ජාතික සමගියේ අනාගත මුද්‍රාව රැඳුණු සඳ හිරු සෑය



විවිධ මූලාශ්‍රගත තොරතුරුවලට අනුව මෙරට ඉතිහාසය දුරාතීතය දක්‌වා ගමන් කරයි. ප්‍රාග් බෞද්ධ යුගයේ සිට මෙරට ඉදි කළ ස්‌තූප කීපයක්‌ හා සම්බන්ධ මූලාශ්‍රවල කරුණු දැක්‌වෙන අතර අදින් වසර දෙදහස්‌ ගණනකට පෙර සිදු වූ මහින්දාගමනයෙන් පසු ක්‍රමිකව විකාශය වෙමින් ස්‌තූප විශාල සංඛ්‍යාවක්‌ ශ්‍රී ලංකාව පුරා ගොඩනැගුණු බව මනාව පැහැදිලි වන්නේය.

ස්‌තූපයක්‌ ඉදිකිරීම තුළින් අපේක්‍ෂා කරන ආගමික අරමුණු අතර "ශාරීරික ධාතු වන්දනාවට" මූලිකත්වය ලබා දීම ප්‍රමුඛ වෙයි. බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කොට ඉදිකරන ලද ස්‌තූප හෙවත් චෛත්‍ය පිළිබඳව මෙරට ජනතාව අතර විවිධාකාර වූ විශ්වාසයන්ද පවතී.

එසේම බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් කොට ඉදි කරන ලද ථූපාරාම ස්‌තූපයේ සිට විවිධ ධාතූන් වහන්සේ තැන්පත් කොට දිවයින පුරා දුරාතීතයේ සිට ස්‌තූප ඉදි කළ බව බෞද්ධ පොත්වල, වංශ කථාවල සහ ජනප්‍රවාදයෙහි සාක්‍ෂි දරයි.

එම අතීත ශ්‍රී විභූතිය නැවත සිහි ගන්වමින් වසර දෙදහස්‌ ගණනකට පසු මෑත ඉතිහාසයේ සිරිලක්‌ දෙරණේ අභිමානය සහ උරුමය රැකදුන් අභීත රණවිරුවන්ගේ දහදිය මහන්සියෙන් අනුරාධපුර පූජා භූමියේ ජයශ්‍රී මහා බෝධියට නුදුරුව කුරුණෑගල හන්දියේ පිහිටි මනස්‌කාන්ත පරිසරයකින් හෙබි භූමි භාගයක ස්‌වර්ණමාලී මහා සෑරදුන්ට පමණක්‌ දෙවැනි වූ මහා ස්‌තූපය ඉදිවෙමින් පවතී.

ඒ සඳහිරු සෑයයි. එහි ගර්භයේ බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, රහතන් වහන්සේලාගේ ධාතූ ඇතුළු රන්, රිදී, මුතු, මැණික්‌ සහ ඇත්දළ සමග මහානර්ඝ නිධන් වස්‌තු තැන්පත් කිරීමේ අසිරිමත් පිංකමකට දායක වීමට පසුගිය 23 පෙරවරුවේ දෙස්‌ විදෙස්‌ බොදු නුවන්ට අවස්‌ථාව උදා විය.

එවන් සිත් සනහාලූ උත්තුංග පිංකමකට දායකත්වය ලබාදී, එය සියෑසින් දැක ගැනීමට ලැබීම පූරුවේ වාසනාවක්‌ යෑයි ඒ දෙස බලා හිඳි දස දහස්‌ සංඛ්‍යාත බෞද්ධ ජනතාව පැවසුවේ සතුටු කඳුළු වගුරුවමිනි.

යම් හෙයකින් මෙවැනි ආශ්චර්යවත් පිංකමක අසිරිය කෙනකු හට තම ජීවිත කාලය තුළදීම දකින්නට වරම් නොලැබෙන්නේය. එහෙත් වර්තමානයේ මෙරට පමණක්‌ නොව විදෙස්‌ ගතව ජීවත් වන පුණ්‍යවන්ත බොදුනුවන්ට ඒ අසිරිමත් පිංකම සියෑසින් දැක ගැනීමට ලැබීමත් සැබැවින්ම වාසනාවකි.

මෙම පිංකම රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආරාධනයකට අනුව ෙත්‍රෙනිකායික මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පන්දහසකට අධික මහා සංඝරත්නයෙහි සෙත් පිරිත් ස-Cධායනා ආශිර්වාද මධ්‍යයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් දඹ රත්තරනින් නිර්මාණය කළ කරඬුවක්‌ තුළ තැන්පත් කර තිබූ බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ රන් පත් ඉරු, රත්රන් බෝධීන් වහන්සේ නමක්‌, රිදී, මුතු මැණික්‌ ආදී මහානර්ඝ නිධන් වස්‌තු සම්භාරයක්‌ සඳහිරු සෑ ගර්භයේ තැන්පත් කෙරිණි.

