද ව්‍යාප්ත විය. 1942 දී පකිස්‌තානු ජාතික මව්ඩුඩී විසින් ජමාඅයි ඉස්‌ලාම් නමැති ව්‍යාපාරය පකිස්‌තානය මුල්කරගෙන බිහි කළේය. මෙම ව්‍යාපාරයද ඉන්දියානු උප මහාද්වීපයෙන් ඔබ්බට විහිදිණි. එය ඔසාමා බින්ලාදන් සම්බන්ධ සුන්නි අන්තවාදී ආගමික ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන සහිද් කුටුබ්ගේ කටයුතු කෙරෙහි බෙහෙවින්ම බලපෑවේය.

මේ කාලයේ දී සෙසු අරාබි රටවල් වැඩි වැඩියෙන් බටහිරට නැඹුරු වන විට ඊජිප්තුව සමාජවාදී ක්‍රමයක්‌ යටතේ ඉදිරියට යැමට උත්සාහ කරන ලදී. 1948 දී ඊශ්‍රායලය පිහිටුවීම අරාබි ජාතීන් අතර අසහනයක්‌ ඇති කිරීමට විශේෂයෙන්ම හේතු විය. මේ අතර 1967 සත්දින යුද්ධයෙන් අරාබිය, ඊශ්‍රායලයට පරාජය වීම නිසා මහජනතාව තුළ තිබූ කලකිරීම තීව්‍ර වී අරාබි ජනතාව තුළ තම නායකයන් කෙරෙහි පැවති විශ්වාසය පළුදු විය. මුස්‌ලිම් සහෝදරත්ව සංවිධානයේ නායකයන් හැම විටම ප්‍රකාශ කළේ අධිරාජ්‍යවාදීන් නික්‌ම ගියද ඔවුනගේ ශක්‌තිය හා බලපෑම ඊශ්‍රායලය හරහා ක්‍රියාත්මක වන බවයි. මේ නිසා ගාසා තීරයේ මෙන්ම මැදපෙරදිග අනෙකුත් කොටස්‌වල විවිධ අන්තවාදී සංවිධාන බිහිවූ අතර පසු කාලයේදී මොවුන්ගේ ප්‍රධාන වෙළෙඳ සලකුණ වූයේ මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදයයි. දරිද්‍රතාවය, අන්තවාදී අදහස්‌ තුළින් මොළය සෝදා හැරීම, පළිගැනීම, රාජ්‍ය මර්දනය සහ මරණින් මතු සැප සම්පත් පිළිබඳ අදහස්‌ හිස තුළට කැවීම නිසා බොහෝ සාමකාමී තරුණයන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පරිවර්තනය විය.

1979 දී ෂා රජු පන්නා දමා ඉරානය තුළ ඉස්‌ලාමීය රජයක්‌ පිහිටුවන ලදී. 1989 දී ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයේ සහ අරාබි රටවල සහයෝගය ලත් ඇµaගනිස්‌තාන් ඉස්‌ලාම් මූලධර්මවාදීන් සෝවියට්‌ හමුදාව පන්නා දමන ලදී. 1983 න් පසුව හිස්‌බුල්ලා, හමාස්‌ සහ පලස්‌තීන ඉස්‌ලාම්, ජිහාඩ් සංවිධානය ඇතුළු කණ්‌ඩායම් බටහිර ලෝකයට විරුද්ධව ශුද්ධ වූ යුද්ධයක්‌ ප්‍රකාශ කරන ලදී.

මෙයට සමගාමීව ඊජිප්තුවේ ඉස්‌ලාම් ජිහාඩ් සංවිධාන තම මූලික ක්‍රියාදාමය වූ ඊජිප්තුවේ රජයට විරුද්ධව කරගෙන ආ සටන වෙනතකට යොමු කරමින් තම ළඟම සතුරා හෙවත් පවතින රජය කෙරෙහි පැවති විරෝධය දුරස්‌ථ සතුරා හෙවත් ඇමරිකාව ඇතුළු බටහිර වෙතට යොමු කරන ලදී. තම රටවල නායකයන්ට බලයේ රැඳී ජනතාව පෙළන්නට හැකිව ඇත්තේ ඔවුනට බටහිර රැකවරණය සහ උදව් උපකාර ලැබෙන නිසා බව මෙම කණ්‌ඩායම් ප්‍රකාශ කළහ. මේ නිසා මෙතෙක්‌ කල් වෙන වෙනම සටන් කළ කණ්‌ඩායම්වලට තම සටන පොදු අරමුණක්‌ හෙවත් බටහිර විරෝධී සටනක්‌ වෙත පරිවර්තනය කිරීමට අවස්‌ථාවක්‌ ලැබිණි. මෙම එකතුවීම නිසා වෘත්තීයමය ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් බිහිවිය. මේ තුළින් ඔවුහු නැති වුණු ඔටෝමාන් අධිරාජ්‍යය ගොඩනැඟීමේ සටන ආරම්භ කරන ලදී. මෙම දුරස්‌ථ සතුරාට පහර දීම පිළිබඳව හොඳම නිදසුන වන්නේ සැප්තැම්බර් 11 වැනි දින ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට කරන ලද පහරදීමයි.

සමහර විචාරකයන්ගේ තර්කය වන්නේ ඉස්‌ලාම් මූලධර්මවාදීන්ගේ නැගිටීමට ඇමරිකාව සෘජුව හෝ වක්‍රව හේතු කාරකවී ඇති බවයි. මෙය දෙආකාරයකින් සිදුවූ බව ප්‍රචලිත මතයකි.

