වෙනසක්‌ ඇතිකරන්නේ යහපතටද
ව්‍යසනයක්‌ කරා ගමන් කිරීමට ද

- මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර කියයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ජනාධිපතිවරණයක්‌ කැඳවා ඇති මේ අවස්‌ථාවේ බොහෝ දෙනෙක්‌ වෙනසක්‌ ගැන කතා කරනවා. මෙහිදී ජනතාවට තීන්දුවක්‌ ගැනීමට තිබෙන්නේ වෙනසක්‌ තුළින් වඩාත් යහපත් තත්ත්වයක්‌ කරා ගමන් කරනවාද එසේ නැතහොත් ව්‍යසනයක්‌ කරා ගමන් කරනවාද යන්න ගැන යෑයි මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා කීවේය.

එම තීන්දුව අනුව රට තුළ අස්‌ථාවර තත්ත්වයක්‌ ඇති වෙනවාද නැතහොත් පවතින ස්‌ථාවර තත්ත්වය තවදුරටත් ආරක්‍ෂා වෙනවාද යන්න තීරණය වෙයි. එහෙත් ආර්ථික සංවර්ධනය සඳහා රට තුළ ස්‌ථාවරත්වයක්‌ පැවතීම අත්‍යවශ්‍ය බවද ආචාර්ය ජයසුන්දර මහතා කියා සිටියේය.

ආචාර්ය ජයසුන්දර මහතා මේ බව කීවේ ඊයේ (02 දා) කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති 2015 සහ ඉදිරිය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් හා මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති පෙර දැක්‌ම එළිදැක්‌වීමේ අවස්‌ථාවට එක්‌ වෙමිනි. මම මුදල් ඇමැතිවරුන් තුන්දෙනෙක්‌ යටතේ මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය දරා තිබෙනවා. ඉන් දෙදෙනෙක්‌ම විධායක ජනාධිපතිවරුන්. මින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට හොඳ නායකත්වයක්‌ ලබා දුන් බවද ආචාර්ය ජයසුන්දර මහතා කීවේය.

ඇතැම් අය වැටුප්, සමෘද්ධි දීමනා ඇතුළු සියලු සහන වැඩි කිරීමක්‌ ගැන කතා කරනවා. අනිත් පැත්තෙන් බදු ඉවත් කිරීමටත් යෝජනා කරනවා. රජයට බදු ආදායම අවශ්‍යයි. සියලු බදු ඉවත් කරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කවර එකක්‌ ද? මේ තුළින් රට තුළ අස්‌ථාවරත්වයක්‌ ඇති විය හැකි බවද ආචාර්ය ජයසුන්දර මහතා තවදුරටත් කීවේය.

මේ අවස්‌ථාවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, නියෝජ්‍ය අධිපතිවරුන් වන ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආනන්ද සිල්වා සහ පී. සමරසිරි යන මහත්වරු සහ මහ බැංකු මුදල් මණ්‌ඩල සාමාජිකයන් වන නිමල් වෙල්ගම මහතා සහ එම්. රාමනාදන් මහත්මිය ඇතුළු බැංකු සහ මූල්‍ය ආයතනවල ප්‍රධානීන් රැසක්‌ සහභාගි වී සිටියහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.