වෛද්‍යවරිය ඇතුළු දරුපවුල
ඝාතනය ගැන සී.අයි.ඩී. පරීක්‍ෂණ



ඇඟිල්ල කපාගෙන මඟුල් මුද්දත් අරන් ගිහින්
සිරුරු 4 තිබූ වළෙන් පිහියකුත් හමුවෙයි

හේමන්ත රන්දුණු සහ සඳලංකාව ධම්මික රාජපක්‍ෂ

වෙන්නප්පුව නයිනමඩමේදී දන්ත ශල්‍ය වෛද්‍යවරියත්, ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනාත් කෲර අන්දමින් ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ඊට අමතරව වෙන්නප්පුව පොලිසිය සහ තවත් පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ද පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

මෙම සිව් මිනිස්‌ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු ඊයේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි. මේ සම්බන්ධයෙන් නයිනමඩම ප්‍රදේශයේ පුද්ගලයන් පහළොස්‌ දෙනකුගෙන් මේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

මෙම නිවසේ සේවය කළ මුරකරුවකු සිව් මිනිස්‌ ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි. සිද්ධියෙන් පසු මුරකරු අතුරුදන්ව ඇති අතර ඔහු සොයා පොලිසිය පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

වෛද්‍යවරියත් ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනාත් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර පසුව ඔවුන්ගේ සිරුරුවල ගල් බැඳ මට්‌ටා වළේ ගිල්වා ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

සාහසිකයන් වෛද්‍යවරිය ඝාතනය කිරීමෙන් පසු ඇගේ ඇඟිල්ලක්‌ කපා එහි දමා තිබූ මගුල් මුදුවද රැගෙන ගොස්‌ ඇත. එමෙන්ම එම නිවසේ අල්මාරියද කඩා දමා තිබුණි.

ලුණුවිල රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍යවරිය වූ 49 හැවිරිදි පුණ්‍යා කුමාරි විඡේසිංහ, 52 හැවිරිදි ඇගේ සැමියා වන කොහුමෝල් ව්‍යාපාරික නලින් හෙට්‌ටිආරච්චි, දරුවන් වන වෙන්නප්පුව ජෝසප් වාස්‌ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි චරිත ගයාශාන් සහ වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ 13 හැවිරිදි පියුමි හෙට්‌ටිආරච්චි මෙසේ ඝාතනයට ලක්‌ වූහ.

පසුගිය 31 වැනිදා රාත්‍රී 7.30 ට පමණ මෙම ඝාතන සිදු වී ඇති අතර ඔවුන්ගේ සිරුරු මට්‌ටා වළේ තිබී සොයා ගනු ලැබුවේ පෙරේදා (01 වැනිදා) සවස්‌ කාලයේ දීය.

මෙම ඝාතනයට යොදා ගෙන ඇතැයි සැක කෙරෙන උල්පිහියක්‌ද ඊයේ (2දා) රහස්‌ පොලිසියේ හා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් ලෙල්ලමෙහි වළෙහි තිබී සොයාගෙන ඇත. මාරවිල මහෙස්‌ත්‍රාත් වසන්ත සාලිය අබේරත්න මහතා පෙරේදා සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ පරීක්‍ෂණ පැවැත් විය.

වෙන්නප්පුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක වසන්ත කුමාර මහතාගේ මෙහෙය වීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.