මහාචාර්ය තිස්‌ස කාරියවසම් සූරීනි සුඛි දිඝායුකො



ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මහාචාර්ය තිස්‌ස කාරියවසම් සූරීන්ට සුවිශේෂ ප්‍රදානයක්‌ කරන ලද බව සඳහන් පුවත දුටු මහද සොම්නසින් ඔද වැඩුණි. එය ව්‍යාජ දේශපාලන පැසසුම් අපේක්‍ෂාවෙන් කරන ලද්දක්‌ නොව මෙරට සුදුර්ලභව පහළ වූ අසාමාන්‍ය සංස්‌කෘතික කලා ප්‍රාඥයකුට කරන ලද සුවිශිෂ්ට පූජාවක්‌ වැන්න. දැන් ස්‌වල්ප කාලයක පටන් මහාචාර්ය තිස්‌ස කාරියවසම් සූරීහු ගිලන්ව සිටිතියි ඇතැම් කෙනෙක්‌ නොදනිති. ශාස්‌ත්‍ර ධන විනා භෞතික ධන කඳු නොගැසූ බොහෝ විද්වතුන් මෙන් එතුමෝද දුෂ්කර ජීවන චර්යාවක නිරතව සිටිති. එසේ වුවද ඔවුන් තුළ වීර්යද, අධිෂ්ඨානයද නොසිඳී පවතී. සිය ජීවිත සැඳෑ වෙරළ මත පතිත වූ රෝ දුක්‌ නමැති ප්‍රචණ්‌ඩ කුණාටුව අබියස වුවද නොසෙල්වී ශාස්‌ත්‍ර ගවේෂණ මාර්ගයෙහිම පිහිටා ක්‍රියා කිරීම ඔවුන්ගේ පිළිවෙතය. එවන් විද්වතකු දුක සැප විමසා ඔවුන්ට දක්‌වන අනුග්‍රහය ජීව දානයක්‌ නොවන්නේද?

මහාචාර්ය කාරියවසම් සූරීන් විසින් සිංහල භාෂා සාහිත්‍යයටද, නාට්‍ය හා සෞන්දර්ය කලා ප්‍රමුඛ සංස්‌කෘතික ක්‍ෂෙත්‍රයන්ටද, විශේෂයෙන් සිංහල ජනශ්‍රැති හා ගැමි රංග කලාවටද කරන ලද සම්ප්‍රදානයන් බොහෝය. එබඳු ශාස්‌ත්‍රීය විමර්ශන සඳහා යොමුවන වියත්හු අද නම් අතිශය දුර්ලභම වෙති.

කාරියවසම් සූරීන්ගේ ජීවිතය මෙවන් ශාස්‌ත්‍ර ගවේෂණ මාර්ගයක්‌ බවට පත්වූයේ අහම්බයකින් නොවේ. ඒ වූ කලී විරල සංසාර ප්‍රාර්ථනයක මධුර පලයක්‌ වැන්න. ඒ සඳහා වුවමනා විවේක බුද්ධියත්, ශාස්‌ත්‍ර ඥණයත් ඔහු තුළ නොමඳව විය. පේරාදෙණි සරසවියෙහි කුසුම් සමයෙහි එහි සිසු වරම් ලබන ඔවුන්ට එකල මෙලක බැබලවූ විස්‌මිත ඥන කෝෂ්ඨාගාර බඳු වූ භාෂා, ශාස්‌ත්‍ර, සමය, දර්ශන යනාදියෙහි වෙසරද වූ කීර්තිමත් පඬිරුවන් ඇසුරෙහි කල් ගෙවීමේ වාසනා මහිම උදාවිය. අද මෙන් පුහු සරසවි සටන් නොවූ පතිරූප දේශයක ශාස්‌ත්‍රාභිලාෂයෙන් ඔද වැඩුණු ඔවුන්ට පසුව පේරාදෙණි සරසවිය තුළම සහාය කථිකාචාර්ය තනතුරක්‌ හිමි වෙයි.

