විග්නේශ්වරන්ගේ වෙඩි උන්ඩය



* ජිනීවා පරීක්‍ෂක මණ්‌ඩලයට සාවද්‍ය යුධ අපරාධ සාක්‍ෂි ගොනුකළ මාධ්‍ය පාර්ශවය හෙළිවෙයි

* උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් මැලේසියා ඊළාම් සමුළුවේ

* කතෝලික සභාව දෙකඩ කිරීමට මන්නාරම රදගුරු උත්සාහ කරයි

* ස්‌වයං පාලනයත්, හමුදා ඉවත් කිරීමත් සහ ත්‍රස්‌ත පනතද අහෝසි කළ යුතු යෑයි විග්නේශ්වරන් තමිල් නාඩුවේදී පවසයි

* කොස්‌ලන්දේ විපතට පත්වූවන් ගලවා ගැනීමට හමුදාව යෙදවීම වැරැද්දක්‌ යයි කජෙන්ද්‍රන් පවසයි

හිටපු කොටි ත්‍රස්‌ත කාන්තාවක්‌වූ උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් පසුගිය සඳුදා කටුනායක ගුවන් තොටුපලට පැමිණියේ මැලේසියාවේ සිටය. ඇය ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර පිනෑන් ප්‍රාන්තයේ පැවැති ඊළාම් සමුළුව අමතා ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය චෝදනා නගනු ලැබීය. විදේශගතවීමට පෙර උතුරේ ආණ්‌ඩුකාරයාගෙන් අවසර ගතයුතුව ඇතත් ඇය එවැනි අවසරයක්‌ ගත්තේ නැත. වන්නි මෙහෙයුමින් පසු පුනරුත්ථාපනය වීමට ඇය හමුදාවට භාරවිය යුතුව තිබුණත් සැඟවී සිටියාය.

මේ කොටි නායිකාව පසුගිය අඟහරුවාදා කොළඹ විදේශ තානාපති නිලධාරීන් කීපදෙනකු හමුවී රහස්‌ සාකච්ඡා පැවැත්වූවාය. මේ රහස්‌ සාකච්ඡාවල අරමුණ වූයේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන පරීක්‍ෂණ සාක්‍ෂි එකතුකිරීමේ මෙහෙයුම දියත්කළ සන් මාස්‌ටර් නැමැත්තා ගලවා ගැනීම හා පරීක්‍ෂණ මණ්‌ඩලයට අදාළ සාක්‍ෂි ලබාදීමයි.

වව්නියාවේ පදිංචි සන්මාස්‌ටර් කවුද? සන් මාස්‌ටර් සහ ඇමරිකානු තානාපති කාර්යාලය අතර පවතින සබඳතාවය කුමක්‌ද?

ඇමරිකානු තානාපති නිලධාරියකු වූ මයික්‌ අර්වින් නමැත්තා සන්මාස්‌ටර් හමුවී සාකච්ඡා පවත්වන අයුරු හමුදා බුද්ධි අංශවලට වාර්තා වී තිබුණි.

පසුගිය ඔක්‌තෝබර් 22 දා සවස 3 ට සන් මාස්‌ටර් වව්නියා බස්‌ නැවතුම්පළේදී හිටපු කොටි ක්‍රියාකාරියකුවූ ක්‍රිෂ්ණරාජා හමුවී යුද අපරාධ සාක්‍ෂි සටහන් කරන හිස්‌පෝර්ම 25 ක්‌ ලබාදුන්නේය.

වන්නි මෙහෙයුමේදී මියගිය අයගේ බිරියන් ගැන තොරතුරුද ඡායාරූපද ලබාගන්නා ලෙසත් හිස්‌පෝර්මවල අත්සන් පමණක්‌ සටහන් කළ යුතු බවත් සන් මාස්‌ටර් විසින් ක්‍රිෂ්ණරාජාට උපදෙස්‌ දී ඇත.

ඒ වන විට විදේශිකයන් පිරිසක්‌ වව්නියාවට පැමිණ සිටියහ. වව්නියාවේ හෝටලයකදී විදේශිකයන් ඇතුළු පහළොවකගෙන් යුත් කණ්‌ඩායමක්‌ සමඟ සන් මාස්‌ටර් පැවැත්වූ සාකච්ඡාවට ක්‍රිෂ්ණරාජාද සම්බන්ධ විය.

ක්‍රිෂ්ණරාජාගේ ජංගම දුරකථනය පරීක්‍ෂාවට ලක්‌කල ත්‍රස්‌ත මර්දන නිලධාරීන් ඔහු සමඟ සන් මාස්‌ටර් සබඳතා පැවැත්වූ බවට තහවුරුවිය.

