වැහිළිහිණියන්ටත් හොරෙන් වැටුණු
අනෝරා වැස්‌ස


* ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන දෙකකට වැඩි පිරිසක්‌ ජීවත් වන්නේ නියඟයට පහසුවෙන් ගොදුරු වන ප්‍රදේශවලය
* මිලියනයකට වැඩි පිරිසක්‌ ජල ගැලීම්වලින් නිරතුරුව පීඩාවට පත්වේ

වැස්‌සක්‌ ළං වෙද්දි අහස පුරා පියැඹූ වැහි ළිහිණියන් අද දකින්නට නැත. වැස්‌සක පෙර නිමිති පැවසූ ගෙම්බන්ගේ හඬ ද අද නෑසේ. අහස දෙස බලා වැස්‌ස ගැන කී ගම් වැසියන් ද අද නැත. ඇත්තට ම සිදුව ඇත්තේ කුමක්‌ද.....?

වැස්‌ස ගැන උන් දැනෙන්නටත් පෙර වැස්‌ස කඩා වැටේ. ඒ කිසිවෙකුටත් අනාවැකි කියන්නට වැස්‌සෙන් ඉඩක්‌ නැත්තේ අනාවැකිය දැනෙන්නත් පෙර නොසිතූ මොහොතක එක්‌ නිමේෂයකින් මොර සූරණ වැසි ඇද වැටීම හේතුවෙනි. වැස්‌සක්‌ ඇති වීමට බලපාන්නා වූ සංවහන ක්‍රියාවලිය වෙනුවෙන් අතීතයේ සැලකිය යුතු කාලයක්‌ ගත වූ නමුත් එය වර්තමානයේ ක්‍ෂණික ක්‍රියාවලියක්‌ බවට පත්ව තිබේ. දහවල් කාලයේ ගිනියම් හිරු එළියක්‌ තිබුණත්, එක්‌වර ම සවසට මහා වැසි ඇද වැටෙනු ඇත. එසේ වීමට හේතු කරණා ගණනාවක්‌ බලපා ඇති අතර ප්‍රධානතම කාරණාව බවට පත්ව ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ යෑම ය.

අද වන විට ලෝක ජනගහනය බිලියන හත ඉක්‌මවා ගොස්‌ය. එය 2050 වසර වන විට බිලියන 9.6 ක්‌ වේ යෑයි පර්යේෂකයෝ පවසති. ශ්‍රී ලංකාවේ මේ වනවිට මිලියන විස්‌සක්‌ පමණ වන ජනගහනය 2030 වන විට මිලියන 23ක්‌ බවට පත්වනු ඇතැයි ගණනය කර ඇත. ලෝක ජනගහනය වේගයෙන් වැඩිවීමට සාපේක්‍ෂකව මිනිසා විසින් සිදු කරන ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසර උෂ්ණත්වය වේගයෙන් ඉහළ යනු ඇත. පරිසරයේ ඇති ස්‌වාභාවික සම්පත් වැඩි වශයෙන් පරිහරණය කිරීම හේතුවෙන් ඒවා ක්‍ෂය වෙමින් තිබේ. මේ අත්වි`ඳින්නේ එහි ඵලවිපාකය.

ගතවූ දශක තුනක එනම් වර්ෂ 1974 සිට 2004 දක්‌වා වසර තිහක කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 2964655 දෙනෙකු ජල ගැලීම් හේතුවෙන් ද 2072512 දෙනෙකු දැඩි නියඟයෙන් ද දැඩි සුළඟ හේතුවෙන් පුද්ගලයින් 303001 දෙනෙක්‌ ද නායයැම් හේතුවෙන් පුද්ගලයින් 46719 දෙනෙක්‌ ද 2004 වර්ෂයේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 1009474 දෙනෙක්‌ ද දැඩි ලෙස පීඩාවට පත්වූ බව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ දත්ත හෙළිදරව් කරයි. බස්‌නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් සංවිධානය කොට පසුගිය දා කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂි අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය බුද්ධි මාරඹේ පර්යේෂණාත්මක දත්ත වාර්තා ඇසුරෙන් හෙළිදරව් කළ කරුණුවලට අනුව ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ උෂ්ණත්වය වසරකට සෙල්සියස්‌ අංශක 0.01 සිට 0.03 දක්‌වා අගයකින් වැඩි වේ. මෙය නොනැවතී එක දිගටම සිදුවීම අතිශය භයානක තත්ත්වයක්‌ බවත්, වසර දහයක්‌ ගත වන විට මෙම උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 1.5 කින් වැඩි වන බවත් මහාචාර්යවරයා පැවසීය. මෙහි භයානක ප්‍රතිඵල වන්නේ ජල ගැලීම්, නියඟ, නායයැම්, ටෝනඩෝ වැනි දැඩි සුළං තත්ත්වයන්, වැස්‌සේ තීව්‍රතාව, දැඩි විදුලි කෙටීම් හා අකුණු, උණුසුම් දින ගණන් අසීමිත ලෙස ඉහළ යැම යි.