සරසවි ආචාර්යවරයකු ලෙස ආරම්භ වන ඒ වෘත්තීය ජීවිතය ඥන ගවේෂණය උදෙසාම කැප කරන ඔව්හු එහි හිණිපෙතටම එළඹෙති. සිය විෂය ක්‍ෂෙත්‍රය වූ සම්භාව්‍ය හා නූතන සාහිත්‍යයෙන් බැහැරව මානව විද්‍යාව, ගැමි අභිචාර විධි ශාන්ති කර්ම හා බැඳුණු සිංහල ජන සංස්‌කෘතියේ සුලමුල විමසීමේ මනදොළක්‌ද ඔවුන් තුළ විය. ඒ සඳහා ඔවුන්ට අනුබලයක්‌ වූයේ ඔවුන්ගේ පූර්වාචාරීන් වූ මහාචාර්ය සරච්චන්ද්‍ර, මහාචාර්ය ගජනාථ ඔබේසේකර බඳු විද්වතුන් බව ඔහුම සඳහන් කර තිබුණි.

සිංහල නාට්‍ය කලාවේ දේශීය ලකුණ සොයා ගිය මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමග නොයෙක්‌ දුක්‌ඛ සෙයHdවන් හා දුර්භෝජන ඉවසූ තිස්‌ස කාරියවසම් සිසුවාගේ කාර්යභාරය ගැන අගනා ප්‍රශංසනයක්‌ සරච්චන්ද්‍රයන්ගේ සිංහල ගැමි නාටකය නම්වූ කෘතියේ සඳහන් වූ අයුරු මට සිහි වේ. එවක විෙද්‍යාදය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ධුරයක්‌ දරමින් සිටි කාරියවසම් මහතා සිය මානසික කුහුල නිසාම සිය පර්යේෂණ සඳහා දුෂ්කර ක්‍රියා ඉවසූ බව සරච්චන්ද්‍රයෝ නොමසුරුව ලියා අගයති.

මානව ශිෂ්ටාචාරයේ සැඟවී ගිය විචිත්‍ර මං සලකුණු ඔස්‌සේ නාඩගම්, තොවිල් පවිල්, ගම්මඩු, ශාන්තිකර්ම නැරැඹීමට ගමින් ගමට ගිය ගමන් පිළිබඳව මහාචාර්ය සරච්චන්ද්‍රයෝ අප සමගද බොහෝ විට කීහ. එකල ඔවුන්ගේ ගමන් සගයා වූයේ කාරියවසම් සූරීන් බවද කීහ. මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගෙන් ලද අනුබලයත්, සිය උපන් ගම වන දකුණේ ගාලු දිස්‌ත්‍රික්‌කයට අයත් බද්දේගම, ගනේගමදී ඇසු දුටු ශාන්ති කර්මවල ආභාසයත් නිසාම කාරියවසම් මහාචාර්යතුමා ඒ සෞන්දර්ය නිම්නයට වඩාත් ප්‍රිය විය.

කාරියවසම් සූරීන්ගේ පියාද ගම් ප්‍රධානියකු ලෙස ශාන්තිකර්ම හා අෂ්ටක ගායනය වැනි ක්‍රියාකාරකම්වල නිරතව ඇත. සිය පියාගේ ගායන පෞරුෂය තුළින් මෙන්ම ගම්දොර ඇසුණු බෙර හඬ හා තොවිල් කවි වලින්ද ඔවුන්ගේ යොවුන් මනස තුළ තැන්පත් කරන ලද දේ බොහෝ විය. පසුකාලීනව ඒ තොරතුරු වඩාත් පිරිපහදු කර ගනිමින් එය ජන සතු ශාස්‌ත්‍ර ධනයක්‌ බවට පත් කිරීමට ඔවුන් විසින් දරණ ලද ප්‍රයත්නය අති විශිෂ්ටය.

