ලොකු සීයාගේ කතාව කියන්න
පොඩි සීයලා 'දිවයින'ට එති!

 

රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතාව සිටි ප්‍රදේශයේ සුප්‍රකට චරිතයක්‌ වූ රාගම ලොකු සීයාගේ ඝාතනය සම්බන්ධයෙන් සියලු මානයන් ස්‌පර්ශ කරමින් සටහනක්‌ තබන්නට ඉකුත් සතියේ අපි කටයුතු කළෙමු.



නමුත් අපේ මේ සටහනත් සමග සුවිශේෂී වූ තරුණයන් දෙදෙනෙක්‌ පසුගියදා "දිවයින" කාර්යාලයට පැමිණියේය. ඒ අන් කිසිවකුත් නොව ලොකු සීයාගේ පුතුන් දෙදෙනා වූ පොඩි සීයා සහ චූටි සීයා ය. එසේ පැමිණි ඔවුන්, මරා දැමූ තමන්ගේ තාත්තා පිළිබඳ ලෝකයටම ඇසෙන සේ කියන්නට කතාවක්‌ තමන්ට ඇතැයි හැඟුම්බර ලෙස අපට කීවේය.



පුතෙකුට රටක්‌ වටින තමන්ගේ තාත්තා වෙනුවෙන් කතා කරන්නට උරුමයක්‌ ඇත. අප ඊට ගරු කළ යුතුය. එහෙයින් පොඩි සීයාටත් චූටි සීයාටත් ඒ කතාව කියන්නට අපි ඉඩක්‌ ලබා දුනිමු. එහිදී ඔවුන් සියල්ල කියන්නට වූයේ මෙසේය.

ඔබ පොඩි සීයා. මම හරිද?

ඔව්. මමයි පොඩි සීයා. දැන් රාගම දේවාලේ ප්‍රධාන කපු මහතා විදිහට වැඩ කරන්නේ මම.

පොඩි සීයා කියන්නේ අන්වර්ථ නමක්‌නේ. නියම නම මොකක්‌ද?

ගුප්ත ශාස්‌ත්‍ර විද්‍යා විශාරද දේවාශීර්වාද චින්තාමනී එම්. එන්. එම්. හිසාන්.

නමට ඉදිරියෙන් තියෙන්නේ ගෞරව නාමයක්‌ද?

ඔව්.

කවුද දුන්නේ?

මහාචාර්ය විජිත වල්පොල මහතා වසර තුනක්‌ අපේ ශාස්‌ත්‍ර වැඩ ගැන විමර්ශනයක්‌ කරලා කරපු නිර්දේශයකට අනුව මල්වතු අස්‌ගිරි මහනාහිමිවරුන්ගේ අනුමැතිය ඇතිවයි ඒ ගෞරව නාමය මට ලැබුණේ. ඒක තාත්තටත් ලැබිලා තිබුණා.

ඔබ පොඩි සීයා. එතකොට ඔබ සමග මේ ඇවිත් ඉන්නේ කවුද?

ඒ චූටි සීයා. මගේ මල්ලි. අද රාගම දේවාලේ සහායක කපු මහතා ලෙස වැඩකරන්නේ ඔහු.

ඔබයි මල්ලියි දෙන්නම තරුණයෝ. කොහොමද සීයලා වුණේ?

ඝාතනය කරන්න කලින් අපේ තාත්තා තමයි රාගම දේවාලේ ප්‍රධාන කපු මහත්තයා වෙලා හිටියේ. තාත්තට කිව්වේ ලොකු සීයා කියලා. මම තාත්තගේ උදව්වට දේවාලේ වැඩ කළා. ඉතිං මට පොඩි සීයා කිව්වා. පස්‌සේ කාලෙක මල්ලිත් දේවාලේ වැඩට ආවා. එයා චූටි සීයා වුණා.

තාත්තගේ නම?

මොහොමඩ් සාලි මොහොමඩ් නියාස්‌.

ගම කොහෙද රාගමද?

නැහැ. තාත්තා ඉපදිලා තියෙන්නේ ගාල්ලේ. උපන් දිනේ 1954 - 11- 20. තාත්තගේ අම්මා ඒ කියන්නේ අපේ ආච්චිගේ නම සිත්ති µdතිමා. සීයා අහමඩ් කාසිම් මොහොමඩ් සාලි.

