දුරුතු පුන් පෝය හෙට
බුදුහිමි අපෙන් බලාපොරොත්තු වූ සමාජය
හෙට දිනට යෙදෙන දුරුතු පොහෝ දිනය නිමිත්තෙනි.

දුරුතු පුර පසළොස්‌වක පෝය කරුණු කිහිපයක්‌ නිසාම බොදුනුවනට අතිශයින්ම වැදගත් වේ. බුදු රජාණන් වහන්සේගේ පළමු ලංකාගමනයත් වසරක්‌ ගෙවී වසරක්‌ උදාවන නිසාය.

බුදුන් වහන්සේ තෙවරක්‌ ලක්‌දිවට වැඩම කළ බව ඇතැම් වංශ කතාවන්හි සඳහන්ය. මේ අතර මහාවංශය ප්‍රධාන තැනක්‌ ගනී. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නව මසක්‌ ගිය තැන මහියංගණයට වැඩම කොට ඇත. මහියංගණයේ එදවස විසූ යක්‍ෂ ගෝත්‍රික පිරිසක්‌ අතර ඇතිවූ ගැටුමක්‌ විස¹ සාමයේ ඇති අගය පහදා දීමට වැඩි බව පිළිගත් මතයයි.

බුදුහිමි මෙහි වඩින විට මහියංගණ මහවැලි ගංතෙර යොදුන් තුනක්‌ දිග ඇති මහානාග වනෝද්‍යානේ යක්‍ෂයන් රැස්‌ව සිටියහ. ඔවුහු බුදුහිමි කලින් නොදුටු බැවින් බියපත්වී දරුණු ලෙස හැසුරුණාහ. බුදු හිමිද මෙහිදී නොදුටු නොපුරුදු දරුණු මේ පිරිස තමන් වහන්සේ වෙත යොමුකර ගැනීම සඳහා ප්‍රාතිහාර්යක්‌ පෑහ. අහසෙහි පලක්‌ බැඳ සිටිමින් අව්, වැසි, සුළං කුණාටු හා ගිනි වළලු මවා පෑමයි. මින් බියපත්වූ ඔවුහු බුදුන් වහන්සේට අවනත වූහ. අවනත නොවූ පිරිස්‌ "ගිරිදිවයින තෙක්‌ පලවා හැරියහ.

යක්‍ෂ කී සැණින් අපේ මනසට නැගෙන්නේ මිනීමරන මිනී මස්‌කන පිරිසක්‌ බවය. නමුත් විද්වත් මතය වන්නේ යක්‍ෂ ආගම අදහන මනුෂ්‍ය ගෝත්‍රයකට අයත් පිරිසක්‌ බවය. බුදු හිමි මෙහිදී ඔවුන්ගෙන් බලාපොරොත්තු වූයේ සාමකාමී දැහැමි ජීවන රටාවකි. ඒ සඳහා අවශ්‍ය දහම් දෙසා ඔවුහු සමගි කළහ.

දෙවෙනි වර බුදුන් වහන්සේ වැඩම කරවන්නේ නාග දීපයටයි. "චූලෝදර, මහෝදර සහෝදර දෙපළ අතර මැණික්‌ පුටුවක්‌ වෙනුවෙන් ඇතිකර ගත් මෙබඳුම ගැටුමක්‌ විස¹ සමගි සම්පන්න කරවීම සඳහාය. තෙවන වර වැඩම කළේ කැලණියටයි.

බුදුරජාණන් වහන්සේ තෙවරක්‌ම ලක්‌දිවට වැඩම කරවීමෙන් බලාපොරොත්තු වූයේ කුමක්‌ දැයි අපේ අවධානය යොමු විය යුතුව ඇත. ගැඹුරින් සිතීමට විෂයක්‌ද වනු ඇත. මහා කරුණාවෙන් හෙබි බුදුරජාණන් වහන්සේ තුන් ලොවටම මහාකාරුණික වූහ.

බුදුන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සිදුවන්නේ උන්වහන්සේ ජන්ම ලාභය ලැබූ දඹදිවටය. තම ජීවිතයේ වැඩි කාල පරිච්ඡේදයක්‌ ගත කරන්නේද එහිමය. ඉන් බැහැරව වැඩම කළේ නම් වැඩම කළේ ඔබ, අප, උපන් මෙපින් බිමටමය. එනිසාම අප මාතෘ භූමිය බුද්ධ භූමියක්‌ හා ධර්මද්වීපයක්‌ම විය.

