පක්‍ෂයේ අපේක්‍ෂාව ඉටු නොවන්නේ නම්
ආණ්‌ඩුව සමග සිටින්නේ ඇයිදැයි ජනතාව ප්‍රශ්න කරනවා

- අමාත්‍ය රවුෆ් හකීම්

අපේ පක්‍ෂයේ අපේක්‍ෂාවන් ඉටුනොකරන තත්ත්වයකදී ආණ්‌ඩුව සමග තවදුරටත් දේශපාලන සම්බන්ධය පවත්වන්නේ කුමකටද යන්න ජනතාව ප්‍රශ්න කරන බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතා පැවැසීය.

මුස්‌ලිම් ජනතාවගේ පැවැත්ම, ආරක්‍ෂාව හා නිදහස තහවුරු වන ආකාරයේ තීන්දුවක්‌ ඉදිරියේදී ගන්නා බවද අඩ්ඩාලච්ෙච්නෙහිදී පෙරේදා පැවැති මුස්‌ලිම් කොංග්‍රසයේ අම්පාර මධ්‍ය සභාව අමතමින් ඇමැතිවරයා පැවැසීය.

එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය.

මේ වකවානුව තුළ හැම දේශපාලන පක්‍ෂයක්‌ තුළම මහත් ආන්දොaලනාත්මක තත්ත්වයක්‌ ඇතිවෙලා තිබෙනවා. එය මුස්‌ලිම් කොංග්‍රසයට පමණක්‌ සීමා වුණු එකක්‌ නෙමෙයි. පසුගිය සෙනසුරාදා අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණා. එහිදී ජාතික හෙළ උරුමය ඡන්දය දීමෙන් වැළකී සිටියා. ලංකා සම සමාජ පක්‍ෂය ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාට සහාය දෙන බවට ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ තුළින් එම පක්‍ෂයත් දෙකඩව බෙදී යැමේ අවදානමක්‌ මතුවෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටි ජාතික හෙළ උරුමය රජයට ඉදිරිපත් කර ඇති කොන්දේසි සඳහා රජය එකඟ නොවී ජනාධිපතිවරණයේදී සහාය දැක්‌වීමට තීරණය කළහොත් එම පක්‍ෂයත් බෙදී යැමේ අවදානමක්‌ තිබෙනවා.

වර්තමාන දේශපාලන වාතාවරණය තුළ හැම පක්‍ෂයක්‌ම බෙදී යන්න පුළුවන්. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගන් තොණ්‌ඩමන් මහතා ප්‍රකාශ කළා කොන්දේසි විරහිතව රජයට සහයෝගය දක්‌වනවා කියලා. එහෙම තියෙද්දීත් එම පක්‍ෂයේ කිහිප දෙනෙක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට බඳවාගෙන තනතුරු දීලා තියෙනවා මේ සියල්ල ඉවසා ගෙන තොණ්‌ඩමන් මහතා ඉන්නවා.

මුස්‌ලිම් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසඳන්න ව්‍යqහයක්‌ නොමැතිව අපේ පක්‍ෂය ඉදිරිපත් නොවන මැතිවරණයකදී වෙන පක්‍ෂයකින් ඉදිරිපත් වන අපේක්‍ෂකයකුට සහාය දෙන්නේ කොහොමද කියලා ජනතාව ප්‍රශ්න කරනවා.

මුස්‌ලිම් කොංග්‍රස්‌ නායකයා මැජික්‌කාරයෙක්‌ නෙමෙයි, මන්ත්‍රකාරයෙක්‌වත් නෙමෙයි. අපේ ජනතාවගේ අදහස්‌ විමසලා අපි තීරණයක්‌ ගත යුතුයි. මෙතෙක්‌ කාලයක්‌ මුස්‌ලිම් කොංග්‍රසයේ නායකයා ගත් තීරණවලට ජනතාව අතර පිළිගැනීමක්‌ ඇති කරන්න පුළුවන් වුණා. නමුත් අපි ගත්ත තීරණ අනුව අපට දේශපාලන බලය හිමි නොවන්න ඇති. එහෙත් අපි ගත් තීරණ මෙතෙක්‌ අපේ ජනතාව පිළිගත්තා.

