ගෘහ සේවයට රට ගිය තිදරු මව මියයයි

මාස 12 ක වැටුපත් ලැබී නැහැ


බළන්ගොඩ - එන්. එච්. පියසේන

බළන්ගොඩ නන්පෙරිල් වත්තේ පදිංචිව සිටි තිදරු මවක්‌ ගෘහසේවිකා රැකියාවක්‌ සඳහා සෞදි අරාබියට ගියේ 2013 මාර්තු මාසයේදීය. තවුසු මල්ලිකාදේවි (33) නමැති ඇය පවුලේ අගහිඟකම් නිසා ප්‍රදේශයේ අතරමැදියකුගේ මාර්ගයෙන් එම රැකියාවට ගොස්‌ මාස 20 ක්‌ ගතවෙද්දී හදිසියේ මියගිය බව දන්වා සිරුර ඉකුත් 18 දා මෙරටට එවා තිබිණි.

එහෙත් මෙම කාන්තාව සේවය කළ මාස 20 න් මාස 12 ක වැටුප ගෙවා නොමැති බවත් අවමංගල කටයුතු සඳහා රුපියල් තිස්‌දහසක මුදලක්‌ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් ලබාදී තිබෙන බවත් මියගිය කාන්තාවගේ සොහොයුරකු වන එස්‌. පාර්තිබන් ''දිවයින'' ට පැවසීය.

මෙම කාන්තාවගේ සැමියා වූ මනිවේල් සෙම්බගම් නමැති අය නන්පෙරිල් වත්තේ කම්කරුවකු ලෙස කටයුතු කරන අතර පාසල් යන වයසේ පසුවන ගැහැනු දරුවන් දෙදෙනකු හා පුතෙකුගේ වියදම් දැරීමට ප්‍රමාණවත් ආදායමක්‌ නොමැති බැවින් රට රැකියාවට යැමට බිරිඳට ඉඩ ලබාදුන් බවද පැවසීය.

මේ පිළිබඳව සමනළවැව පොලිස්‌ මුරපොලේ ස්‌ථානාධිපති උ. පො. ප. ලෝරන්ස්‌ මහතාගෙන් කරුණු විමසූ විට ඔහු පැවසුවේ විදේශ රැකියාවක නිරතව සිටි මෙම කාන්තාවගේ මරණය සිදුවූ බවට දැනුම් දීමක්‌ ලැබුණු බවත් එම මෘත දේහය නිවසට ගෙනැවිත් භාරදී තිබූ බවත් අදාළ අංශවලින් පොලිසියට දැනුම් දුන් බවත්ය.

කෙසේ හෝ මේ පිළිබඳව විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය ඇතුළු අදාළ අංශවලින් ඥතීන් ඉල්ලා සිටින්නේ මෙම කාන්තාවට හිමිවිය යුතු අදාළ වැටුප් සහ වන්දි මුදලක්‌ වෙතොත් ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.