දෙවියන්ගේ නාමෙට දුවා දරුවන් ටික රැක ගන්න
වස විෂ නැති ආහාර පාන ගන්න

- වෛද්‍ය - චන්න ජයසුමන

එප්පාවල - රත්න බී. ඒකනායක

විශේෂයෙන් රජරට ජනතාව දවසින් දවස ළං වන්නේ ජීවත්වීම පිළිබඳ අවදානම් අඩවියකට. එක්‌ පැත්තකින් වේගයෙන් වකුගඩු උවදුර පැතිරෙනවා. ඒ අතර විශේෂයෙන් තරුණ දියවැඩියාව නව යොවුන් වියේ සිට තරුණයන් ලුහුබැඳ යනවා. තවත් පැත්තකින් පිළිකා රෝගය වසංගතයක්‌ මෙන් පැතිර යනවා.

මේ සියලු මාරාන්තික රෝග වලට මුල වස විෂ සහිත ආහාර පාන ගැනීමයි. විශේෂයෙන් වෙළෙඳපොළේ ඇති රසකාරක හා කෘත්‍රිම ආහාරපාන මීට බලපානවා. ඒ වාගේම වස විෂ යොදන දෙමුහුන් වී වර්ග, දෙමුහුන් එළවළු වර්ග, දෙමුහුන් පලතුරු වර්ග මේ රෝග කාරක තත්ත්වයට තදින් බලපානවා.

මේ නිසා දෙවියන්ගේ නාමෙට දුවා දරුවන් ටික රැක ගන්න වස විෂ සහිත ආහාර පානවලින් වැළකී දේශීය සහලේ බත් කටක්‌ දරුවන්ට දෙන්න යෑයි දේශීය වී වර්ග ව්‍යාප්ති වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ අනුරාධපුර වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා රත්මලේ පැවැති ගොවිජන රැස්‌වීමක්‌ අමතමින් පැවැසීය.

මෙහිදී ඉතාමත් සංවේදී ලෙස ගොවි ජනතාවට කතා කළේ වෛද්‍ය චන්න ජයසුමන මහතා පෙරේදා විජයබාහු රජු චෝල ආක්‍රමණයෙන් අනුරපුර බේරා ගත්තාක්‌ මෙන් අද මාරාන්තික වකුගඩු රෝගය, තරුණ දියවැඩියාව පිළිකා රෝගය යන තුන් වැදැරුම් රෝගයන්ට එරෙහිව දැඩි සටනක්‌ කළ යුතුව ඇතැයි අවධාරණය කළේය. මෙය රජයකට පමණක්‌ තනිව කළ හැකි සටනක්‌ නොවේ යෑයි අවධාරණය කළ වෛද්‍ය චන්න ජයසුමන මහතා මේ සඳහා සිය ජීවන පැවැත්ම හා ආහාර වට්‌ටෝරුව අලුත් කර ගනිමින් සියලුම දෙනාගේ පූර්ණ කැපවීම අවශ්‍ය යෑයි සඳහන් කළේය.

තවදුරටත් කතා කළ වෛද්‍ය චන්න ජයසුමන මහතා මෙසේද පැවැසීය.

පෙරදා දියවැඩියාව පැවැතියේ වියපත් අයටයි. දැන් දැන් නව යොවුන් වියේ දරුවන්ට සහ තරුණ අයටත් ආගන්තුක දියවැඩියාවක්‌ රජරට පැතිරෙමින් පවතිනවා. අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධික දියවැඩියාව නිසා දිනකට දෙතුන් දෙනෙකුගේ කකුල් කපනවා. අපට හරි දුකයි. මේ නැතිවී යන්නේ ජාතියේ තරුණ පරපුර. රටක්‌ භාර ගන්නට සූදානම්වන තරුණ පරපුර. අපට අද ජාතියේ අනාගතය වෙනුවෙන් කඳුළු සලන්නට සිදු වී තිබෙනවා.