ගාල්ලේ ඉපදුණු මොහොමඩ් නියාස්‌ කොහොමද ලොකු සීයා වුණේ?

ඒක දිග කතාවක්‌. අපේ තාත්තා තරුණ කාලේ සුළු ව්‍යාපාරිකයෙක්‌. එයා "මී කතුරු" වගේ යකඩවලින් කරන සුළු භාණ්‌ඩ නිෂ්පාදනය කරලා අලෙවි කළා. ඒ මුල්ම දවස්‌වල ගාල්ලේ ඉඳන් කොළඹ ඇවිත් තාත්තා නතර වෙලා තියෙන්නේ මාබෝලේ තිබුණ සහෝදරියකගේ නිවසේ.

එහෙම ඉන්න අතරේ ව්‍යාපාරවල පහසුවට අංගොඩ පැත්තේ ගෙයක්‌ කුලියට අරගෙන ගිහින් තියෙනවා. එහෙදී තමයි තාත්තට අපේ අම්මව මුණ ගැහෙන්නේ.

ඒක ප්‍රේම සම්බන්ධයක්‌ද?

ඔව්. අම්මගේ නම කළුතර ගෙදර චාන්දනී රූපිකා. ඇය සිංහල බෞද්ධ කාන්තාවක්‌. ඒ ප්‍රේම සම්බන්ධයත් එක්‌ක මොහොමඩ් නියාස්‌ රූපිකාව විවාහ කර ගත්තා. විවාහයෙන් පස්‌සේ අම්මයි තාත්තයි පදිංචි වෙලා තියෙන්නේ අංගොඩ නාගහවෙල ගමේ පොල්අතු ගෙයක්‌ කුලියට අරගෙන. ඒ ගෙදරදී තමයි පවුලේ වැඩිමලා විදිහට මම ඉපදුණේ.

මම ඉපදෙන්න මාස තුනකට විතර ඉස්‌සර එක පාරටම අපේ තාත්තා ප්‍රේත දොaෂයක්‌ නිසා රෝගී වෙලා තියෙනවා. ඒ එයා එක්‌කම ව්‍යාපාරවල යෙදුණ මිත්‍රයෙක්‌ කරපු කොඩිවිණයක්‌ නිසා. තාත්තගේ මේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කරන්න අම්මා එයාව අරගෙන ගියේ ගල්කිස්‌ස ප්‍රදේශයේ ගුරුකම් ශාස්‌ත්‍රයෙන් වැඩ කරපු ස්‌වාමින් වහන්සේ නමක්‌ ළඟට.

එදා තාත්තව ස්‌වාමින්වහන්සේ ළඟට අරගෙන යන අවස්‌ථාවේ උන්වහන්සේ මාතර ප්‍රදේශයේ නිවසක වැඩකට යන්න සූදානමින් ඉඳලා තියෙන්නේ. ඒත් අම්මා තාත්තව අරගෙන ආපු නිසා මොකුත් නොකර යන්න බැරිකමට උන්වහන්සේ ඒ වෙලාවේ මනන්තර වගයක්‌ කියමින් මළගිය ආත්මයක්‌ කැඳවලා තාත්තගේ ශරීරයට බන්ධනය කරලා අම්මට කියලා තියෙනවා "මම දින තුනකින් නැවත විහාරස්‌ථානයට එනවා. ඒ ඇවිත් අවශ්‍ය වැඩ කර දෙන්නම් දැනට ලෙඩා අරගෙන ගිහින් දවස්‌ තුනකින් එන්න" කියලා.

ස්‌වාමින් වහන්සේ එහෙම කිව්ව නිසා අම්මා තාත්තව ගෙදරට අරගෙන ආවා. ඒ දවස්‌ තුනකින් යන්න හිතාගෙන. නමුත්a අර ස්‌වාමින් වහන්සේට ආයෙත් විහාරයට එන්න ලැබුණේ නැහැ. උන්වහන්සේ මාතර වැඩේ අවසන් කරලා නැවත එන අතරමග බෙන්තර පාලම ළඟදී හදිසි අනතුරකින් අපවත් වුණා.

