සිව්වැනි ඊළාම් යුද්ධයේදී කයිට්‌ස්‌ බේරාගත්තේ අපි
අද්මිරාල් වසන්ත කරන්නාගොඩ
'අධිෂ්ඨානය' එළිදක්‌වමින් කියයි


සිය, වසර තිස්‌හයක නාවික ජීවිතයේදී බුද්ධිය හා කාර්යක්‍ෂමතාව එක්‌ කර ගත් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රී ලංකාව එදා මෙදා තුර බිහි කරන ලද විශිෂ්ටතම නාවික හමුදාපතිවරයා වීමේ භාග්‍යය ලබා ගත්තේය. සක්‍රීය නාවික හමුදා සේවයේදී අද්මිරාල් තනතුර හිමි කර ගන්නට තරමේ විසල් මෙහෙයක්‌ ඔහු සිය ජාතියට ඉටු කළේය. ඔහු විසින් සිය නාවික මතක අවදි කර රචනා කරන ලද ග්‍රන්ථය 'අධිෂ්ඨානය' පසුගියදා නිකුත් විය. එය හුදෙක්‌ අද්මිරාල් කරන්නාගොඩගේ මතකයක්‌ පමණක්‌ නොව, ශ්‍රී ලංකාවේ නූතන වංශ කතාවේ පරිච්ඡේදයක්‌ ද වෙයි. එහි එන ඇතැම් කරුණු ප්‍රසිද්ධියට පත් වන්නේ මුල් වරටය.

සිය පොතට ලැබෙන ප්‍රතිචාර හා වර්තමානයේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ඉක්‌මනින්ම ජපානයට යළිත් යැමට තිබෙන නිසාත්, අද්මිරාල් කරන්නාගොඩගේ කාලසටහන බොහෝ කාර්යබහුල වී තිබුණි.

එසේ තිබියදීත් සිය ග්‍රන්ථය ගැන විමසීම සඳහා 'දිවයින' ට අවස්‌ථාවක්‌ ලබා දුන්නේය.

අද්මිරාල් කරන්නාගොඩ නාවික හමුදාපති ධුරය හොබවන කාලයේදී එවකට යුද හමුදාපති ලෙස සේවය කරන ලද සරත් ෆොන්සේකා විසින් හමුදා කුමන්ත්‍රණයක්‌ සඳහා සැරසුණු බව මෙම ග්‍රන්ථය හෙළිකරයි. මේ, ඒ ගැන ඔහුගේ කතාවයි.

"මේක යුද හමුදාවට අවශ්‍ය වූ දෙයක්‌ නෙමෙයි. යුද හමුදාවට අවශ්‍ය වී තිබුණේ එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීමට විතරයි. මේක සරත් ෆොන්සේකාට අවශ්‍ය වී තිබුණු දෙයක්‌. එයා හමුදාපති වුණාට පස්‌සේ එයාගේ අවශ්‍යතාව වුණේ මේ රටේ බලය ගන්න. හමුදා තුනම එකතු වුණා නම් ඒ වගේ දේවල් කරන්න පුළුවන්නේ.

මේ නිසා එයා උත්සාහ කළා අනිත් හමුදාවන් යට කර ගන්න. ඒක කරගෙන හමුදාවට අණ දීලා රටේ බලය ගන්න ඔහුට වුවමනාවක්‌ තිබ්බා. ඒකට ට්‍රයල් එකක්‌ කළා. ඒ ගැන තමයි මම මේ පොතෙන් මුල් වරට හෙළිකරන්නේ.

එදා 2008 පෙබරවාරි 18 වැනිදා මමත්, ආරක්‍ෂක ලේකම්තුමාත් ඉන්දියාවේ නාවික හමුදාපතිතුමාගේ ආරාධනයකින් නවදිල්ලි නුවරට ගිහිල්ලා හිටියා. උතුරේ නාවික ආඥාපතිවරයාත් රටින් පිට නාවික සම්මන්ත්‍රණයකට ගිහිල්ලා තිබුණා. මේ සියලු දේ බලලා තමයි සරත් ෆොන්සේකා මේ වැඩේ කරන්න හදන්නේ.

