රන්ජන්ට හූ සංග්‍රහයක්‌

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයේදී ඊයේ (12 දා) එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කතා කර සභා ගැබෙන් පිටව යද්දී ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ 'හූ' කියන ආකාරය දක්‌නට ලැබිණි.විවාදය අවස්‌ථාවේදී මැදපෙරදිග රැකියා කරන කාන්තාවන් විඳින කරදර පිළිබඳව රන්ජන් රාමනායක මහතා ආවේගශීලීව කතා කළේය. එහිදී කථානායක චමල් රාජපක්‍ෂ මහතා කිහිප අවස්‌ථාවකම රාමනායක මහතාට අවවාද කළේය.

කාන්තාවක දූෂණය කිරීමේ සිද්ධියක්‌ පිළිබඳ රන්ජන් රාමනායක මහතා අදහස්‌ ප්‍රකාශ කරද්දී ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු බාධා කළහ.

සභාවේ ගෞරවය රැකෙන පරිදි සභාවට උචිත ලෙස කතා කරන ලෙස කථානායක චමල් රාජපක්‍ෂ මහතා රන්ජන් රාමනායක මහතාට කීවේය. මැද පෙරදිග කාන්තාවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම්දී සිය දුක ප්‍රකාශ කරන බවද කී රාමනායක මහතා මෙවන් ඇමතුම් කථානායකවරයාටද ලැබෙන බව කීය.

"මට නම් එහෙම දුරකථන ඇමතුම් ඇවිත් නෑ... ඔබතුමාට එන ඇමතුම් මට යොමුකරන්න... යෑයි කථානායකවරයා කීවේය. ඉන්පසු වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා කතා කළේය.

එම අවස්‌ථාවේදී රන්ජන් රාමනායක මහතා සභාවෙන් පිටව යැමට සූදානම් වෙද්දී තම කතාව අවසන් වනතුරු අසා සිටින්නැයි රෝහිත අබේගුණවර්ධන මහතා රන්ජන් රාමනායක මහතාට කීවේය.

ඒ අනුව රන්ජන් රාමනායක මහතා සභා ගැබෙහි රැඳී සිට ඇමැතිවරයාගේ කතාවෙන් පසු පිටව ගියේය. එසේ පිටව යද්දී ආණ්‌ඩු පක්‍ෂය දෙසින් රාමනායක මහතාට හූ හඬක්‌ එල්ල විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.