බුදුන් වහන්සේගේ සර්වඥතා ඥණයට විෂය නොවූ කිසිවක්‌ ලොවේ නැත. තුන් කල්හි සිදුවන බොහෝ දේ ගැන අවබෝධයෙන් සිටියහ. එනිසාම තම මව්බිමෙන් (ඉන්දියාවෙන්) තමන් විසින් දැල්වූ "සදහම් ප්‍රදීපාලෝකය දිගුකල් ආලෝකමත් නොවී "අඳුරෙන් වැසී යන බව පසක්‌ කර ගෙන තිබුණි. මේ ප්‍රකාශය තහවුරු කරගත හැකි අවස්‌ථාවක්‌ ලෙස පිරිනිවන් මංචකයේ විජය හා පිරිස අතර හමුව සිහිපත් කරවයි. විජය කුමරුගේ ලංකාගමනය දුටු බුදුන් වහන්සේ පිරිසගේ ආරක්‍ෂාවට පිරිත් පැන් හා පිරිත් නූල් ලබාදීමට සක්‌ දෙවි රජුට කළ ප්‍රකාශය තම බලාපොරොත්තුව ඉස්‌මතු කර පෙන්වන්නකි.

මේ දුරුතු පුන් පෝදා බුදුහිමි මහියංගණ ප්‍රදේශයට වැඩම කරවනු ලබන්නේ මිනිසත් බවෙත්, මනුසත් බවෙත්, සාමයේත් වටිනාකම පසක්‌ කර දීමටය. ලොව දුර්ලභ වූ කරුණු හතරක්‌ ඇත. එනම් මිනිසත් බවක්‌ ලැබීම, බුදුවරයකුගේ පහළ වීම, ක්‍ෂණ සම්පත්තිය වූ නිවන් අවබෝධ කර ගැනීම, සද්ධර්මය දැන ගැනීම යන කරුණු හතරය. මේ කරුණු අතරින් මුලටම සඳහන් වන්නේ මනුෂ්‍ය ආත්ම භාවයක්‌ ලැබීම දුර්ලභ කරුණක්‌ බවය. ඒ සඳහා පෙර පින් තිබිය යුතුමය. බුදුන් වහන්සේ මේ පිළිබඳව බොහෝ අවස්‌ථාවල උපමාද ගෙන හැර දක්‌වමින් හේතු සාධක පෙන්නා දී ඇත. මුහුදේ වෙසෙන කණ කැස්‌බෑවා වසරක්‌ ගිය තැන විය සිදුරෙන් අහස දකින්නේ යම් සේද එමෙන් මිනිසත් බවක්‌ ලැබීම දුර්ලභ බවය.

ලෝවැඩ සඟරා කතුවරයා මේ අදහස කවියෙන් ගොතා පවසන්නේ මෙසේය.

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ

දුකෙකිනි මිනිසත් බව ලැබගන්නේ

යනුවෙනි.

මිනිසත් බවේ සමහරු පෙරපින් නොවූ බැවින් අංග විකලව උපදී. සමහර විට එම බාධකය නිසා ඔවුනට සිත ගත පුරා කුසලයන් කිරීමට ලැබෙන අවස්‌ථා විරලය. මනුෂ්‍යාත්ම භාවයක්‌ ලැබූ තරමින් මනුෂ්‍ය ජීවිතය අර්ථවත් නොවේ. ඒ හා බැඳුණ මනුෂ්‍යත්වය මිනිසා තුළ තිබිය යුතුය. සාරධර්ම, ගුණදහම්, යුතු අයුතුකම්, ශීලාචාරකම්, කෙලෙහිගුණ සැලකීම්, පින, පව ගැන අවබෝධාත්මක ලෙස දැන හඳුනාගෙන කටයුතු කිරීම උත්තරීතර මනුෂ්‍යත්වයයි.

මින් බැහැරව යමෙක්‌ අසංවරව කටයුතු කරන්නේ නම් ඔහු හා තිරිසනා අතර වෙනසක්‌ නැති බව ධර්මේන නිනඃ පසුභඃ සමානඃ යන කියමනෙන් ප්‍රකටවේ. බුදුන් වහන්සේ මෙබඳු සමාජයෙන් කැපී පෙනුනේ උත්තරීතරම මනුෂ්‍ය ගුණ දහම් නිසාමය. "උන්වහන්සේ මඩ ගොහොරුවේ හා ජලයේ හටගත් පියුම ජලයේ නොගැටී සිටින්නා සේ උන්වහන්සේ වැඩසිටියේ උත්තරීතර මනුෂ්‍ය ගුණ දහම් නිසාවෙනි.