උන් වහන්සේ එදා අපේ තාත්තගේ ශරීරයට බන්ධනය කරලා තිබුණේ අප්පුහාමි සීයා කියලා මීට අවුරුදු තුන්සියකට පමණ ඉස්‌සර මාතර ප්‍රදේශයේ ප්‍රකටව සිටි බව කියන අතිශූර ගුරුකම් ශාස්‌ත්‍රකරුවකුගේ බොහෝම බලගතු ආත්මයක්‌.

ස්‌වාමින් වහන්සේ අපවත් වුණා. තාත්තට බන්ධනය කරපු අප්පුහාමි සීයගේ ආත්මය එයාගේ ශරීරයෙන් ඉවත් කරන්න කාටවත් බැරි වුණා. ඒත් අප්පුහාමි සීයගේ ආත්මයෙන් තාත්තට කරදරයක්‌ වුණේ නැහැ. ඒක තාත්තට ආශීර්වාදයක්‌ වෙලා හැසිරෙන්න ගත්තා. පස්‌සෙ කාලෙක තාත්තා ගුරුකම් ශාස්‌ත්‍රයෙන් හැම වැඩක්‌ම කළේ අර ස්‌වාමින් වහන්සේ එයාගේ ශරීරයට බන්ධනය කරපු අප්පුහාමි සීයගේ ආත්මයේ බලයෙන්. ඔන්න ඔය නිසා තමයි රාගම දේවාලේ මොහොමඩ් නියාස්‌ ලොකු සීයා වුණේ.

ඒ කියන්නේ අප්පුහාමි සීයගේ ආත්මය මොහොමඩ් නියාස්‌ව ලොකු සීයා බවට පරිවර්තනය කළා?

ඔව්. ඒක තමයි සත්‍යය. තාත්තා ගුරුකම් වැඩ කළේ අප්පුහාමි සීයගේ ආත්මයේ බලයෙන්

ඒක ඔප්පු කරන්න ඔබට තියෙන සාධක මොනවද?

අපේ තාත්තා අප්පුහාමි සීයගේ ආත්මයේ බලයෙන් කරපු ගුරුකම්වලින් මේ රටේ මිනිස්‌සුන්ට සෑහෙන වැඩ කොටසක්‌ කර දීලා තියෙනවා. ඒ නැතත් ඕනම කෙනෙකුට පුළුවන් මම කියන අතීතයේ ස්‌වාමින් වහන්සේ නමක්‌ ගල්කිස්‌ස ප්‍රදේශයේ ගුරුකම් ශාස්‌ත්‍ර වැඩ කළාද? උන් වහන්සේ බෙන්තර පාලම ළඟදී සිදුවූ අනතුරකින් අපවත් වුණාද? කියලා සොයා බලන්න.

ඔබේ තාත්තා නැතිනම් ලොකු සීයා ආරම්භයේ සිටම වැඩ කළේ රාගම දේවාලෙද?

නැහැ. අප්පුහාමි සීයගේ ආත්මයේ බලය තාත්තට ලැබුණට පස්‌සේ එයා මුලින්ම අංගොඩ ප්‍රදේශයේ ජනතාවට නොමිලේම විවිධ වැඩ කර දීලා තියෙනවා. මේ කාලේ තාත්තයි අම්මයි ගත කරලා තියෙන්නේ බොහොම දුප්පත් දුෂ්කර ජීවිතයක්‌. මේ නිසාම පස්‌සේ කාලෙක තාත්තා තීරණය කරලා තියෙනවා වැඩ කරගන්න තමන් ළඟට එන ජනතාවගෙන් සුළු මුදලක්‌ අය කරන්න.

එතකොට අංගොඩ හිටිය ලොකු සීයා රාගම දේවාලෙට ආවේ කොහොමද?

