ජාගොඩ හා පුත්‍රසිගාමනී මෛත්‍රී පිලට එක්‌වෙති

අකිත පෙරේරා, නුවරඑළිය - නාලක රත්නායක

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩ සහ හිටපු අධිකරණ නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම ජනාධිපති උපදේශකයකු වූ වී. පුත්‍රසිගාමනී යන මහත්වරු මෙවර ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබා දෙන බව ඊයේ (2 දා) පැවැසූහ.

අචල ජාගොඩ මහතා සිරිකොතදී ඊයේ (02 දා) පෙරවරුවේ පැවැති එජාප ජාතික වෘත්තීය සමිති සම්මේලනයට සහභාගි වෙමින් සිය තීරණය ප්‍රකාශයට පත්කළේය.

වී. පුත්‍රසිගාමනි මහතා පසුගිය මහ මැතිවරණයෙන් පසු ජනාධිපති උපදේශක තනතුරක්‌ දරමින් කටයුතු කළේය.

ඒ අනුව තමා දරමින් සිටි ජනාධිපති උපදේශක තනතුරින් ඉවත්වී විපක්‍ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීමට තීරණය කළ බව ඒ මහතා 'දිවයින' ට පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්‌වීමට එක්‌වූ අචල ජාගොඩ මහතා ජනතා විමුක්‌ති පෙරමුණෙන් දේශපාලනය අරඹා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් පාර්ලිමේන්තුවට කලින් තේරී පත්වූ අයෙකි.

අනතුරුව ජනතා විමුක්‌ති පෙරමුණු තුළ සිදුවූ මහ අරගලයේදී විමල් වීරවංශ මහතා සමඟ ජවිපෙන් ඉවත්ව ජාතිsක නිදහස්‌ පෙරමුණ ආරම්භ කොට හෙතෙම එහි පාලක ලේකම් ලෙස කටයුතු කළේය.

ජාගොඩ මහතා ටික කලක්‌ සන්ධාන ආණ්‌ඩුවේ සංචාරක ඇමැති ලෙස ද කටයුතු කළ අතර, පසුගිය මහ මැතිවරණයේදී සන්ධානයේ ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුව තුළින් තේරී පත්විණි. ඒ ජාතික නිදහස්‌ පෙරමුණට සංධානයෙන් හිමිවූ එකම ප්‍රසාද මන්ත්‍රී ධුරය ලබාගනිමින්ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.