මානව සමාජය තුළ එය අර්ථ ගැන්වීමට නම් ලඡ්ජා, භය, අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ලඡ්ජා භය නොදත් සමාජයකට හෝ පුද්ගලයකුට කළ නොහැකි දෙයක්‌ නැත. ඇතැම් පියවරු තම දූවරු කෙලෙසන්නේ සහෝදර සහෝදරිය කෙලෙසන්නේ ගුරුවරයා තම ශිෂ්‍යාව කෙලෙසන්නේ, දෙමාපියන් නොසලකා මරන්නේ හෝ මරවන්නේ මුදලට මිනී මරවන්නේ මත්කුඩු මත් ජාවාරම් කරන්නේ මහා පරිමාණ සොරකම් කරන්නේ පවට ලඡ්ජා භය නැති අධමයන්මය. සමාජය තුළ දිනපතා අසන්නට දකින්නට කියවන්නට ලැබෙන්නේ මෙබඳු අධම පව්කාර ක්‍රියාවන්මය. මේ නිසා රටත්, සමාජයත්, පරිහානියට පත්වේ. නීතිය තරාතිරම නොබලා ක්‍රියාවට නැන්වීමේදී මෙවන් අපරාධ මැඩලිය හැක. මේ සඳහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතන බලපෑම්වලට නතු නොවී අවංකව සේවය කළ යුතුය.

යහපත් රටක සමාජයක පැවැත්මට විනයක්‌ තිබිය යුතුය. බුදු රජාණන් වහන්සේ සිව්වනක්‌ පිරිස වෙනුවෙන් විනය ප්‍රඥප්තියක්‌ පැනවූයේ මේ නිසාමය. ගිහි, පැවිදි ශික්‍ෂණය සඳහා පැනවූ නීති රීති පොදුවේ ශීල වශයෙන් හැඳින්විය හැක. ශාසනයේ චිර පැවැත්මට විනය මුල්වන බව විනයෝ නාම ශාසනසස ආයු, වශයෙන් බුදු හිමි අවධාරණය කර ඇත.

අප රට බහු ජාතික බහු ආගමික රටකි. එබැවින් හැම සහෝදරත්වයෙන් ජීවත් විය යුතුය. රටේ ඒකීය භාවයට එය ශක්‌තියක්‌ වනු ඇත. සහෝදරත්වයට ශක්‌තියක්‌ වනුයේ, සමගියය. සමගිය නැති රට සමාජය පවුල තුළ ගැටුම් නිර්මාණය වේ. එකිනෙකා අභිබවා කටයුතු කිරීමේදී ගැටුම් උග්‍රවී, යුද වතාවරණයක්‌ද ඇතිවිය හැක. ගිsහි සමාජය තුළ පමණක්‌ නොව පැවිදි පක්‍ෂය තුළද සමගියේ වැදගත්කම බුදුන් වහන්සේ සුඛා සංසස්‌ස සාමග්ගි වශයෙන් පෙන්වා දී ඇත.

සමගිව රැස්‌වී, සමගිව නැගී සිටීම, සමගිව කටයුතු කිරීම, පෙර නොපනවන ලද නීති නොපැන වීම හා පැණවූ නීති නොකඩා පැරැණි නීතිවලට අනුව පාලනය කිරීම, වැඩිහිටියන්ට සවන් දීම, ඔවුන්ට සත්කාර සම්මාන කිරීම, විවාහක අවිවාහක කුල කුමරියන්ට නුසුදුසු ලෙස පිළිපැදීමක්‌ නොකිරීම රට තුළ තිබෙන වෙහෙර විහාරවලට කළයුතු වතාවත් කිරීම, සිල්වත් මහණ බමුණන්ට දැහැමි රැකවරණ යෙදීම ආදියයි. ලොවේ හැම රාජ්‍ය පාලකයන්ටත්, බේදයකින් තොරව හැම සමාජයකටමත්, බුදුන් වහන්සේ විසින් අනුමත කළ මේ උපදෙස්‌ සර්ව කාලීනයයි. අගය කළ යුතුය.

බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ අදවන් දුරුතු පුන්පෝදා උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වූයේ මෙබඳු සාරධර්ම පිරි සමාජයකි.

පින්වත් හැමට සිරිමා හාමුදුරුවන්ගේ පිහිටයි.

අනුරාධපුර ලංකාරාමාධිකාරී - උතුරු මධ්‍යම දිසාවේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක,
රැළපනාවේ ධම්මජෝති නාහිමි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.