ත්‍රස්‌ත මර්දන නිලධාරීහු ක්‍රිෂ්ණරාජාගේ නිවස පරීක්‍ෂාවට ලක්‌කිරීමේදී වන්නියේ පිහිටි සියළුම හමුදා කඳවුරු සංඛ්‍යාව සහ එහි සිටින භට සංඛ්‍යාවට අදාළ තොරතුරුද තිබී හමුවිය.

ක්‍රිෂ්ණරාජා නමැත්තාව මෙහෙයවූ සන්මාස්‌ටර් හෙවත් විඡේන්ද්‍ර කුමාර් දියත් කර තිබූ මෙහෙයුමට ආනන්දි සසිතරන් සහ ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණද සම්බන්ධ යයි අනාවරණය විය.

මෙලෙස ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා පිළිබඳව ජිනීවාහිදී පරීක්‍ෂණ පැවැත්වෙන අතර ආනන්දි සහ උතුරු පළාත් සභා මන්ත්‍රී රවිහරන්ද ජිනීවා ගොස්‌ එකී පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවී ඇතැයි වාර්තා විය.

රවිහරන් පවා ජිනීවා යැමට පෙර උතුරු ආණ්‌ඩුකාරයාගෙන් අවසර ගෙන නොතිබුණි. එසේ නම් යුද අපරාධ චෝදනා සටහන් කිරීමේ හිස්‌පෝරම ජිනීවා සිට මෙරටට ගෙන විත් ඇත්තේ ආනන්දි සසිකරන් යයි හෙළිවිය. මේ පසුබිම මැද ක්‍රිෂ්ණරාජා ත්‍රස්‌තමර්දන බලධාරීන් යටතේ අත්අඩංගුවේ සිටින බවත් සන්මාස්‌ටර් අල්ලා ගැනීම සඳහා විමර්ශන පැවැත්වෙන බවද ජිනීවාහි ඇමරිකානු තානාපති කෙයිත් හාපර්ට සහ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් හුසේන්ට සැලවුණි. ඇමරිකානු තානාපතිවරයා විගස රජයට අනතුරු අඟවමින් ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ කටයුතුවලට බාධා කිරීමෙන් වළකින ලෙස කියා සිටියේය.

ඊට සමගාමීව සෙයිද් රාද් හුසේන් පැවසුවේ සාක්‍ෂි සටහන් කරන පිරිසට රජය බාධා නොකළ යුතු බවද රජය පරීක්‍ෂණ මණ්‌ඩලයේ කටයුතු වලට කඩා කප්පල් කිරීමට ක්‍රියාකරන බවත් චෝදනා නැගීය.

එහෙත් රජය ඇමරිකානු තානාපතිට හා මානව හිමිකම් කොමසාරිස්‌ට අවනත වූයේ නැත. මේ අතර යුද අපරාධ චෝදනා ගැන සාක්‍ෂි සටහන් කරන හිස්‌පෝර්ම සන්මාස්‌ටර්ට ලැබුණේ කෙසේද යන ප්‍රශ්නයට මානව හිමිකම් කවුන්සිලය හෝ පරීක්‍ෂණ මණ්‌ඩලය ප්‍රතිචාර දැක්‌වූයේ නැත. එහෙත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සන්මාස්‌ටර් පසුබිමේ සිටින බව සනාථ වූයේ ඇමරිකානු තානාපති නිලධාරියකු හා සන්මාස්‌ටර් හමුවූ අයුරු දැක්‌වෙන ඡායාරූපයක්‌ ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට හමුවීමයි. එසේම යුද අපරාධ චෝදනා පරීක්‍ෂණ මණ්‌ඩලයේ අවසාන දිනය ඔක්‌තෝබර් 30 දා මැදියම් රාත්‍රියේ නිමාවුවත් එකවරම එකී පරීක්‍ෂක මණ්‌ඩලය පැවසුවේ ප්‍රමාදවී ලැබෙන සාක්‍ෂිද භාර ගන්නා බවයි.

එහෙත් මෙම පරීක්‍ෂණ මණ්‌ඩලය කොටින්ට එරෙහි සාක්‍ෂි මෙන්ම සිංහල භාෂාවෙන් එවා තිබූ සාක්‍ෂිද භාරගත්තේ නැත. එහෙත් පරීක්‍ෂක මණ්‌ඩලය මුලින් පැවසුවේ සිංහලෙන් එවන සාක්‍ෂි භාර ගන්නා බවයි. මේ අතර සන් මාස්‌ටර්ව මෙතෙක්‌ අල්ලා ගැනීමට නොහැකිවී ඇත. මෙම තත්ත්වය මැද තමිල් නාඩුවේ චෙන්නායි නුවරදී දේශනයක්‌ පැවැත්වූ උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේශ්වරන් ශ්‍රී ලංකා රජයට බරපතළ චෝදනා නගමින් උත්තරීතර අධිකරණයටද අවමන් කරනු ලැබීය.