යාපනේ දූපත් ටික ඔක්‌කොම නාවික හමුදා පාලනයේ තමයි තිබුණේ. 1998 ඉඳලා යාපනේ දුපත් ආරක්‍ෂා කරගෙන ඒවායේ කඳවුරු පිහිටුවා ගෙන හිටියේ අපියි. 2006 අගෝස්‌තු පළමුවැනිදා හතරවැනි ඊළාම් යුද්ධය පටන් ගත්තේ, එල්.ටී.ටී.ඊ.ය විසින්, මුහමලේ ආරක්‍ෂක වළල්ලට හා කයිට්‌ස්‌ දූපතට එකවර ප්‍රහාර එල්ල කරමිනුයි. එතැනදී නාවික හමුදාවට එල්.ටී.ටී.ඊ.ය පලවා හරින්න පුළුවන් වුණා. ආරක්‍ෂක ලේකම්තුමාගේ අණ කිරීම මත යුද හමුදාවේ කොමාන්ඩෝ බළ ඇණියකුත් අපේ සහායට ආවා. ඒ අය ආපු එක අපේ අයට ලොකු ශක්‌තියක්‌ වුණා. ඒත් ඒ අය එනකොට නාවික හමුදාව එල්ටීටීඊ ය පලවා හැරලයි තිබ්බේ. ඒ එල්ටීටීඊ එක ප්‍රබලව ඉන්න වෙලාවකයි.

මේ සිද්ධිය වෙනකොට එල්ටීටීඊ එක හොඳටම වැටිලයි තිබුණේ. සරත් ෆොන්සේකා බැලුවේ මේ වෙලාවේදී තමන්ගේ වැඩේ කරගන්නයි. මම නවදිල්ලියේ හිටිය හෝටලේමයි ආරක්‍ෂක ලේකම්තුමාත් හිටියේ. මට උතුරේ නියෝජ්‍ය ආඥාපති වෙලා හිටිය කොමදෝරු රොහාන් අමරසිංහ කතා කළා. දැන් එයා රියර් අද්මිරාල්. එදා දහවල් 2.00 ට විතර කොමදෝරු අමරසිංහ මට කතා කළා. කයිට්‌ස්‌ දූපතේ නාවික හමුදාව පාලනය කරන ප්‍රදේශය කිසිම පෙර දැනුම් දීමකින් තොරව එදාම යුද හමුදාව විසින් භාර ගන්නට යන බව ඔහු මට දැනුම් දුන්නා.

ඒක ආරංචි වුණ ගමන්ම මම කළේ ඒකාබද්ධ මාණ්‌ඩලික ප්‍රධානි ඩොනල්ඩ් පෙරේරාට කතා කරපු එකයි. නමුත් එවැනි නියෝගයක්‌ ඔහු නිකුත් කර නැති බව ඔහු මට කිව්වා."

අද්මිරාල් කරන්නාගොඩ හෙළිකරන කතාවේ ඉතිරි කොටස ඔහුගේ ග්‍රන්ථයෙන් රසවත් ලෙස මෙසේ විස්‌තර කොට තිබේ.

2006 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ ය ශක්‌තිමත් ව සිටි අවධියේදී පවා ඔවුනට ආක්‍රමණය කිරීමට නොහැකි වූ කයිට්‌ස්‌ දූපත, 2008 ඔවුන් ඉතා දුර්වල වී පසු බසිමින්, ඔවුන්ගෙන් ගිලිහෙන වන්නි ප්‍රදේශය බේරා ගැනීමේ සටනක නිරත වී සිටින අවස්‌ථාවක, මෙසේ කයිට්‌ස්‌ දූපත ආක්‍රමණය කිරීමට පැමිණේ යෑයි බුද්ධි තොරතුරු ඇති බව පවසමින් වැරදි චිත්‍රයක්‌ මවා පා නාවික හමුදාව බලෙන් එලවා දැමීමට ගන්නා උත්සාහය ඉමහත් සැකයට තුඩු දෙන්නක්‌ විය. මෙවන් දෙයකට ෆොන්සේකාට ඉඩ දිය නොහැක. එසේ වුවහොත් ඊළඟ වතාවේ ඊට වඩා ලොකු දෙයක්‌ කිරීමට ඔහු ක්‍රියා කරනු ඇත. මෙය එවැන්නකට පෙරහුරුවක්‌ ද විය හැක.

මම නැවතත් කොමදෝරු අමරසිංහට කතා කළෙමි.

"රොහාන්, කොයි විදිහකින්වත් යුද හමුදාවට කයිට්‌ස්‌වලට ඇතුළුවෙන්න දෙන්න එපා. JOH එකෙන් එහෙම ඕඩර් එකක්‌ දීලා නැහැ. ඒක බ්‍රිගේඩියර් මාර්ක්‌ස්‌ටත් කියන්න .ආමි කොමාන්ඩර් මේ කරන්න හදන දේ සම්පූර්ණයෙන් වැරදියි."