1. ඇµaගන් යුද්ධය සඳහා මැදිහත්වී සෝවියට්‌ හමුදාව සහ සටනට එක්‌වූ ඉස්‌ලාම් මූලධර්මවාදීන්ට සහාය දීම තුළින් මූලධර්මවාදීන් ශක්‌තිමත් වීම.

2. මුස්‌ලිම් ලෝකයේ දූෂිත යෑයි පිළිගත් පාලකයන්ට බලයේ සිටීමට උපකාර කිරීම මෙන්ම ඊශ්‍රායලයට සහාය දැක්‌වීම තුළින් හටගත් ජනතා විරෝධයක්‌ ගොඩනැඟීමට පාර කැපීම.

ඉස්‌ලාම් ත්‍රස්‌තවාදීන්ගේ ජනප්‍රිය සටන් පාඨය වූයේ ඇමරිකාව ඔවුන් අත්හරින තෙක්‌ දූෂිත පාලකයන් කිසි විටකත් ඇද නොවැටෙන බවයි. මේ ගැන ඔසාමා බින්ලාදින් ප්‍රකාශ කළේ "ඇමරිකාව නාගයෙකි. අපි ඌ නතර කළ යුතුයි. අපි නාගයාගේ හිස කපා දැමිය යුතුයි. අපේ භූමියේ ඇමරිකානු හමුදාවට කටයුතු කරන්නට ඉඩ නොදිය යුතුයි. අපි ඔවුන් පලවා හැරිය යුතුයි" යන්නයි."

නව දේශපාලන රටාවක ආරම්භය?

මෙම පරිසරය තුළ 2010 දී ටියුනීසියාවේදී ඇතිවූ ජනතා නැඟිටීම හරහා ආරම්භ වූ අරාබි වසන්තය තුළින් පොදු ජනතාව නිදහස පිළිබඳව තම නිම්වළලු පුළුල් කර ගැන්මට ප්‍රයත්න දරන විට ඉස්‌ලාම් අන්තවාදී කණ්‌ඩායම් තම ශක්‌තිය ප්‍රදර්ශනය කරමින් සිටීම දක්‌නට ලැබේ. පොදු ජනතාව විසින් ඉදිරියට ගෙන ගිය මෙම නිදහස්‌ සටන අද ඉස්‌ලාම් මූලධර්මවාදීන් අතට පත්වී ඇත. මෙහිදී ඉස්‌ලාම් රාජ්‍ය සංවිධානය වඩාත් ආකර්ෂණීය සංවිධානයක්‌ ලෙස ඉදිරියට යමින් තමනට නැතිවූ ඉස්‌ලාම් කාලිපේතය ගොඩනැංවීමට අඩිතාලම දමා තිබේ. මෙය එක්‌ අතකින් වසර 100 ක්‌ තිස්‌සේ අරාබි ජනතාව ලැබූ විවිධ ජයග්‍රහණයන් ආපස්‌සට හරවමින් දැඩි මූලධර්මවාදී පාලන ක්‍රමයක්‌ කරා යැමකි. මොවුන් විසින් දැනටමත් කුඩා රාජ්‍යයක්‌ වූ ලෙබනනය පවා ආක්‍රමණය කරන බවට තර්ජනය කර තිබේ. මේ නිසාම මෙම තත්ත්වය නතර කිරීමට අද ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරිපත්ව ඉස්‌ලාම් රාජ්‍ය සංවිධානයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර තිබේ. ගැටලුව වන්නේ ඉස්‌ලාම් රාජ්‍ය සංවිධානය අඩපණ කිරීමෙන් පමණක්‌ මෙම තත්ත්වය මඟහැරිය හැකිද යන්නය. ඉතිහාසය දෙස බලන විට එක්‌ සංවිධානයක්‌ යටපත් වන විට වෙනත් සංවිධානයක්‌ මතු වීම සුලබ සංසිද්ධියකි. සිරියානු යුද්ධයේ අතුරුඵලයක්‌ ලෙස දැනටමත් මිලියන 05 ක පමණ පිරිසක්‌ අසල්වැසි රටවල සරණාගතයන් බවට පත්ව තිබෙන අතර ලෙබනනයේ මුළු ජනගහනයෙන් අඩක්‌ හෙවත් මිලියන දෙකක සිරියානු සරණාගතයන් පිsරිසක්‌ සිටිති. සිරියාව තුළ තවත් මිලියන 10 ක්‌ පමණ අවතැන් වී සිටින අතර දැනටමත් ලක්‍ෂ දෙකක පමණ පිරිසක්‌ ජීවිතක්‍ෂයට පත්ව ඇත. ඉරාකයේ ඉස්‌ලාම් රාජ්‍ය කණ්‌ඩායමේ ඉදිරි ගමන හමුවේ ජනතාව තම ගම්බිම් අතහැර පලා යමින් සිටිති. කබානා නමැති තුර්කියට ආසන්න ප්‍රදේශයක්‌ ඉස්‌ලාම් රාජ්‍ය කණ්‌ඩායම විසින් අත්පත් කරගැනීමෙන් තුර්කිය කැළඹීමට පත්ව තිබේ.

රංජිත් ගුණරත්න

(මෙය ලේඛකයාගේ පෞද්ගලික අදහස්‌ දැක්‌වීමකි. ලේඛකයා ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියකු වන අතර ත්‍රස්‌තවාදය සහ ගැටුම් අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් පර්යේෂණාත්මක ලිපි ගණනාවක්‌ ඉදිරිපත් කර තිබේ.)
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.