ඩිංග ඩිංග හිස ඔසවන ඩෙංගු

මෙම දිනවල පවතින කඩින් කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය නැවත හිස එසවීමට පටන්ගෙන තිබේ. මෙම මාසයේ ගතවූ මුල් දින 10 තුළදී පමණක්‌ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 671 දෙනකු වාර්තා වී තිබීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ.

පසුගිය දශක එකහමාරක කාලය තුළදී සෞඛ්‍ය බලධාරීන් විසින් ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා විවිධ උපක්‍රමයන් වරින් වර අත්හදා බැලුවද ඒවා සාර්ථක වී නොමැති බව ඩෙංගු රෝගය මෙරට පැතිර යන ආකාරයෙන් පෙනී යයි. විශේෂයෙන්ම ඩෙංගු සම්බන්ධව අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම, ඩෙංගු මදුරු කීටයන් විනාශ කරලීම සඳහා ධුමායනය, බී. ටී. අයි. බැක්‌ටීරියාව ඉසීම, මදුරු මර්දන සති හරහා ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන විනාශකරලීම හා එම මදුරුවන් බෝවන අයුරින් තම නිවාස හා ගෙවතු පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීති පියවර ගැනීම වැනි ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ ද ඒවායින් සැලකිය යුතු මට්‌ටමක ප්‍රගතියක්‌ අත්ව නොමැති බව පැහැදිලිවම පෙනී යන්නකි.

විශේෂයෙන්ම ඩෙංගු රෝගය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම දිගින් දිගටම සිදුකෙරුණ ද තම නිවස හා අවට පරිසරය ඩෙංගු මදුරුවන්ගෙන් තොරව පවත්වාගෙන යැම සඳහා නිරතුරුවම තම නිවස අවට ශුද්ධ පවිත්‍ර කරගත යුතු බව යන පණිවිඩය තවමත් ජනතාව තුළට කාවැද්දීමට බලධාරීන් සමත්ව නැති බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුව තිබේ.

සෑම විටම කියුබාව ආදර්ශයට ගෙන එම රටෙහි බලධාරීන් විසින් ඩෙංගු රෝගය තුරන් කළ අයුරින් මෙරටින්ද ඩෙංගු රෝගය තුරන් කරන බවට සෞඛ්‍ය බලධාරීහු වරින් වර ප්‍රකාශ කළහ. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් කියුබාව විසින් ඩෙංගු මදුරු කීටයන් විනාශකරලීම සඳහා භාවිත කළ බීටීඅයි බැක්‌ටීරියා දියරය මෙරටට ද විශාල වශයෙන් ආනයනය කර ඒවා මෙරට ඩෙංගු මර්දන කටයුතුවලට භාවිත කිරීමට පියවර ගැනිණි. එහෙත් එම බැක්‌ටීරියා දියරය මෙරටට ගෙන්වීමෙන් එය ආනයනය කිරීමේදී බලධාරීන් විසින් ලබාගත් කොමිස්‌ මුදල් හැරෙන්නට රටේ ජනතාවට නම් එයින් කිසිදු සෙතක්‌ අත්නොවූ බව පැහැදිලිය.

මෙසේ විශාල පරිමාණයෙන් විශාල මුදලක්‌ වැය කිරීමෙන් මෙරටට ගෙන්වූ බීටීඅයි බැක්‌ටීරියා තොග ඇතැමක්‌ කල් ඉකුත් වීම නිසා භාවිතයෙන් ඉවත් කිරීමට ද සිදුවිය.

කියුබාව ආදර්ශයට ගෙන ඩෙංගු මදුරු කීටයන් වැඩි වශයෙන් බෝවී ඇති කොළඹ ඇතුළු නගර කිහිපයකට ගුවනින් එම බැක්‌ටීරියාව ඉසීමට පවා වරින් වර තීරණ ගැනුණ ද ඒවා ක්‍රියාත්මක නොවීය.

මෙකී කරුණුවලින් පෙනී යනුයේ තවමත් මෙරටට ඩෙංගු මර්දනය පිළිබඳ ස්‌ථිර දැක්‌මක්‌ නොමැති බව නොවේද? ඩෙංගු රෝගය මර්දනය කිරීමේ කටයුතු වෙනුවෙන් වෙනම ඩෙංගු මර්දනය කිරීමේ ජාතික ව්‍යාපාරයක්‌ ද පිහිටුවා තිබේ. එයට අමතරව රුපියල් මිලියන ගණනක්‌ වාර්ෂිකව සෞඛ්‍ය ප්‍රතිපාදන වලින් එම කටයුතු සඳහා වෙන් කෙරේ. එහෙත් වසර පුරා ක්‍රියාත්මක වන දැවැන්ත ඩෙංගු මර්දනය කිරීමේ ජාතික වැඩපිළිවෙළක්‌ අවාසනාවකට මෙන් අප රටෙහි තවමත් ක්‍රියාත්මක නොවේ.