මුල් කාලේ ඉඳන්ම අප්පුහාමි සීයගේ ආත්මයේ බලයෙන් තාත්තා කරපු ගුරුකම් වැඩ ඉතාම සාර්ථක වුණා. ඒකෙන් තාත්තට ලොකු ප්‍රසිද්ධියක්‌ ලැබුණා. ඒ නිසාම තාත්තගේ ආර්ථික ශක්‌තියත් ඉහළ ගියා. මේ ගුරුකම් වැඩ කරනකොට වතුර බැස යන තැනක ආසන්නයේ තියෙන භූමියක ඉඳන් වැඩ කරන එක ගුරුකම් ශාස්‌ත්‍රයට අනුව වැදගත් වෙනවා.

මෙන්න මේ නිසා තාත්තා අංගොඩ ප්‍රදේශයේ වැඩ කරන අතරේ ඒ වගේ ඉඩමක්‌ ගන්න හොයලා තියෙනවා. ඒ අනුව තමයි රාගම ප්‍රදේශයේ පර්චස්‌ විස්‌සක බිම් කොටසක්‌ තාත්තා මිලට අරගෙන තියෙන්නේ. රාගම දේවාලේ බිහි වෙන්නේත් ලොකු සීයා රාගමට එන්නේත් ඒ විදිහට.

රාගම දේවාලේ ලොකු සීයා කෝටිපතියෙක්‌ වුණේ කොහොමද?

රාගම දේවාලේ හදපු කාලේ ගුරුකම් වැඩ නිසා තාත්තට විශාල ප්‍රසිද්ධියක්‌ ලැබිලා තිබුණේ ඒ අතරේ එක්‌තරා විශේෂ දෙයක්‌ සිද්ධ වුණා. තාත්තට අවස්‌ථාවක්‌ ලැබුණා එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික්‌ රජතුමාට සහ පවුලට කරල තිබුණු කොඩිවිණයක්‌ ඉවත් කරන්න. දිවංගත විජය කුමාරතුංග මහතාගේ අක්‌කගේ දුවගේ මහත්තයා ටෝනි ඇන්ඩෲස්‌ වැඩ කළේ ෂෙයික්‌ ළඟ.

ඔහු මගින් තමයි තාත්තට ඒ අවස්‌ථාව ලැබුණෙ. තාත්තා ගැන ඇන්ඩෲ මහත්තයගෙන් දැනගෙන ෂෙයික්‌ ලංකාවට ආවා. ඔහුගේ ගැටලුව තාත්තට කිව්වා. තාත්තට පුළුවන් වුණා දවස්‌ තුනෙන් ඒක විසඳලා පසුව එමීර් රාජ්‍යයට ගිහින් රජ පවුලට කරලා තිබුණු කොඩිවිණය ඉවත් කරන්න. මේ සිද්ධිය නිසා ෂෙයික්‌ රජතුමා පස්‌සේ තාත්තටයි අපේ පවුලටයි විශාල වශයෙන් උපකාර කළා.

සල්ලි, නිවාස යාන වාහන විතරක්‌ නෙමේ අපට අවශ්‍ය හැම දෙයක්‌ම ෂෙයික්‌ රජ පවුලෙන් තෑගි ලැබුණා.

ඒ කියන්නේ ෂෙයික්‌ රජ පවුලේ සල්ලිවලින් තමයි ලොකු සීයා කෝටිපතියෙක්‌ වුණේ?

නැහැ. ඒ විතරක්‌ නෙමෙයි. ගුරුකම් ශාස්‌ත්‍රය තුළින් තාත්ත දක්‌වපු දක්‍ෂතා නිසා එයාට විශාල ආදායමක්‌ ලැබුණා. මේ රටේ සමහර මැති ඇමැතිවරුන්ගේ පටන් ධනවත් ප්‍රභූවරුන්ගේ වැඩ විශාල ප්‍රමාණයක්‌ තාත්තා කරලා දුන්නා. ඒ වැඩවලට තාත්තා ලක්‍ෂ ගණනින් මුදල් අය කළා. මෙතනදී තවත් දෙය කිව යුතුයි. තාත්තා වැඩවලට ධනවතුන්ගෙන් මුදල් ගත්තට කවදාවත් නැති බැරි කෙනෙක්‌ගෙන් සත පහක්‌ ගත්තේ නැහැ. අතින් වියදම් කරලා දුප්පත් මිනිස්‌සුන්ගේ වැඩ කළා.