මානව සංස්‌කෘතියේ අතිශය විරල සංස්‌කෘතික අංග දෙස විදුහුරුව බලමින් එක්‌රැස්‌ කරන ලද නොයෙක්‌ තොරතුරු ඇසුරින් "යක්‌ තොවිල් හා සිංහල සමාජය" නම්වූ ශාස්‌ත්‍රීය නිබන්ධය එළිදක්‌වන තිස්‌ස කාරියවසම් සූරීන්ට ඒ සඳහා ශාස්‌ත්‍රපති උපාධිය පිරිනැමීමට පේරාදෙණි සරසවිය තීරණය කරයි. ඒ 1968 දීය. ඉනික්‌බිතිව සිය දර්ශනසූරී උපාධි පරීක්‍ෂණ කටයුතු සඳහා ලන්ඩන් විශ්වවිද්‍යාලයට පිවිසෙන ඔහු සිය විෂය පථයට වුවමනා සියලු තතු

එක්‌රැස්‌ කරන අතරම තවත් අතිරේක කාර්යකද නිරත වෙයි. ඒ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තුළ තිබුණු අපේ ශාන්ති කර්ම පිළිබඳ සටහන් හා පිටපත් සමූහය පිළිබඳ විමසුම් ඇස යොමු කිරීමය. සිය ආචාර්ය උපාධි නිබන්ධය සම්පූර්ණ කර පෙරළා මව්බිමට එන ඔහු එහි තිබූ ඒ සියලුම තොරතුරුද රැගෙන එයි.

පහතරට නර්තන සාහිත්‍ය කේන්ද්‍ර කර ගනිමින් එහි නොයෙක්‌ අංග පිළිබඳව විධිමත් හා ශාස්‌ත්‍රීය විමර්ශනයකට කාරියවසම් සූරීන් යොමු වන්නේ මේ පසුබිම තුළය. ඊට අමතරව ළමා වියේ ගම්දොරදී දුටු තොවිල් පවිල්, ගැමි ඇදහීම් සොයමින් ඒවායේ සැබෑ ලක්‍ෂණ ප්‍රවේශමින් එක්‌රැස්‌ කළ ඔව්හු පසු කලක ඒ ක්‍ෂෙත්‍රයට අදාළ ග්‍රන්ථ රාශියක්‌ එළිදක්‌වති. ශ්‍රී ලංකාවේ ගැමි ඇදහිලි, ශාන්ති කර්ම, දෙවිවරුන්, යකුන් පිළිබඳ විශ්වාස ඔහුගේ විමසුමට ලක්‌වෙයි.

මහාචාර්ය කාරියවසම් සූරීහු මෙරටේ නර්තන කලා සංස්‌කෘතිය තුළ සුවිශිෂ්ට ගෞරවයකටද බුහුමනකටද පාත්‍ර වන්නාහු ඒ සියලු ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක්‌ වශයෙනි. සැබැවින්ම ඒ සඳහා ඔවුන් විසින් ඉටු කරන ලද ගරු සේවය අප්‍රමාණය. අද දවසේ ඒ ක්‌ෂේත්‍රයන් පිළිබඳව හැදෑරීම් කරන සියලු විද්වත්හුද සිසුහුද ඔවුන්ට ණයගැති නොවෙත්ද? මේ ග්‍රන්ථ මාලාව තුළින් විහිදෙන ශාස්‌ත්‍රීය ආලෝක ධාරාව කෙබඳුද?

මහාචාර්ය කාරියවසම් සූරීහු මේ වන විට දෙසැත්තෑ විය සපුරා සිටිති. සිය ගිලන් කය අදිටන් සිතින් මැඬගෙන සිංහල නාට්‍ය කලාවේ ඉතිහාසය නම්වූ අගනා ග්‍රන්ථයක්‌ ලියා නිම කිරීමට ඔහු සමත් වීම කෙබඳු භාග්‍යයක්‌ද? කාරියවසම් සූරීන් ජීවත් වන්නේ කොළඹට නුදුරු නුගේගොඩ නම් උප නගරාසන්නයේය. ඇතැම් සැඳෑවක මම ඔහු හමුවීමට යන්නෙමි. ඒ සමාගම මට අපූර්ව ආශ්වාදයකි. ඔවුන්ගේ සකල අධ්‍යාත්මය උතුරා සුවඳ දෙන්නේ සිංහල සංස්‌කෘතියේ ආඪ්‍ය ලකුණුවලින් යෑයිද මම සිතමි.