ජාතික හෙළ උරුමය ඉදිරිපත් කරලා තිබෙන කොන්දේසි සහ යහපාලනය යෝජනාවට ජනතාව අතරත් පිළිගැනීම් තිබෙනවා. ඒ හැම එකටම ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය එකඟ නැහැ. එහෙත් එහි ඇති ඇතැම් යහපත් කරුණු ප්‍රජාතන්ත්‍රවාදී රටකට අවශ්‍ය බව පෙනී යනවා.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ ඡන්ද පදනම අහිමි කර ගෙන රජය විසින් ලබාදෙන පොරොන්දු ඉටු නොකරන තත්ත්වයක තවදුරටත් පවතින රජය බලයේ තැබීමට අප හට ඇති අවශ්‍යතාවය කුමක්‌ද යන්න අපේ පාක්‍ෂිකයන් අනුගාමිකයන් දේශපාලන මණ්‌ඩල සභිකයන් නිතර නඟන ප්‍රශ්නයක්‌. නායකත්වයට එල්ල කරන චෝදනාවක්‌. රජය විසින් අපේ පක්‍ෂයේ අපේක්‍ෂාවන් ඉටු නොකරන තත්ත්වයක රජය සමග පවත්වන දේශපාලනය කුමකටද යන්න ජනතාව ප්‍රශ්න කරනවා. පවතින රජය තුළ මෙන්ම විපක්‍ෂයේත් මතගැටුම් පවතිනවා. ඒවායේ පවතින අළුයට ගිනි පුපුරු පිළිබඳව අපි දන්නවා. මේවා පිළිබඳව අපි විමසිල්ලෙන් පසුවෙනවා. ආණ්‌ඩුව ඇතුලේ සිට ගෙන ආණ්‌ඩුව විවේචනය කරන පිරිස්‌ රජය තුළ ඉන්නවා. ඒ අය බලාගෙන ඉන්නේ අපි රජයෙන් ඉවත්ව යනකල් කියන එකත් අපි දන්නවා. එහෙම අපි ගියොත් අපේ කරපිටින් යන්න ඒ අය බලාපොරොත්තුවෙන් ඉන්නේ කියලත් මා දන්නවා.

තුන්වන වරටත් එකම අපේක්‍ෂකයෙක්‌ ජනාධිපතිවරණයට තරග වදින ප්‍රථම අවස්‌ථාව මෙයයි. හතරවන වරටත් තරග කරන තත්ත්වයක්‌ ඇති වෙයි කියලා අපි හිතන්නේ නැහැ. බලයෙන් උද්දාම වෙන කොට වසර හතරෙන් හතරට මැතිවරණ පැවැත්වීම රටට හොඳ තත්ත්වයක්‌ නෙමෙයි.

අපේ පක්‍ෂය මධ්‍යම රජයේ කොටස්‌කරුවන් පමණක්‌ නෙමෙයි නැගෙනහිර පළාත් සභාව පවත්වාගෙන යැමේත් අපි ප්‍රධාන කොටස්‌කරුවෙක්‌. අනෙකුත් දේශපාලන පක්‍ෂ ගනු ලබන තීන්දු තීරණ ගැන අපි අවධානයෙන් ඉන්නවා. ඒවා ගැන සලකලා බලා තමයි අපි තීරණ ගන්නේ. අපේ ජනතාවගේ පැවැත්ම ආරක්‍ෂාව නිදහස අනෙකුත් අවශ්‍යතා මෙන්ම සියලු ජන කොටස්‌ අතර සහජීවනය තවදුරටත් තහවුරු වන ආකාරයේ තීන්දු තීරණ මුස්‌ලිම් කොංග්‍රසය ගන්නා බවද අධිකරණ අමාත්‍ය රවුµa හකීම් මහතා අවධාරණය කළේය.

මෙම අවස්‌ථාවට දිගාමඬුල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පයිසාල් කාසිම්, එච්. එම්. එම්. හරිස්‌ යන මහත්වරුන් පක්‍ෂයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්‌ එක්‌ව සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.