"සර්, මම බ්‍රිගේඩියර් මාර්ක්‌ස්‌ට ඒ බව කිව්වා. එයා ඒක පිළිගත්තත් එයා කියනවා ආමි කොමාන්ඩර් මේක කොහොම හරි කරන්න කිව්වා කියලා."

"එයාට කියන්න කයිට්‌ස්‌වලට බලපාන්නේ නේවි කොමාන්ඩර්ගේ ඕඩර්ස්‌ නිසා ඒකට එකඟ වෙන්න බැහැ කියන්න. කයිට්‌ස්‌වලට එන පන්නෙයි කෝස්‌වේ (Causeway) එකේ වාහන එන්න බැරි වෙන්න බැරියර්ස්‌ දාන්න."

"සර් මම දැනටමත් බැරියර්ස්‌ දාලා තියෙන්නේ. ඒත් ආමි එක යුද ටැංකි ගේනවා කියලා කියනවා.

"එහෙම වුණොත් ඒ ගොල්ලන්ට කියන්න අපිට ඒවාට පහර දෙන්න සිද්ධ වෙනවා කියලා. අපේ කට්‌ටිය ලෑස්‌ති කරන්න. RPG කණ්‌ඩායම් පුළුවන් තරම් කෝස්‌ වේ දෙපැත්තේ දාන්න. කෝස්‌වේ එකෙන් කයිට්‌ස්‌ ඇතුළට එන්න උත්සාහ කළොත් ගහන්න. අපේ ඒරියා එකේ ෆොන්සේකාට ඕන ඕන දේවල් කරන්න ඉඩ දෙන්න බැහැ."

"රොජර් සර් අයි විල් අරේන්- ද ඩිෆෙන්ඩ්සස්‌ (මම ආරක්‍ෂා කටයුතු සූදානම් කරන්නම්) සර් මේ වැඩේට බ්‍රිගේඩියර් මාර්ක්‌සුත් සම්පූර්ණයෙන් විරුද්ධයි. එයා කියනවා අපේම හමුදාවකට විරුද්ධව කොහොමද එයා යුද ටැංකි මෙහෙයවන්නේ කියල.

නමුත් එයාගේ හමුදාපතිගේ අණට කීකරු වෙන්න සිද්ධ වෙනවා කියලා එයා කියනවා. එයා තවදුරටත් කියනවා ඉහළට කියල මේක පුළුවන් තරම් ඉක්‌මනට නවත්වන්න කියලා."

"රොහාන් ඔබ RPG පොයින්ට්‌ ටික කඩිනමින් සූදානම් කරන්න. මම ඉහළට මේ බව කියන්නම්. බ්‍රිගේඩියර් මාර්ක්‌ස්‌ටත් අප ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම් දෙන්න."

"වෙරි වෙල් සර් අයි. විල් ඩූ එකොර්ඩින්ග්ලි" (මම උපදෙස්‌ අනුව ක්‍රියා කරන්නම්.)

බ්‍රිගේඩියර් මාර්ක්‌ස්‌ දක්‍ෂ සහ හොඳ කල්පනාවක්‌ තියෙන නිලධාරියකු ලෙස මම දැන සිටියෙමි. ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්තුමා සහ මා සිටියේ නවදිල්ලියේ එකම හෝටලයකය. මම ඔහු වෙත ගොස්‌ සිදුවේගෙන යන දේ පැහැදිලි කළෙමි.

"සර් පොඩි ප්‍රශ්නයක්‌ ඇතිවෙලා තියෙනවා."

"මොකක්‌ද? L.T.T.E. ඇටෑක්‌ එකක්‌ද?"

"නැහැ සර්, සරත් ෆොන්සේකා කයිට්‌ස්‌වල කොටසක්‌ එයාගේ පාලනයට ගන්න හදනවා. මම CDS ගෙන් මේ ගැන විමසුවා. CDS ඒ පිළිබඳව කිසි දෙයක්‌ දන්නේ නැහැ. සරත් කියලා තියෙනවා අපි ආමි එකට එන්න ඉඩ නොදුන්නොත් ටෑන්ක්‌ස්‌ දාගෙන එන්න කියලා."

MOD එකෙන් හරි JOH එකෙන් හරි අවසර නැතිව එයාට එහෙම කරන්න බැහැ. වසන්ත ඔයා දැන්මම ලලිත්ට කියන්න සරත්ට කතා කරලා මේක දැන්මම නවත්තන්න කියලා."

"තෑන්ක්‌ යූ සර්. අයි විල් ඩූ දැට්‌ සර්" (ස්‌තුතියි සර්. මම එසේ කරන්නම්.)

