අයුක්‌තියක්‌ අසාධාරණයක්‌ නොවන ලෙස රාජකාරී කිරීමෙන් සිතේ සතුට ඇති කරගත හැකියි
- නව නීතිපති හමුවේ අස්‌ගිරි මහ නාහිමියෝ පවසති

සිරිල් විමලසුරේන්ද්‍ර

අයුක්‌තියක්‌ අසාධාරණයක්‌ සිදුවීමට ඉඩ නොතබා සිතට එකඟව යුක්‌ති සහගතව කටයුතු කිරීමෙන් සුවිශේෂී සතුටක්‌ සිතේ ඇති කරගත හැකි බව තමන් වහන්සේ බැහැදුටු නව නීතිපති වනසුන්දර විජයතිලක මහතාට අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූහ.

නව තනතුරේ කටයුතු ආරම්භ කරමින් මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාද අපේක්‍ෂාවෙන් නව නීතිපති වනසුන්දර විජයතිලක මහතා උන්වහන්සේ බැහැ දුටුවේය.

රාජකාරිය ඉටු කිරීමේදී අයුක්‌තියක්‌ අසාධාරණයක්‌ සිදුවීමට ඉඩ නොතැබීම ප්‍රතිපත්තියක්‌ ලෙස අනුගමනය කිරීම ඉතාම යෝග්‍ය බව අතිපූජ්‍ය මහ නාහිමිපාණෝ නව නීතිපතිවරයාට සුබ පතමින් පැවසූහ.

මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සමග අදහස්‌ හුවමාරු කරගත් නීතිපති විජයතිලක මහතා විහාර දේවාලගම් පනත සංශෝධන සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු සියල්ලම මේ වන විට අවසන් වී තිබෙන බව පැවසීය.

තවදුරටත් අවශ්‍ය සංශෝධන ඇති නම් එයද ඇතුළත් කරන ලෙස දැනුම් දෙමින් පනත් කෙටුම්පත බෞද්ධ කටයුතු අංශයට ඉදිරිපත් කර තිබෙන බවද විජයතිලක මහතා පැවසීය.

එම සංශෝධනාදියද ලද විගස කෙටුම්පත නීත්‍යනුකූලව සකස්‌ කිරීම අප්‍රමාදව සිදු කරන බවද හෙතෙම පැවසීය.

මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු විමධ්‍යගත කිරීමේ සැලැස්‌මක්‌ තිබෙන බව නව නීතිපතිවරයා පැවසීය.

විමධ්‍යගත කිරීමෙන් පසුව නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය ලබාගැනීමට කොළඹට පැමිණීම අවශ්‍ය නොවන බව පෙන්වාදුන් නීතිපතිවරයා තම දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්‌ඩලය ඉහළ නැංවීමේ අවශ්‍යතාවක්‌ පවතින බව කීවේය.

නව සොලිසිටර් ජනරාල් තනතුරට පත්වීමට අපේක්‌ෂිත බිම්බා ජයසිංහ තිලකරත්න මහත්මිය, අතිරේක සොලිසිටර් ජනරාල් අනුෂා නවරත්න මෙනවිය සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සෝභිත රාජකරුණා මහතා සහ නීතිපතිවරයාගේ දියණිය කේෂිණී විජයතිලක මෙනවියද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

නව නීතිපති විජයතිලක මහතා මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේද බැහැ දුටුවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.