ආපදා (දේශපාලන) කළමනාකරණය

අයහපත් කාලගුණය මහත් විපතක්‌ සිදු කළේය. එය සුනාමියට දස වසරක්‌ පිරෙන මාසයේ එම වකවානුවේම පැමිණි දෙවැනි සුනාමියක්‌ වැන්න. දිස්‌ත්‍රික්‌ක 22 කට බලපෑ ගංවතුර හා නායයැම් මෙන්ම ආපදා තත්ත්වය නිසා මියගිය ගණන මෙය ලියෑවෙන මොහොතේ 32 ක්‌ ලෙස වාර්තාවී තිබිණි.

ජල ගැලීම් හා නායයැම් හේතුවෙන් විපතට පත් වූ පවුල් සංඛ්‍යාව තුන්ලක්‍ෂ නවදහස්‌ හයසිය අසූපහක්‌ ලෙස වාර්තාවේ. එය පුද්ගල සංඛ්‍යාවක්‌ ලෙස ගතහොත් එකොලොස්‌ ලක්‍ෂ දහතුන් දහසක්‌ ලෙස සැළකෙන බව කියෑවේ.

විනාශය අතිමහත්ය. එහෙත් මෙවැනි ආපදා අවස්‌ථාවක නිරන්තරයෙන් දකින "මුහුණු" මෙවර දක්‌නට ලැබෙන්නේ ඉතාම අවම වශයෙනි. එය විශේෂත්වයකි. වෙනදා මෙවැනි අවස්‌ථාවක අනිවාර්යයෙන්ම මෙවැනි තැන්වල පෙරමුණ ගන්නේ දේශපාලනඥයින්ය. එහෙත් මේ මොහොත වන විට ඒ කිසිදු දේශපාලනඥයකුට ඊට මැදිහත් විය නොහැකි ආකාරයේ "රාජකාරි" බහුලය. පක්‍ෂ විපක්‍ෂ බේදයකින් තොරව සියලු දෙනා පෙළ ගැසී සිටින්නේ විපතට පත්වූවන් බේරා ගැනීමට නොව "රට බේරා ගැනීමට"ය. ජනාධිපතිවරණයට සටන් වැද සිටින පක්‍ෂ විපක්‍ෂ සියලු දේශපාලනඥයින්ගේ ප්‍රමුඛ සටන් පාඨය එයයි. දෙපාර්ශ්වයම හිටිගමන් "නාය යන්නේ" බදුල්ල නාය යනවාටත් වේගයෙනි. ඒ උදවියට එම "ආපදාව" කළමනාකරණය කර ගැනීම විනා මේ මොහොතේ පෙනෙන වෙනත් අර්බුදයක්‌ නැත.

"පක්‍ෂය නායයැම" වළක්‌වා ගැනීම පිණිස බොහෝ දේ කළ යුතුය. ඒ සඳහා පෝස්‌ටර්, කටවුට්‌ දැන්වීම් පළ කිරීම පමණක්‌ ප්‍රමාණවත් නැත. නාය යැම වළක්‌වා ගැනීම පිණිස දොළ පිදිය යුතුය. මේ සියල්ලම කරන්නට මිලියන, බිලියන ගණනින් වැය කළ යුතුය.

දිස්‌ත්‍රික්‌ක 22 ක්‌ නාය යැමට වඩා පස්‌දෙනෙකුගේ එහා මෙහා වීමෙන් පක්‍ෂය නාය යැම වළක්‌වා ගැනීමට කරන මැදිහත්වීම අත්‍යාවශ්‍යය. ඉදිරි ආපදාවකදී ජනතාවට සැළකිය හැකි මට්‌ටමේ පසුබිමක්‌ සකසා ගත හැක්‌කේ එවිටය. "අසවල් දේශපාලනඥයාගේ, අසවල් සංවිධායකයාගේ පරිත්‍යාගයකි." යනුවෙන් වියළි සලාක පාර්සල් ආදිය අවතැන් ජනතාවට බෙදාදිය හැක්‌කේ මේ පක්‍ෂ

නායයැම වළක්‌වා ගත හැකි නම් පමණි.

සියලු දේශපාලනඥයින් (පාර්ලිමේන්තු, පළාත සභා, ප්‍රාදේශීය සභා, නගර සභා, මන්ත්‍රීවරු, සංවිධායකවරු) සටන් වැද සිටින්නේ ඒ වෙනුවෙනි.

අවතැන් කඳවුරුවල ජීවත්වන ජනතාවට සහන සැපයීමට සියලු කටයුතු යොදා ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසා තිබිණි. මීට පෙර ඒ අමාත්‍යාංශයේ මැදිහත්වීමක්‌ තිබුණද පෙර කී දේශපාලන යාන්ත්‍රණයේ මැදිහත්වීමද නිරතුරු දක්‌නට ලැබිණි. කාගේ නමින් හෝ වියළි ආහාර සලාක පාර්සලයක්‌ ලැබීම යහපත් යෑයි සිතෙන්නේ අවතැන්ව සිටින ජනතාවගේ ප්‍රමාණය ගැන දකින විටය.

මේ ආපදා තත්ත්වය වියළි සලාක පිරිනැමීමෙන් පමණක්‌ කළමනාකරණය කළ හැක්‌කක්‌ නොවේ.

සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව හාරදහස්‌ හත්සිය හතලිස්‌ දෙකක්‌ (4742) ලෙස සැලකේ. ඒ අනුව ගතහොත් ඔවුනට ස්‌ථිර වාසස්‌ථාන තැනීමේ සිට පිරිසිදු ආහාර, ජලය, වෛද්‍ය උපදෙස්‌ ප්‍රතිකාර සැලසීම වැනි මූලික කාරණා සඳහා විශාල මුදලක්‌ වැය කිරීමට සිදුවේ. මෙවැනි විපතකදී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට පමණක්‌ එවැනි බරක්‌ දැරිය නොහැකි බව අපගේ විශ්වාසයයි.

අප පෙර කී පරිදි පක්‍ෂ නායයැම වැළැක්‌වීමට වැය කරන මුදල ඊට වඩා වැඩි බව, සිහිවිකල් වූවෙකුට පවා පෙනෙන කාරණයකි. මේ මොහොතේ ඒ නිරපරාද වියදම දරන කවුරු හෝ ඒ මුදල සැබෑ ආපදාව කළමනාකරණය කරන්නට යෙදවුවහොත් ඔහු කොතරම් සොඳුරු දේශපාලනඥයකු දැයි රටේ ජනතාව කියනු නොඅනුමානය. සැබෑ ලෙසම "ආපදාව" කළමනාකරණය කර ගත හැක්‌කේ එවිටය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.