ඩුබායි හිදී තනුජා මරා තට්‌ටු හතරේ ගොඩනැඟිල්ලෙන් පහළට දාන්න ඇති කියා සැකයි

ඇල්පිටිය - කේ. සී. විදානආරච්චි

ඕමාන් රාජ්‍යයේ දී අභිරහස්‌ ලෙස මියගිය තනුජා නිල්මිණී

පවුලේ අගහිඟකම්වලට විසඳුම් ලබා ගැනීමේ අටියෙන් රන් කහවනු සොයා මැදපෙරදිග රැකියාවට ගිය සිවුදරු මවකට පාරිශුද්ධත්වය රැකගැනීම සඳහා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමේ අනුවේදනීය පුවතක්‌ පිළිබඳව කරන්දෙණිය, ඌරගස්‌මන්හන්දිය ප්‍රදේශයෙන් "දිවයින"ට වාර්තාවේ.

ඕමාන් රාජ්‍යයේ සිවුමහල් ගොඩනැඟිල්ලකින් බිමට වැටී ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ කරන්දෙනිය, ඌරගස්‌මන්හන්දිය බෝගහවෙල ප්‍රදේශයේ පදිංචි සුදුසිංහගේ තනුජා නිල්මිණී (29) නමැති සිවුදරු මවකි.

ගමේදී දැන හඳුනාගත් සුමිත් චන්ද්‍රවංශ සමඟ ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවක්‌ මත දෙපාර්ශ්වයේ දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතිව 2001 වර්ෂයේ දී තනුජා විවාහ වී ඇත. වඩුකර්මාන්තය ජීවිකාව වශයෙන් ගෙන ගිය සුමිත්ට තනුජාගෙන් ලැබුණේ අනුපමේය සහායකි. සුමිත් - තනුජා යුවල දෙපාර්ශ්වයේ දෙමාපියන්ගේ සහයෝගයද ලබාගනිමින් සුමිත්ගේ මහගෙදරට නුදුරින් පුංචි පැලක්‌ තනාගෙන සතුටින් දිවි ගෙවා ඇත.

අනතුරුව සුමිත් - තනුජාගේ පුංචි කැදැල්ලට 2002 වර්ෂයේදී තරිඳු චන්ද්‍රවංශ නමින් පුතෙක්‌ද, 2006 වර්ෂයේදී සඳුනි මදුෂිකා නමින් දුවක්‌ද, 2011 වර්ෂයේ සඳසි මදුෂිකා යනුවෙන් දුවක්‌ද, 2012 වර්ෂයේ දී මනෙල්ක තීක්‍ෂණ නමින් පුතෙක්‌ද එක්‌ වූහ. වඩු කර්මාන්තයෙන් සිය දරු පවුල නඩත්තු කිරීමට අපහසු වූ නිසා සුමිත් වඩුකර්මාන්තයට අමතරව කුරුඳු තැලීම ද සිදුකර ඇත්තේ දැඩි ආර්ථික අපහසුතාවන්ගෙන් මිදීමටය.

එහෙත් දිනෙන් දිනම දැනුණු ආර්ථික අපහසුතාවට පිළියම් සෙවීමට තනුජා සුමිත්ගේ කැමැත්ත ලබා ගනිමින් ඌරගස්‌මන්හන්දිය ප්‍රදේශයේ විදේශ රැකියා තැරැව්කරුවකු මගින් 2009 වර්ෂයේදී කුවේට්‌ රාජ්‍යයේ ගෘහ සේවිකාවක්‌ වශයෙන් රැකියාවට ගොස්‌ ඇත්තේ කොළඹ ප්‍රදේශයේ රැකියා ඒජන්සියක්‌ මගිනි.

තනුජා විදේශ රැකියාවට ගොස්‌ මාසයක්‌ ගතවීමටත් පෙර සුමිත් අමතා පවසා ඇත්තේ තමා වැඩකරන ගෙදර දිගින් දිගටම වැඩ කළහොත් තමන්ට වැඩිකල් ජීවත්වීමට ඉඩ නොලැබෙන බවය. එය ඇසූ සුමිත් නිවසේ තිබුණු තනුජාගේ සහ දරුවන්ගේ රන්බඩුද විකුණා මුදල් ටිකක්‌ සොයාගෙන තිබේ. තවත් රුපියල් 75,000 ක්‌ පොලියට ලබාගෙන එම මුදල් ඒජන්සියට ගෙවා තනුජා නිරුපද්‍රිතව ලංකාවට ගෙන්වා ගෙන ඇත.

අනතුරුව සුමිත් - තනුජා යුවල වඩු කර්මාන්තය සහ කුරුඳු තැලීම ජීවිකාව කරගනිමින් දරුවන් සිවු දෙනා රැකබලාගෙන ඇත්තේ දෙදෙනාගේ පණට මෙන් ආදරය කර ගනිමිනි.