රාත්‍රිය වඩාත් උණුසුම් වන අතර සිසිල් රාත්‍රි දින ගණන අඩු වේ. එය පරිසර උණුසුම ඉහළ යැමේ ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකාවට වැඩි ම වර්ෂාපතනය ලැබුණු ප්‍රදේශය ලෙස මෑතක්‌ වනතුරු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කළේ වටවල ය. නමුත් ඔවුන් අද පවසන්නේ කෙනිල් වර්ත් වතුයායට මේ වනවිට වැඩිම වර්ෂාපතනයක්‌ ලැබෙන බවය. ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයේ විශාල වෙනස්‌කම් සිදුවී ඇති බව මෙයින් පැහැදිලිය. මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එස්‌. ආර්. ජයසේකර මෙවැනි කතාවක්‌ කියන්නේය.

''ශ්‍රී ලංකාවේ කාලගුණයේ සැලකිය යුතු වෙනස්‌කම් රැසක්‌ සිදුවී තිබෙනවා. වැස්‌ස ලැබෙන ප්‍රධාන මෝසම් හතර බොහෝවිට නිසි ආකාරයට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. පසුගිය වසරේ ඔක්‌තෝබර්-නොවැම්බර් මාසවල අන්තර් මෝසම හරි ආකාරයට ඇති වුණා නම් ශ්‍රී ලංකාවට දැඩි නියඟයකට මුහුණ දෙන්න සිදුවෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දෙවැනි අන්තර් මෝසමේදී තමයි මුළු රටම ආවරණය වන ආකාරයට සැලකිය යුතු වැස්‌සක්‌ ඇති වෙන්නේ. සමස්‌ත වර්ෂාපතනයෙන් සියයට 30 ක්‌ පමණ ඒ වැස්‌සෙන් ලැබෙනවා. නමුත් ගිය අවුරුද්දේ ඒ වැස්‌ස අපට අහිමි වීම නියඟයට හේතු වුණා. ඒ වගේම දෙසැම්බර්-පෙබරවාරි මාසවල ලංකාවේ වියළි කලාපයට වැසි ඇති වෙනවා. ඒ වැස්‌සෙන් වියළි කලාපයේ ජලාශ පිරෙනවා. ඒ වැස්‌සත් ගිය අවුරුද්දේ අඩු වුණා. ඊළඟට නියඟය අවසන් කරලා වැසි වැටෙන්න පටන් ගත්තත් ඒ වැස්‌සේ තීව්‍රතාව වැඩි නිසා ජල ගැලීම්, නායයැම් ඇති වුණා. ටික ටික වැඩි දින ගණනක්‌ වැස්‌ස පැවතීම සාමාන්‍ය ස්‌වාභාවික තත්ත්වයයි. නමුත් ඉතා කෙටි කාලයක්‌ ඇතුළත වැඩි ධාරිතාවක වර්ෂාවක්‌ ඇතිවීම වර්තමාන තත්ත්වයයි. මීට කාලගුණික හා දේශගුණික විපර්යාස හේතුවී තිබෙනවා. මේ තත්ත්වය ඉදිරියේදී තවත් වැඩිවෙන්න ඉඩ තිබෙනවා. පොදුවේ ගණනය කිරීමේදී ශ්‍රී ලංකාවට වර්ෂයකදී ලැබෙන වැස්‌සේ ප්‍රමාණය අඩුවෙලා හෝ වැඩිවෙලා හෝ නැහැ. කෙටි කාලයකින් වැඩිපුර එකවර වැස්‌ස ලැබීම තමයි සිදුවී තිබෙන්නේ.''