ප්‍රභාකරන්ට එරෙහි නඩු විභාගය පුද්ගලික හේතුන් මත යෑයි කියමින් විභාග කිරීමෙන් වැළකී සිටි විග්නේශ්වරන් තමිල්නාඩුවේදී මෙලෙස ප්‍රකාශ කර ඇත. අධි ආරක්‍ෂක කලාප තුළ පිහිටි ගොඩනැඟිලි, නිවාස, ආගමික ස්‌ථාන සහ පාසල් සියල්ල දිගටම විනාශ කිරීමට හමුදාව ක්‍රියාකරනවා. පසුගිය සති කීපය තුළ යුද අපරාධ පරීක්‍ෂණයට සාක්‍ෂි එකතුකළ අය අත්අඩංගුවට ගනිමින් තර්ජනය කරනවා. ශ්‍රී ලංකාවෙන් සාක්‍ෂි විදේශ ගතවීම සඳහා ඉඩනොදීම රජයේ අරමුණයි.

ඉන්දියාවේ ඉල්ලීම මත උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වුණා. ඒකීය ශ්‍රී ලංකාවක්‌ මත ද්‍රවිඩයන්ට ස්‌වයං තීරණ හිමිකම ලබාදීමට ක්‍රියාකළ යුතුයි. එසේම 13 වැනි සංශෝධනයට එහාගිය බලතලද ලබාදීමට සහතික විය යුතුයි"

පසුගිය නොවැම්බර් 9 දා චෙන්නායිහි පැවැති කන්තාබිරන් අනුස්‌මරණ දේශනය අමතමින් විග්නේශ්වරන් තවදුරටත් පැවසූ ප්‍රධාන කරුණු කීපය මෙසේයි.

1. උතුරේ සිටින සියලුම හමුදා සෙබළු ඉවත් කර ගනු.

2. අත්අඩංගුවේ සිටින කොටි ක්‍රියාකාරීහු මුදාහරිනු

3. ආරක්‍ෂක හමුදාව විසින් අත්පත් කරගෙන ඇති ඉඩම් ආපසු ලබාදෙනු.

4. ස්‌වයං පාලනය ලබාදීමට ක්‍රියාකරනු.

5. ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරනු

මේ ඉල්ලීම් වලින් විග්නේශ්වරන් සෘජුව ශ්‍රී ලංකා රජයට කියන්නේ උතුරේ සිටින 12000 ක්‌වූ හමුදා භටයන් ඉවත්කර යුද අපරාධ සිදුකළ කොටි මිනීමරුවන් නිදහස්‌ කර උතුරට බෙදුම්වාදී ස්‌වයංපාලනය දෙන ලෙස නොවේද? විග්නේශ්වරන්ට ආවේශ වී ඇත්තේ මස්‌ රාත්තලම ඉල්ලු ෂයිලොක්‌ යුදෙව්වාගේ චරිතයයි.

එහෙත් විධායක බලතල ඉවත්කළ යුතුයයි ඝෝෂාකරන කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ විග්නේෂ්වරන්ගේ මේ ඉල්ලීම් ගැන මේ දක්‌වා ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත.

මෙලෙස විග්නේශ්වරන් ස්‌වයං පාලනයේ හඬ නගද්දී මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පසුගිය සඳුදා ස්‌විට්‌සර්ලන්තයේ සුරිච් නුවර සිට විකාශනය වන කොටි ගුවන් විදුලියේ මාදාමේයෑයි දේශපාලන වැඩසටහන අමතමින් ද්‍රවිඩ ජනතාව දකුණෙන් වෙන්වී වෙනම කටයුතු කිරීමට සූදානම් බව පවසා ඇත. රායප්පු ජෝශප් රදගුරු මෙලෙස ප්‍රකාශ කර ඇත.

"උතුරු නැගෙනහිර ස්‌වාධීන ලෙස ක්‍රියාකිරීම අපේ අරමුණයි. එය අපේ දිගු කාලීන ඉලක්‌කයක්‌. යාපනය රදගුරු තෝමස්‌ සවුන්ද්‍රනායගම් අපේ නායකයා ලෙස සේවය කිරීමට සුදුසු තැනැත්තායි. අපි පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දේශපාලනීකරණය කිරීමට ඉඩදෙන්නේ නැහැ"

මන්නාරම් රදගුරු කළ මේ බරපතළ ප්‍රකාශයේ අරමුණ උතුරු නැගෙනහිරට වෙනම කතෝලික සභාවක්‌ ස්‌ථාපිත කර අගරදගුරු ලෙස යාපනය රදගුරු පත්කිරීම නොවේද?

මේ අතර ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වරාජා කජෙන්ද්‍රන් කොස්‌ලන්දේ නාය යැමෙන් විපතට පත්වූවන් හමුවීමට ගොස්‌ ගිනි ඇවිළවීමට උත්සාහ කළේය.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.