මම වහාම ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අමතා ඇතිවෙමින් යන සිද්ධිය පැහැදිලි කළෙමි. ඔහු වහාම සරත් ෆොන්සේකාට අවශ්‍ය උපදෙස්‌ දෙන බව සනාථ කළේය. ඊට විනාඩි 15 ක්‌ පමණ ගත වූ විට තත්ත්වය වෙනස්‌ විය. යුද හමුදා යුද ටැංකි ආපසු හරවා ගෙන ගියේය.

යුද හමුදාපතිට ලලිත් වීරතුංග මහතා වහාම එම ක්‍රියාවලිය නවත්වන ලෙස උපදෙස්‌ දෙන ලදුව ෆොන්සේකාගේ එම උත්සාහය නැවතුණි. නමුත් ඔහුට අවශ්‍ය දේ ඔහු දැන ගත්තේය. එනම් රට ඇල්ලීමට ඔහු කුමන්ත්‍රණය කරන්නේ නම් නාවික හමුදාව සිටින තෙක්‌ එය සිහිනයක්‌ පමණක්‌ බව ය.

මෙම සිද්ධියෙන් පසුව ඔහු මා නාවික හමුදාපති තනතුරෙන් ඉවත් කිරීමට නොයෙකුත් දේ කරන්නට විය. එක්‌තරා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ සහාය ද ඔහු මේ සඳහා ලබාගෙන තිබුණු බව මම පසුව දැන ගතිමි."

අධිෂ්ඨානය ග්‍රන්ථයේදී අද්මිරාල් කරන්නාගොඩ කරන මේ හෙළිදරව් කිරීම ගැන ඔහු සතුව විචාරයක්‌ ද තිබේ.

"ඒ වෙලාවෙ මමත් ආරක්‍ෂක ලේකම්තුමාත් සිටියේ පිටරට. ඒ වෙලාව බලලා ෆොන්සේකා තමන්ගේ සැලසුම සඳහා ට්‍රයල් රන් එකක්‌ දෙන්නයි හැදුවේ. එයා කුමන්ත්‍රණයකට ගියොත් නේවි එක මොකක්‌ද කරන්නේ කියන එකයි එයාට දැනගන්න වුවමනා වුණේ. මාත් එක්‌ක හොඳින් බැරි වග එයා දන්නවා. බලෙන් ගියොත් මම කරබාගෙන අයින්වෙයිද කියල එයා බැලුවා.

මම එයාට පෙන්නුවේ, නැහැ මම ඒක කරන්න දෙන්නේ නැහැ කියලා. බැරි වෙලාවත් මේ වැඩේ වුණා නම් යුද හමුදාවයි නාවික හමුදාවයි වෙන් කරන්න ඉඩ තිබුණා.

මේ තත්ත්වය කයිට්‌ස්‌ දූපතෙන් එහාට ගියේ නැද්ද? යුද හමුදාව හා නාවික හමුදාව අතර ගැටුම පසෙක තිබියදී හමුදා කුමන්ත්‍රණයක්‌ සඳහා කොළඹදී සූදානමක්‌ තිබුණද යන්න අපි අද්මිරාල් කරන්නාගොඩගෙන් විමසුවෙමු.

ඊට පස්‌සේ තත්ත්වය දන්නා නිසා නාවික හමුදාවේ විශේෂ කාර්ය බළකාය යොදාගෙන මම කොළඹ ආරක්‍ෂාවත් තර කෙරුවා. නාවික හමුදා මූලස්‌ථානය හා ජනාධිපති මන්දිරය ආවරණය වන ආකාරයට මම විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ හැදුවා. ඔහු යුද හමුදාව ලක්‍ෂ තුනකට වැඩි කරන්න හැදුවා. යුද්ධය තව ටිකක්‌ දිගට කරගෙන යන්න එයාට ඕනෑ වුණා. ඒ අතරේදී තමන්ට අවශ්‍ය අය ස්‌ථාන ගත කරන්නයි ඔහු සැලසුම් කළේ.

රටට අනාවරණය නොවූ එක්‌ සිදුවීමක්‌ අද්මිරාල් කරන්නාගොඩ එසේ හෙළි කළේය.

එල්.ටී.ටී.ඊ. ය සමඟ යුද වදින විට සිදු වූ මෙවැනි අනාවරණය නොවූ තවත් කතා ගණනාවක්‌ අද්මිරාල් කරන්නාගොඩ විසින් සිය ග්‍රන්ථයට එකතු කර ඇත.

මනෝඡ් අබයදීර
ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.