ධනවත් ප්‍රභූන්ගේ වැඩ කරලා සාර්ථක වුණහම ඔවුන් තාත්තට තවත් විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කළා, දේවාලේ දියුණු කරන්න කියලා. රාගම දේවාලේ පොඩි සීයා විදිහට තාත්තත් එක්‌ක වැඩ කරපු මම ඒවා හොඳින්ම දන්නවා.

ඔබ දැනගෙන හිටියට මදිනේ ඔප්පු කරන්න පුළුවන්ද?

ඔව්. තාත්තා කරන ගුරුකම් වැඩවලට මුදල් ගැනීම ආරම්භ කළේ ශත 10 සිට. ශත 10 පසුව රුපියල වුණා. රුපියල රුපියල් දෙක කළා. රුපියල් දෙක දහය වුණා. දහය විසිඑක බවට පත් වුණා. මට මතක ඇති කාලේ තිබුණේ රුපියල් 21 ක්‌. එතැන ඉඳන් ඒ මුදල රුපියල් 51, 101, 221 බවට පරිවර්තනය වෙලා අන්තිමට 1101 කළා.

මේ මුදල් අය කෙරුණේ වැඩක්‌ කර ගන්න එන කෙනෙක්‌ තාත්තා හමුවෙලා සාක්‌ච්ඡා කරනවට. වැඩේ කරන අවස්‌ථාවේ කරන වැඩේ හැටියට මුදල් අය කළා. මම කිව්වනේ කරන දේවල් හරි ගියහම තාත්තට පරිත්‍යාගත් ලැබුණා. තාත්තා මේ හැම ශතයක්‌ පිළිබඳවම පොත්පත්වල සටහන් තැබුවා. වසර තිස්‌හයක්‌ පුරා හම්බ කරපු හැම ශතයක්‌ ගැනම සටහන් ඒ පොත්වල තියෙනවා. ඒක කෝටි ගණනක මුදලක්‌. මේ තියෙන්නේ ඒ පොත්පත්. (පොඩි සීයාත් චූටි සීයාත් විශාල බ්‍රිµa කේසයක්‌ පුරවා රැගෙනවිත් තිබූ පොත්පත් රැසක්‌ අපට පෙන්වා සිටින්නට විය)

ඔබ කියන්නේ ලොකු සීයා සහ පවුලේ අය සුඛෝපභෝගී ජීවිත ගත කළේ මොහොමඩ් නියාස්‌ රාගම දේවාලේ කපු මහත්තයා ලෙස කරපු වැඩවලින් කියලද?

පැහැදිලිවම ඔව්. අපේ තාත්තා අප්පුහාමි සීයගේ ආත්මයත් එක්‌ක ගුරුකම් ශාස්‌ත්‍රය අතින් ඉතාම ඉහළට ගියා. ඔහු අති දක්‍ෂ ලෙස විශාල වැඩකොටසක්‌ කළා. කාලයත් සමග අප්පුහාමි සීයගේ විතරක්‌ නෙමේ තවත් ආත්ම ගණනාවක ශක්‌තිය තමන්ගේ වැඩවලට එක්‌කර ගන්න තාත්තට පුළුවන් වුණා.

එහෙනම් ඇයි ලොකු සීයා මත්කුඩු ජාවාරම් කාරයෙක්‌ කියලා සමාජය චෝදනා කරන්නේ?

අපේ තාත්තා මත්කුඩු ජාවාරම් කාරයෙක්‌වත් පාතාලයෙක්‌වත් නෙවෙයි. කවුද එහෙම චෝදනා කරන අය.

සමහරු ලොකු සීයට එහෙම චෝදනා කරනවා. ඒ ඇයි?

ඔය චෝදනා කරන අයගෙන් අපි අහන්නේ එකම එක දෙයයි. ඒ අපේ තාත්තා කුඩු කාරයෙක්‌ කියලා ඔප්පු කරන්න පුළුවන්ද කියලා. අපේ තාත්තට කිසිම පොලිසියක මත් කුඩු චෝදනාවක්‌ නැහැ. මත් කුඩු සම්බන්ධයෙන් ඔහුව කිසිම පොලිසියකින් අත්අඩංගුවට අරගෙන නැහැ. කිසිම අධිකරණයක නඩුවක්‌ නැහැ.