මේ කුඩා දිවයිනට දෙවියන් විසින් පිරිනමන ලද පඬුරු සේ ගිණිය හැකි විරල ගණයේ විද්වත්හුද කලාකරුවෝද සිටිති. ඒ බොහෝ දෙනෙක්‌ විසින් ජාතියට කරන ලද මෙහෙවරද බොහෝය. එහෙත් ඔවුන්ට චාම් සරල ජීවිත විනා සිටුවර පැවතුම් නොවීය. ධන, ධාන්‍ය, වස්‌තු භෝග මෙන්ම තුමුල මාළිගා හා යාන වාහනද පරිවාර වෙනත් සම්පත්ද නොවීය. කාරියවසම් මහාචාර්ය තුමන්ගේ ජීවන චර්යාව ද එයයි. ඔව්හු මේ මොහොතේත් වීර්යෙන් හා ධෛර්යෙන් යුතුව සාහිත්‍ය හා ශාස්‌ත්‍රීය සේවයෙහි නිරතව සිටිති. කිසිදු කායික දුබලතාවක්‌ ඔහු කෙරෙන් නොපෙනේ. වරක්‌ ඔවුන්ගේ ප්‍රිය බිරිඳ මා සමග කීවේ තවමත් ශාරීරික වෙහෙස නොතකමින් පෙර පරදිම පොත් පත් සමග සහජීවනයෙන් පසුවන බවට සොඳුරු නෝක්‌කාඩුවකි.

එහි කිසිදු අතිශයෝක්‌තියක්‌ නැත. හේ තමන් වෙත එන සිසු මානවක මානවිකාවන්ට මෙන්ම සිය මිත්‍ර සමාගම්වලටද අභිරුචියෙන් සංග්‍රහ කරති. නොයෙක්‌ ශාස්‌ත්‍රීය කරුණුවලින් ඔවුන් පිනවති. ශාස්‌ත්‍ර ලෝකය විචිත්‍ර කළා වූද එය නන් අයුරින් ආඪ්‍ය කළා වූද විද්වතකුගේ විලාසයම ඔහු කෙරෙන් පළවෙයි. මගේ සිහියට නැගෙන්නේ ව්‍යාසකාරයේ එන අගනා සුභාෂිතයකි.

ශාස්‌ත්‍ර කාව්‍ය විනෝදෙන

කාලොගච්ඡති - ධීමතාම්

ව්‍යසනෙන මූර්ඛාණං

නිද්‍රයා කලහෙනවා

නුවණැත්තෝ ශාස්‌ත්‍ර කාව්‍ය හා නාටක විනෝදයෙන් කාලය ගෙවති. මුග්ධයෝ දූ කෙළිමින්ද දවස පුරා නිදමින්ද නොඑසේ නම් කළහ කරමින්ද කාලය ගෙවති.

එහෙයින් මෙවන් සුධීමතුන්ට ජීවිත විඩාවන් නොමැත. ලෝක ස්‌වභාවයද මිනිස්‌ ස්‌වභාවයද ඔව්හු ඉඳුරා දනිති. තමන් විසින් දල්වන ලද ශාස්‌ත්‍රාලෝකය නොනිවී නොසිඳී පවත්නා බවද ඔව්හු දනිති.

තිස්‌ස කාරියවසම් මහාචාර්යතුමනි, ඔබ විසින් දල්වන ලද ශාස්‌ත්‍ර ප්‍රදීප ලෝකයෙන් මතු මතුව බිහිවන විද්‍යාර්ථින්ටද වෙනත් විද්වතුන්ටද නිර්බාධිතව ඒ මඟෙහි ගමන් කිරීමේ භාග්‍ය උදාවනු ඇත. ඔවුන්ගේ සියලු ශාස්‌ත්‍රීය කුහුල් සංසිඳවා ගැනීමටද එයින් අනුබල අනුග්‍රහ ලැබෙනු ඇත. ඒ උතුම් මෙහෙවර උදෙසා ඔබට පිදෙන වනපස මලක්‌ සේ මගේ මේ දිළිඳු ප්‍රශංසනය පිළිගනු මැනවි. ඔබට "සු දීඝායු කො භව" යනුවෙන් පතමින්ම මේ අසම්පූර්ණ සටහන සමාප්ත කරමි.

- ගාසු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.