කොතෙක්‌ මුදල් උපයාගත්තද දරුවන් පෝෂණය කිරීමේ අභියෝගයට මුහුණදීමට සුමිත් - තනුජා යුවලට අපහසුවීම නිසා තනුජා නැවත සුමිත්ගේ අවසරය ලබාගෙන කොළඹ මරදානේ විදේශ රැකියා ඒජන්සියක්‌ මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවිකාවක්‌ වශයෙන් පිටත්ව ගොස්‌ ඇත්තේ 2014 මැයි මස 05 දාය.

අනතුරුව සුමිත් - තනුජා කැදැල්ලට කණකොකා ඇŽමේ ආකාරය පිළිබඳව සුමිත් පවසන්නේ මෙවන් කතාවකි.

ඩුබායි රාජ්‍යයේ සිට දින දෙක, තුනක්‌ තනුජා මට කෝල් කරල කිව්වේ දැනට ඒජන්සියේ ඉන්නවා. ළඟදීම ගෙදරක වැඩට යනව කියලා ඒජන්සියේ අය කිව්වා කියල. ඊට පස්‌සෙ තනුජා මට කතා කළේ නෑ. ඊට දින 2 කට පසු එයාගේ යාළුවෙක්‌ මට කතා කරල කිව්වා තනුජව ඕමාන් රාජ්‍යයට යෑව්ව කියලා. පසුගිය ඔක්‌තෝම්බර් මස 30 දා තනුජ මට ඕමාන් ඉඳලා කතා කරලා කිව්වේ ගෙදරක වැඩට දැම්මා කියලා ඒ ගෙදර හොඳයි කියලත් කිව්වා.

ඊට පසු තනුජා මට කතා කළේ නෑ. පසුගිය 14 දා ඌරගස්‌මන්හන්දිය පොලිසියේ නිලධාරියෙක්‌ ගෙදරට පැමිණ මගේ බිරිඳ තනුජා ඕමන්වලදී මියගොස්‌ ඇති බවට පොලිස්‌ පණිවුඩ කොළයක්‌ දීල ගියා,

පසුදාම මම මේ පිළිබඳව සොයා බැලීමට කොළඹ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට ගියා, එහි සේවය කළ මැඩම් මට කිව්වේ තනුජා ඕමාන්වල සේවය කළ නිවසේ තට්‌ටු 4 ක ගොඩනැඟිල්ලකින් පැන සිය දිවි හානි කරගෙන කියලයි. මගේ තනුජට සියදිවි හානි කර ගන්න කිසිම හේතුවක්‌ නෑ. එයාව මරල දාල කියල මට බලවත් සැකයක්‌ තියෙනවා. මේ පිළිබඳව නීතිමය පියවරගෙන අපේ පවුලට සාධාරණය ඉටුකර දෙන ලෙසට ජනාධිපතිතුමා ඇතුළු රජයේ වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

තනුජ මටත් දරුවන්ටත් එයාගෙ පණට වගේම ආදරෙයි. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ මැඩම් කෙනෙක්‌ මගෙන් දිවුරුම් ප්‍රකාශයකට අත්සන් ගත්තා. මම ඒ පිළිබඳව ඒ මැඩම්ගෙන් විමසූ විට ඇය පැවසුවේ තනුජාගේ මෘත ශරීරය ලංකාවට ගෙනැවිත් දෙන්න රුපියල් 3,50,000/- ක්‌ ගෙවන්න කැමතියි කියලා අත්සන් ගත්තේ.

මම දැන් අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. දරුවන් දෙදෙනෙක්‌ පාසල් යනවා. මේ සිද්ධිය ආරංචි වූ දා සිට මට රැකියාව කරන්න හොඳ මානසිකත්වයක්‌ නෑ. දරුවො දෙන්නත් පාසල් යන්නෙ නෑ. ඒ දෙන්න කන්නෙ බොන්නෙ නෑ. අඬ අඬා ඉන්නවා. අනිත් දරුවො දෙන්නට කිරිපිටි පැකට්‌ එකක්‌වත් අරගෙන දෙන්න විදියක්‌ නැතිව අපේ පවුල අන්තිම අසරණ තත්ත්වයට පත්වෙලා.

ජනාධිපතිතුමනි, විදේශ කටයුතු ඇමැතිතුමනි. අපේ අසරණකම ගැන බලලා මට මගේ බිරිඳගේ මෘත දේහය ලංකාවට ගෙන්වා දෙන්න.

මෙම ශෝචනීය සිද්ධිය මෙරට සිදුවූ පළමු සිද්ධිය නොවේ. මෙවන් සිදුවීම් සිය ගණනක්‌ රටේ විවිධ ප්‍රදේශවලින් පසුගිය කාලයේ වාර්තා වී තිබිණි. මෙවැනි අනුවේදනීය පුවත් කෙරේ විෂය භාර ඇමැතිවරයා ඇතුළු විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ නිලධාරීන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු නොවේද?


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.