නමුත් ඒ වගේ චෝදනා එල්ල වෙන්න හේතුව අපි දන්නවා. ඒක ඔප්පු කරන්න අපි ළඟ සාක්‍ෂිත් තියෙනවා. රාගම දේවාලයේ ආරම්භයේ ඉඳන්ම තාත්තගෙන් පිහිට ලබා ගත්තු අය ඉල්ලීමක්‌ කළා දෙවියන්ට ස්‌තුති කරන්න වාර්ෂිකව උත්සවයක්‌ පවත්වන්න කියලා. ඒක තාත්තට පිහිට වෙච්ච අප්පුහාමි සීයත් කරපු දැනුම් දීමක්‌.

ඒ නිසාම තාත්තා රාගම දේවාලයේ වාර්ෂිකව උත්සවයක්‌ පැවැත්වුවා. දේවාලයේ කටයුතු දියුණු වෙනකොට ඒ උත්සවය වාර්ෂික පෙරහැරක්‌ දක්‌වා ඉදිරියට ආවා. මේ පෙරහැර තාත්තා මුල් කාලේ පටන් ගත්තේ නැටුම් කණ්‌ඩායම් කිහිපයක්‌ විතරක්‌ යොදාගෙන. නමුත් අන්තිම කාලේ වෙනකොට තාත්තට පුළුවන් වුණා, අලි ඇතුන් හතළිහක්‌ විතර ගමන් කරන දර්ශනීය පෙරහැරක්‌ බවට දේවාල පෙරහැර දියුණු කරන්න.

මේ අන්තිම වකවානුව වෙනකොට තාත්තා ගමන් බිමන් ගියේ අලුත්ම ප්‍රාඩෝ ජීප් රථයකින්. ඒ කාලේ මගේ මල්ලි චූටි සීයත් දේවාලේ වැඩවලට සම්බන්ධ වෙලා හිටියේ. අපි දෙන්න ගමන් බිමන් ගියෙත් අලුත්ම සුඛෝපභෝගී රථවලින්. ඒ වගේම තමයි දේවාලෙන් ලැබෙන ආදායමෙන් තාත්තා ගමේ විතරක්‌ නෙමෙයි හුඟක්‌ මිනිස්‌සුන්ට විශාල වශයෙන් ආධාර උපකාරත් කළා. පෙරහැර දවසට තාත්තා ගමේ දුප්පත් මිනිස්‌සු හයදාහකට විතර වියළි ආහාර බෙදුවා. පෙරහැර බලන්න එන ජනතාවට කිසිම අඩුවක්‌ නොකර විශාල වියදමක්‌ කරලා කන්න බොන්න දුන්නා.

මේ දේවල් වෙනකොට රාගම ප්‍රදේශයේම තියෙන එක්‌තරා විහාරයක ස්‌වාමින් වහන්සේ නමක්‌ තාත්තට විරුද්ධව නොයෙක්‌ දේ කරන්න ගත්තා. රාගම තිබෙන අනෙක්‌ හැම විහාරයකම නාහිමිවරුන් තාත්ත කරන වැඩවලට ආශිර්වාද කළා. නමුත් එක ස්‌වාමින් වහන්සේ නමක්‌ විරුද්ධ වුණා. උන් වහන්සේ දේවාලේ පෙරහර නවත්තන්න විශාල වශයෙන් විරුද්ධව වැඩ කළා.

පෙරහැරට ගේන අලි ඇතුන්ට වහ දෙන්න හැදුවා. එක්‌ අවස්‌ථාවක කවුද කෙනෙක්‌ පෙරහැරේ ගිය අලියෙක්‌ ළඟට රතිඤ්ඤයක්‌ දාලා අලියා කුලප්පු වෙලා පෙරහර බලන්න ඇවිත් හිටිය හමුදා බ්‍රිගේඩියර්වරයකුගේ බිරිඳක්‌ මරණයට පවා පත් වුණා. මේ ස්‌වාමින් වහන්සේ පෙරහර නවත්වන්න රටේ දේශපාලන වශයෙන් ඉහළ තැන්වලට තාත්තට විරුද්ධව පෙත්සම් යෑව්වා. ඒ පෙත්සම්වල තාත්තා කුඩු ජාවාරම්කාරයෙක්‌ කියලා සඳහන් කළා.