මේ අතර මහා නාහිමිවරුන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා පොලිස්‌පතිවරයා ඇතුළු බැතිමතුන් හටද නිධන් වස්‌තු තැන්පත් කිරීමට මෙහිදී අවස්‌ථාව උදා වූහ.

තිස්‌ වසරක්‌ පුරා මුළු මහත් ශ්‍රී ලංකාවම වෙලා ගෙන සිටි කොටි ත්‍රස්‌තවාදීන්ගේ බෙදුම්වාදී සටන අවසන් කිරීමට සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබාදුන් අභීත නායකත්වයත්, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බළකාය තම දිවි දෙවෙනි කොට රැකගත් ජාතියේ නිදහස සංකේතවත් කිරීමත්, නිදහස්‌ සහ ස්‌වෛරී රටට උදා වූ සාමය සදාකාලික අර්ථවත් සාමයක්‌ බවට පත් කිරීමත්, වීරෝදාර රණවිරුවන්ගේ දහදිය, ලෙයින් තෙත් කළ අති පරම වූ කැප කිරීම් උදෙසා සැමරුමක්‌ සනිටුහන් කිරීමත්, අරමුණු කර ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංකල්පනාවකට අනුව රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ නව වෙනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ දෑතින් සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු ඇරඹුණේ 2010 වසරේ නොවැම්බර් මස 23 වැනිදාය.

අතීත රජවරු මෙරට රාජ්‍ය පාලනය කළ වකවානුවල ඔවුන් විසින් විවිධ හේතූන් මත සිහිවටන ලෙස වෙහෙර විහාරස්‌ථාන කර වූ අතර, මෑත ඉතිහාසයේ මෙරට බලවත් ව්‍යසනයක්‌ වූ කුරිරු බෙදුම්වාදී කොටි ත්‍රස්‌තවාදය සමූල ඝාතනය කිරීම සනිටුහන් කරමින් ඉදි කෙරෙන සඳහිරු සෑයේ ඉදි කිරීම් කටයුතු 2016 වසර අවසන් වීමට පෙර නිම කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ නව වෙනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ බලවත් අපේක්‍ෂාවයි.

සඳහිරු සෑයේ විශාලත්වය සලපතල මළුවේ සිට උසින් අඩි 282.6 ක්‌ වන අතර එහි විශ්කම්භය අඩි 255 ක්‌ වේ.

පොළොව අභ්‍යන්තරයේ ස්‌වාභාවිකව පිහිටි ගල් තලාව දක්‌වා අඩි හතළිස්‌ පහක්‌ පමණ ප්‍රමාණයක පස්‌ සම්පූර්ණයෙන්ම ඉවත් කොට, එකී ගල් තලාව මත අඟල් 6ං9 ප්‍රමාණයේ කළුගල් කියුබ් 6464 ක තට්‌ටුවක්‌ අතුරා එය මතද ඒ. බී. සී. ගල් මිශ්‍රණය කියුබ් 5401 සමග ජලය යොදා, ටොන් විස්‌සක්‌ බරකින් යුත් ගල් රෝලකින් තලා පොළොව මතුපිට දක්‌වා කෘත්‍රිමව කළුගලක්‌ නිර්මාණය කර ඒ මත ගඩොල් ඇතිරීමෙන් පසු සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇත.

මේ වන විට පොළොව මට්‌ටමේ සිට අඩි හතළිහක්‌ දක්‌වා එහි ඉදිකිරීම් නිම කර තිබේ.

ශ්‍රී ලාංකේය ඉංජිනේරු තාක්‍ෂණය උපයෝගි කර ගනිමින් ගොඩනැගෙන සඳහිරු සෑයේ ඉදිකිරීම්වලදී ශ්‍රී ලංකා යුද හමුදාවේ නව වෙනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවෙන්ද උපදේශකත්වය හා සහාය ලබා දෙයි.

සඳහිරු සෑයේ සම්පුර්ණ ඉදිකිරීම් නිම කිරීමට අඟල් 16ං8ං2 ප්‍රමාණයේ නියමිත ප්‍රමිතියකට යටත් වූ ගඩොල් හැටහය ලක්‍ෂයක්‌ පමණ අවශ්‍ය වේ. එකී ගඩොල් සපයා ගැනීමට ශ්‍රී ලංකා පිඟන් සංස්‌ථාවට අයත් අනුරාධපුර ගල්කඩවල, ඇලයා පත්තුව, මහියංගණය, අම්පාර, ඇඹිලිපිටිය, නාරම්වල, බිංගිරිය, යටියන, හා වෑඋඩ යන ප්‍රදේශවල පිහිටි උළු හා ගඩොල් කර්මාන්ත ශාලාවලදී ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්‍ෂක බළකායේ රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් ගඩොල් නිෂ්පාදනය සිදු කෙරේ.