අධ්‍යක්‌ෂවරයා පවසන ආකාරයට වසරේ දින තුන්සිය හැටපහ පුරාම ටිකෙන් ටික ඇති වූ වැස්‌ස මේ වනවිට දින කිහිපයකට සීමා වී තිබේ. දින දෙකක්‌ තිස්‌සේ ටික ටික වැස්‌සා නම් ඒ වැස්‌සෙන් වැටෙන ජලය හෙමිහිට පොළොවට උරා ගන්නට ද හැකිය. එහෙත් එකවර වැඩි ධාරිතාවකින් යුතුව වැසි ඇතිවීමෙන් රටට සිදුවන්නේ විනාශයකි. රටේ ගොවිතැන් කටයුතු වසර පුරාම නිසි පරිදි පවත්වාගෙන යන්නට නම් ක්‍රමවත් ස්‌වාභාවික ජල සැපයුමක්‌ ඈත අතීතයේ පටන් අපට උරුමව තිබිණි. අතීත රජවරු වියළි කලාපයේ වැව් තනන්නත්, ගොවිතැන් ව්‍යාප්ත කරන්නත් හේතු වූයේ එබැවිනි. එහෙත් අද වනවිට එම ස්‌වාභාවික සංසිද්ධීන් උඩු යටිකුරුවී තිබේ. එයට හේතුව ද මිනිසුන් මය.

මහාචාර්ය බුද්ධි මාරඹේට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන දෙකකට වැඩි පිරිසක්‌ ජීවත් වන්නේ නියඟයට පහසුවෙන් ගොදුරු වන ප්‍රදේශවලය. මිලියනයකට වැඩි පිරිසක්‌ ජල ගැලීම්වලින් නිරතුරුව පීඩාවට පත්වේ. රටේ ජනගහනයෙන් සියයට 70ක්‌ දෙනා භූගත ජලය භාවිත කරන්නෝ වෙති. ප්‍රධාන මාර්ගවලින් කිලෝ මීටර් 235ක්‌ ද සෙසු මාර්ගවලින් කිලෝ මීටර් 531ක්‌ ද ජල ගැලීම්වලින් යටවේ. ශ්‍රී ලංකාවේ එක්‌ ලක්‍ෂ විසිපන්දහසක්‌ පමණ ජනයා කෘෂි කර්මාන්තය ආශ්‍රිත ව දිවි ගෙවන්නෝ වෙති. ශ්‍රී ලංකාවේ වගාබිම් අතරින් හෙක්‌ටයාර් 350000 ක්‌ පමණ කාලගුණ හා දේශගුණ විපර්යාසයන්ට ගොදුරුවේ. එයින් හෙක්‌ටයාර් 112300 ක්‌ කුඹුරු ය. මෙහි අනාගත භීතිය වන්නේ ඉදිරි දශක තුනේදී එනම් ඉදිරි වසර තිහේදී රටේ කෘෂිකාර්මික නිෂ්පාදන සියයට 10 සිට 50 දක්‌වා විශාල අගයකින් අඩුවීමය. මෙයින් පැහැදිලි වන්නේ වැඩි කාලයක්‌ යන්නට මත්තෙන් අප සැමට උග්‍ර ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වන බවය. කාලගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන නව කෘෂිකර්මාන්තයකට ප්‍රවිෂ්ට වීමත්, පරිසරයට සිදු කරන හානිය හැකි තරම් අවම කිරීමටත්, රටේ ආර්ථික උත්පාදනය ක්‍රමවත් ලෙස වර්ධනය කිරීමත්, නිෂ්පාදන ක්‍ෂේත්‍රය වර්ධනය කිරීමත් අප කඩිනමින් කළ යුතුව ඇත. එසේ නොකළහොත් රටට නම් සුබ අනාගයක්‌ නැත.

තුෂාරී කළුබෝවිල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.