ඔය ස්‌වාමින් වහන්සේ තමයි අපේ තාත්තා කුඩු ජාවාරම්කාරයෙක්‌ කියලා කතාව හැදුවේ. දේවාලෙට ගියොත් ගමේ මිනිස්‌සුන්ගේ මළ ගෙදරක පාංශකූලෙටවත් වඩින්නේ නැහැ කියලා මිනිස්‌සු අසරණ කරලා තමන්ගේ දායක සභාවේ අයත් නොමඟ යවලා ඒ ස්‌වාමින් වහන්සේ තමයි අපේ තාත්තා කුඩු ජාවාරම්කාරයෙක්‌ කියලා ප්‍රචාරය කළේ. මේ වැඩවලදී උන්වහන්සේට ප්‍රදේශයේ එක්‌තරා ප්‍රබල දේශපාලනඥයකුගේ සහයෝගයත් ලැබිලා තිබුණා.

දේශපාලනඥයෙක්‌ ලොකු සීයට විරුද්ධ වුණේ ඇයි?

තාත්තා ගුරුකම් ශාස්‌ත්‍රයෙන් කරපු වැඩ නිසා සමාජයේ ඉහළම තැන් ස්‌පර්ශ කරන ධනවතුන් ඇතුළත් ශක්‌තිමත් විශාල ජාලයක්‌ ඔහු වටා ගොඩ නැගිලා තිබුණා. ඒ වගේම තාත්තා ජනතාවට කරපු උදව් උපකාර නිසා ගමේ විතරක්‌ නෙමෙයි අවට ප්‍රදේශත් නියෝජනය වන සේ විශාල මිනිස්‌ පවුරක්‌ ලොකු සීයා වටේ තිබුණා. ඒ දේවල් පෙන්නලා විරුද්ධකම් කරපු ස්‌වාමින් වහන්සේ තාත්තා දේශපාලනයට එයි කියලා අර දේශපාලනඥයව නොමග ඇරියා. ඔහු තාත්තට එරෙහි වුණේ ඒ නිසයි. තාත්තා මිනිස්‌සුන්ට පිහිට වෙච්ච ආකාරයට, කරපු සමාජ සේවයට ඔහු බය වුණා.

තාත්තට දේශපාලන සබඳතා තිබුණනේ. ඒ සබඳතා අතර කුඩු ජාවාරම වගේ දුරාචාරයන්වලට සම්බන්ධ බවට ප්‍රසිද්ධ දේශපාලනඥයොත් හිටියා නේද?

ඔව්. අපේ තාත්තට දේශපාලන සබඳතා තිබුණා. හැබැයි ඒ හැම එකක්‌ම ඇති වුණේ දේශපාලනඥයෝ තාත්තගෙන් වැඩ කර ගන්න ආපු නිසා. සමහර දේහපාලනඥයන් තමන්ගේ ප්‍රශ්න කියාගෙන තාත්තා ළඟට ඇවිත් හඬා වැළපුණු අවස්‌ථා අනන්තයි අප්‍රමාණයි. එහෙම තමන් ළඟට වැඩ කර ගන්න ආපු කිසිම දේශපාලනඥයෙක්‌ සුදුද කළුද කියලා තාත්තා හෙව්වේ නැහැ. තරාතිරම බලන්නේ නැතුව ඒ හැමෝටම පිහිට වුණා.

ඔය විදිහට ලොකු සීයාගේ පිහිට හොයාගෙන කුඩු ජාවාරම කළ පාතාල මැරයොත් එන්න ඇති නේද?

මෙහෙමයි. අපේ තාත්තා ළඟට කවුරු ආවත් ඒ කවුද කරන්නේ මොනවද කියලා තාත්තා හොයන්න ගියේ නැහැ. එන කෙනා සිංහලද, දෙමළද, මුස්‌ලිම්ද ඔවුන්ගේ කුලය, බලය මොකක්‌ද ආවේ පාතාලයේ කෙනෙක්‌ද කුඩු ජාවාරම කරනවද කියලා හෙව්වේ නැහැ. තාත්තා කළේ දේවාලෙට කවුරු ආවත් ඔවුන් සොයාගෙන ආ පිහිට ලබා දෙන එක විතරයි.