සෑම වසරකම ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා කලින් කලට ජාතික මදුරු මර්දන සති ප්‍රකාශයට පත් කළ ද එම මර්දන කටයුතු එම සතිවලට සීමා වන අයුරු දක්‌නට ලැබේ. අඩුම වශයෙන් එම මදුරු මර්දන සති තුළදී ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන පවත්වාගෙන යැම හේතුවෙන් චෝදනාවට ලක්‌වූවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ පසු විපරම් වැඩසටහනක්‌ ක්‍රියාත්මක නොවීම බලවත් අඩුපාඩුවකි. එම මදුරු මර්දන සති තුළදී මදුරුවන් බෝවන ස්‌ථාන පවත්වාගෙන ගිය නිවැසියන්ට හා ආයතන මෙතරම් සංඛ්‍යාවකට එරෙහිව නොතීසි නිකුත් කළ බව ප්‍රකාශයට පත් වුවද එම ස්‌ථානවලට එරෙහිව නඩු පැවරීම හෝ තම අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසට නියම කරන ලද ස්‌ථාන නැවත පිරික්‌සීම නොවන තරම්ය.

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය හා පළාත් පාලන ආයතනයන් අතර මනා සම්බන්ධීකරණයක්‌ නොතිබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. මහජනතාවට තම අවට පරිසරය ඩෙංගු මදුරුවන් බෝනොවන අයුරින් පවත්වාගෙන යන ලෙස උපදෙස්‌ දෙන පළාත් පාලන ආයතන නිවාස ඉදිරිපස මහ මාර්ගය දෙපස හා ආයතන ඉදිරිපිට කසළ ගොඩවල එකතු වී පවතින ඩෙංගු මදුරුවන් බෝවන මාධ්‍යයන් නිසි පරිදි ඉවත් නොකිරීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

එමෙන්ම මදුරු මර්දන සතියක්‌ ක්‍රියාත්මක වන විටදී ද එම සතිය තුළදී ප්‍රධාන මහා මාර්ග දෙපස පිහිටි නිවාස හා ආයතනවල ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන ඇත්දැයි පරීක්‍ෂා කරන බලධාරීහු අතුරු මාර්ග තුළ පවතින නිවාස හා ගෙවතුවල ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන පවතී දැයි පිරික්‌සීමට නොපෙළඹීම කනගාටුවට කරුණකි.

මේ වන විට රට පුරා බොහෝ ප්‍රදේශවල ඩෙංගු මදුරු කීට ඝනත්වය විශාල වශයෙන් ඉහළ ගොස්‌ පවතී. මේ පිළිබඳව කීට විද්‍යා සහකාර නිලධාරීන් ද සිය වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබේ. එහෙත් ඒ සම්බන්ධව මෙතෙක්‌ විධිමත් සැලැස්‌මක්‌ යටතේ ක්‍රියාත්මක නොවීම බලවත් අඩුපාඩුවකි.

එක්‌ අතකට ඩෙංගු රෝගය මුදල් ගරා ගත හැකි රෝගයක්‌ බවට පත්ව ඇත්දැයි සැක සිතෙන අන්දමට බලධාරීන්ගේ ක්‍රියාකලාපය සැක සහිත වී තිබේ.

මෙම තත්ත්වය නිරාකරණය කරගෙන වසර පුරා ක්‍රියාත්මක වන දැවැන්ත ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙළක්‌ රට පුරාම ආවරණය වන අයුරින් ක්‍රියාත්මක කර ඩෙංගු රෝගයේ පැතිරීම පාලනය කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරියේ පවතින දැවැන්ත අභියෝගයක්‌ බවට පත්ව තිබේ.

මේ වන විට මෙම වසර තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 42,000 ද ඉක්‌මවා ගොස්‌ තිබේ. මරණ සංඛ්‍යාවද 50 ඉක්‌මවා තිබේ. එහෙත් තවමත් මෙරට ඩෙංගු මර්දනය පවතිනුයේ ප්‍රාථමික මට්‌ටමේ බව පෙනී යනුයේ බලධාරීන් විසින් සිය දේශනවලදී ජනතාවට පවසන දෙය ක්‍රියාත්මක මට්‌ටමක පවත්වාගෙන යැමට උත්සාහ නොගැනීම බව නම් පැහැදිලිය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන මැතිවරණ රැස්‌වීම්වලදී පොලිතින් භාවිත කර බැනර් හා කටවුට්‌ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් වසංගත රෝග විශේෂඥයන් බලධාරීන්ව දැනුවත් කළ යුතුව ඇත. මන්ද යත් පොලිතීන් ඩෙංගු මදුරු කීටයන් බෝවන ප්‍රධාන මාධ්‍යයක්‌ සේ සැලකීමයි. පොලිතින් තුළ රැඳෙන වැසි ජලය ඩෙංගු මදුරු කීටයන් බෝවීමට මහෝපකාර වන බව හෙළි වී තිබේ.

අවම වශයෙන් ඩෙංගු උවදුර මැඬලීම සඳහා ක්‍රියාකාරී ජාතික වැඩපිළිවෙළක්‌ ලබන වසර මුල සිට හෝ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගන්නේ නම් දහස්‌ ගණනක්‌ වාර්ෂිකව රෝගාතුර කරමින්ද, තවත් පිරිසක්‌ මරණයට පත් කරමින් ද, පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කරලීම අසීරු නොවනු ඇත.

ඒමන්ති මාරඹේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.