වගා හානිවූ පොළොන්නරුවේ ගොවීන්ට
සහන දෙන්න ජනපතිගෙන් උපදෙස්‌


කරුණාරත්න ගමගේ

පසුගියදා ඇතිවූ ගංවතුර හේතුවෙන් වගා හානි සිදුවූ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ගොවීන්ට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ (02 දා) උපදෙස්‌ දුන්නේය.

වගා හානි සිදුවූ කුඹුරු සහ වාරිමාර්ග ඇළවේලි පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පොළොන්නරුව, මින්නේරිය ගොවිජනපද ව්‍යාපාරයේ ගල්අමුණ මහා විද්‍යාලයේ දී රාජ්‍ය නිලධාරීන් සහ ගොවි නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස්‌ ලබා දුන්නේය.

ගංවතුර නිසා විනාශයට පත් කුඹුරු නැවත මෙම කන්නයේ වගා කිරීමට නොහැකි ගොවීන්ට ඒ සඳහා වන්දි මුදල් පිරිනමන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

මේ අතර ගංවතුර සහ අධික වර්ෂාව නිසා විනාශයට පත් ඇළ වේලි, අමුණු ආදි වාරි නිර්මිත පිළිසකර කිරීම සඳහා කඩිනම් පියවර ගන්නැයි වාරිමාර්ග නිලධාරීන්ට උපදෙස්‌ දෙනු ලැබීය.

තමන් මෙම ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු වුවද මෙම ප්‍රදේශයේ ගොවි ජනතාව පත්ව සිටින පීඩාවන් පිළිබඳව සොයා බැලීම සඳහා පැමිණියේත් ඒ සඳහා අවශ්‍ය සහන ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස්‌ ලබා දෙන්නේත් මේ රටේ ජනාධිපතිවරයා ලෙස යෑයිද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම අවස්‌ථාවට ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, සමාජ සේවා නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි, පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති මංජු ශ්‍රී අලුත්වත්ත, පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් නිමල් අබේසිරි පොළොන්නරුව වාරිමාර්ග කලාප අධ්‍යක්‍ෂ ආර්. එම්. පී. කරුණාරත්න, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්. මොහොමඩ්, පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්‌කාර යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.