තවත් පැත්තකින් පිළිකාව. ඉස්‌සර පිළිකාව හැදුනේ ඉතාමත් කලාතුරකින්. දැන් දැන් හැම ගමකම වගේ පිළිකා රෝගීන් විස්‌සක්‌ තිහක්‌. විශේෂයෙන් කාන්තාවන්ට 'පයෝධර පිළිකා' හට ගැනීම උග්‍ර වී තිබෙනවා. මෙහෙම ගියොත් අපේ දුවා දරුවන්ට දිව බොජුනක්‌ බඳු මව්කිරි ටික නැතිව යයි.

තුන්වෙනුව වසර ගණනාවක සිට රජරට පැතිරෙන වකුගඩු රෝග උවදුර. රජය වකුගඩු රෝගීන්ට බෙහෙත් දෙනවා. රුපියල් තුන් දහසක මාසික ආධාරයක්‌ දෙනවා. සායන හා රෝහල් පවත්වා ගෙන යනවා. නමුත් වකුගඩු රෝගය නිවාරණය කරන්න බෑ. රෝගය පැතිරෙනවා.

රජය කොපමණ සල්ලි විසිකලත් මේ රෝග ව්‍යාප්තිය පාලනය කරන්න බෑ. මේ ආගන්තුක රෝග ඇතිවීමට හේතුකාරක ජනතාව තේරුම් අරගෙන තමන්ගේ ජීවන පැවැත්ම ඒ අනුව සකස්‌කර ගන්න ඕන.

විශේෂයෙන් රජරට පොළවට රසායනික පොහොර, වල්නාශක, කෘමිනාශක හරහා කැඩිමියම් ආසනික්‌ වැනි විෂකාරකයන් වැටීම නිසා රජරට සුපිරිසිදු පොළව දැන් කුරුවල් වෙලා. ලෙඩ වෙලා. මේ පොළොවේ සාරය උරාබීලා. පොළවේ හැදෙන දෙමුහුන්වී, දෙමුහුන් පළතුරු, දෙමුහුන් එළවළු ආදියට මේ ආසනික්‌ වැනි විෂකාරක ඇතුළුවෙලා. අතු කපා මොර කරන්නාක්‌ මෙන් වැඩි අස්‌වනු ලබන්න ගොස්‌ අපි විහින්ම අපේ පොළව විනාශ කරගෙන. දෙවියන්ගෙ නාමෙට රසායනික පොහොර, වල්නාශක, කෘමිනාශක පොළවට හැලීම දැන්වත් නවත්වන්න. අපි ආහාර ගන්නෙ ජීවත්වෙන්න. නමුත් දැන් අපි ආහාර ගන්aනෙ ලෙඩ හදාගන්න. අපි මේ ලෙඩ හදාගන්නෙ අවබෝධයක්‌ නැති කමින්. අපේම කටේ වැරැද්දෙන්.

දේශීය වී හරියටම ඖෂධයක්‌ වගේ. ආමාශගත රෝගවලට ගුණදායකයි. ශරීරයේ ඇති වස විෂ උරාගැනීමේ ශක්‌තියක්‌ දේශීය වී වල තියෙනවා. ඒ වගේමයි දේශීය නුමුහුන් එළවළු හා පලතුරු. මේවාට රසායනික පොහොර තෙල් වුවමනා නෑ. අපේ පොළවේ සරුවට වැවෙනවා. මේ නිසා දෙවියන්ගෙ නාමෙට දුවා දරුවන්ට දේශීය ආහාරපාන දෙන්න. රසායනික පොහොර, තෙල් වගාවට මුහුකරන්න එපා. රෝග නිවාරණය කරන්න කියල රජය කොතරම් සල්ලි විසිකළත් වැඩක්‌ නෑ. ජනතාව මේ කරුණු අවබෝධ කරගෙන දේශීය ආහාර පානවලට පුරුදුවන්න. රජයෙන් දේශීය බිත්තරවී නොමිළයේ දෙනවා. දිවිනැගුම හරහා දේශීය එළවළු ඇට දෙනවා. වැඩි රහට කන්න කියල කඩේ තියෙන විවිධ රසකාරක ආහාර පානවලට මුහුකරන්න එපා.

මෙම ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනට කෘෂිකර්ම නිලධාරීන් ද සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.