ඔබේ තාත්තා මුස්‌ලිම් භක්‌තිකයෙක්‌. ඒත් ඇයි දේවාලයක්‌ කරගෙන යමින් හින්දු භක්‌තිකයෙක්‌ විදිහට පෙනී සිටියේ?

දේවාලයක ප්‍රධාන කපු මහතා වුණා කියලා මගේ තාත්තා හින්දු භක්‌තිකයෙක්‌ වුණේ නැහැ. ඔහු කළේ අප්පුහාමි සීයගේ ආත්මයේ ශක්‌තියෙන් ජනතාවට පිහිට වුණු එක. කෙටියෙන්ම කිව්වොත් තාත්තා රාගම දේවාලෙට ගියහම එතන හිටියේ මොහොමඩ් නියාස්‌ නෙවෙයි. අප්පුහාමි සීයා. දේවාලෙදී තාත්තගෙ ස්‌වරූපය විතරක්‌ නෙමේ කටහඬ පවා වෙනස්‌ වෙනවා.

අනිත් වෙලාවට තාත්තා තමන්ගේ ආගමට ගරු කළා. අල් කුරානයට ගරු කළා. පල්ලි ගියා. ඒ දේවල් මගහැරියේ නැහැ. තාත්තා හොඳ ඉස්‌ලාම් භක්‌තිකයෙක්‌.

ලොකු සීයා ඝාතනය කෙරෙන්නේ මේ රටේ කුඩු ජාවාරමේ යෙදුණු පාතාල ප්‍රබලයන් අතරේ බිහිසුණු සටනක්‌ ඇරඹී තිබියදී නේ. මම නිවැරදිද.රෑ

ඔව්. 2011 තාත්තා ඝාතනය කෙරෙද්දී ඒ වගේ වාතාවරණයක්‌ රට තුළ තිබුණා. ඒත් අපේ තාත්තා කුඩු ජාවාරම්කාරයෙක්‌වත් පාතාල අපරාධකාරයෙක්‌වත් නෙමෙයි. එහෙම තැනක තාත්තා ගෑවිලාවත් හිටියා නම් ඔහුව ඝාතනය කළේ කවුද කියන ප්‍රශ්නයට උත්තර හොයන්න අපි ඉදිරියට එන්නේ නැහැ. එහෙම වුණා නම් අපිත් හැංගිලා ජීවත් වෙනවා.

එහෙනම් ලොකුසීයා කොහොමද ඒ රැල්ලේ ගොදුරක්‌ විදහට ඝාතනය වුණේ?

ඒක කොහොම වුණාද කියන්න අපි දන්නේ නැහැ. නමුත් කාගෙ හරි කුමන්ත්‍රණයකට ඒ දේ වුණා කියන සැකය අපිට තියෙනවා. ඒ කුමන්ත්‍රණය පිටුපස අපි මුලින් කියපු රාගම ප්‍රදේශයේ ස්‌වාමින් වහන්සේ සහ දේශපාලනඥයා ඉන්නවා වෙන්නත් පුළුවන්. තාත්තගේ ඝාතනය සම්බනAධයෙන් වැදගත් සහ තාත්තා පාතාලයෙක්‌වත් කුඩුකාරයෙක්‌වත් නොවන බව ඔප්පු කරන්න අවශ්‍ය ලිත සාධක රැසක්‌ අපි රහස්‌ පොලිසියට භාර දීලා තියෙනවා. ඒ මහත්තුරු අවශ්‍ය දේ කරයි.

ඒ වගේම රාගම දේවාලය කියන්නේ මහා බලගතු තැනක්‌. ඒකයි තාත්තගේ මළ සිරුර මුහුදේ ගිල්ලලවත් හංගන්න බැරි වුණේ. ඒක සිද්ධ වුණා වගේම අපිට විශ්වාසයි රාගම දේවාලයේ අනුහසින් තාත්තා මරපු ඝාතකයනුත් කවදා හරි අනාවරණය වෙයි.

සමන් ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.