සඳහිරු සෑය ඉදි කොට අවසන් කිරීමට අවැසි සම්පූර්ණ වැලි කියුබ් ප්‍රමාණය 12,308 කි.

එම වැලි ප්‍රමාණය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ යුද හමුදාව විසින් සැපයීම සිදු කරනු ලබන අතර ගුවන් හමුදාව ඊට අවැසි කළුගල් සැපයීම සිදු කරනු ලබයි.

මේ අතර සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා අළුහුණු අවශ්‍යතාව සපුරා ගැනීමට අති විශාල මුදලක්‌ වැය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවට සිදුව ඇති බැවින්, මාතලේ ප්‍රදේශයෙන් හිරිගල් සපයා ගැනීමෙන් අනතුරුව ඒවා යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් අනුරාධපුර ඇලයාපත්තුව කර්මාන්ත ශාලාවේදී අළුහුණු බවට නිෂ්පාදනය කෙරේ.

එලෙසම එහි ඉදිකිරීම් කටයුතු නිම කිරීම සඳහා වන සිමෙන්ති අවශ්‍යතාව කිලෝග්‍රෑම් පනහක ප්‍රමාණයේ උර 150,000 ක්‌ වේ. ඒ අනුව දැනටමත් සිමෙන්ති උර 57000 ක්‌ සහ අළුහුණු කිලෝ ග්‍රෑම් ලක්‍ෂ 29 ක්‌ වැලි කියුබ් 6000 ක්‌ චෛත්‍ය ගර්භය දක්‌වා ඉදිකිරීමට යොදා ගෙන තිබේ.

සිය දිවි දෙවැනි කොට පළමුව මව්බිම යෑයි සිත් හි තබා ගෙන කුරිරු කොටි ත්‍රස්‌තවාදය සිරිලක්‌ ධරණීතලයෙන් අතුගා ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්‌ඩතාවය, ස්‌වෛරීභාවය, ස්‌වාධීනත්වය සුරක්‍ෂා කිරීමට කැප වූ වීරෝදාර උත්තුංග මිනිස්‌ සමූහයාගේ එකමුතුවෙන් මෙලෙස ගඩොලින් ගඩොල අහස කරා නැගෙන්නේ නිදහසේ හමායන සිංහල, දෙමළ, හා මුස්‌ලිම් යන ජාතීන් නියෝජනය කරන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවන සුළඟට මුසු වූ සම්බුද්ධ ආශිර්වාදයේ පණිවිඩය රැගෙන එන ජාතියේ අනාගත මුද්‍රdවයි.

සඳහිරු සෑය ලෙස මේ ගොඩනැගෙන්නේ අභිමානවත් ජාතියක ඓතිහාසික ශිෂ්ටාචාරයේ නොබිඳුණු අභිමානය හා පුණ්‍යවන්ත භූමියක අධිෂ්ඨාන පාරමිතාවක ප්‍රතිමූර්තියයි. සඳහිරු සෑය ලෙස මේ ගොඩනැගෙන්නේ ලෙයින් ලෙය බැඳුණු ඒකාත්මික සබැඳියාවක මානව ප්‍රේමයක ප්‍රකාශනයයි.

එහි හතරැස්‌ කොටුව, කොත්කැරැල්ල, දක්‌වා ලහි ලහියේ ඉදිවන තෙක්‌ අපි බලා හිඳිමු. එය ශ්‍රී ලාංකික සියලුම දනන්ගේද පැතුම වනු ඇත.

මේ අනුව සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා දෙස්‌ විදෙස්‌ සියලුම දනන් හට මුදලින් ශ්‍රමයෙන් සහ ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කිරීමෙන් දායක වීමට දැන් අවස්‌ථාව උදා වී තිබේ.

වර්තමානයේ මෙම මිහිතලයේ ජීවත්වන ඔබට මට යළි මෙවන් වූ මහානර්ඝ පුණ්‍ය ක්‍රියාවකට අවකාශ නොලැබෙනු ඇත. ඒ සඳහා මෙය හොඳම අවස්‌ථාවද වනු ඇත.

තවත් දෙවසරකින් ඉදිකිරීම් කටයුතු අවසන් වන සඳහිරු කිරණින් ඒකාලෝක වන "සඳහිරු සෑය" ගර්භයෙන් ඔබ්බට සතරැස්‌ කොටුව, කොත්කැරැල්ල දක්‌වා ඉදි වී විසි එක්‌ වන සියවසේ ජාතියේ සලකුණ වන් සඳහිරු සෑ රදුන් විරාජමානව අප නෙත් මානයේ දිස්‌වනු දැකීම අප කාගේත් පැතුමයි.

පර්සි කුරුනේරු

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.