වර්ෂ 2020 දී කොළඹ
වාණිජ කේන්ද්‍රස්‌ථානයේ අගනගරයක්‌ වනු ඇති

අජිත් නිවාඩ් කබ්රාල්

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ජාත්‍යන්තර මට්‌ටමේ නගරයක්‌ ලෙස නැගී එන කොළඹ නගරය වර්ෂ 2020 දී බිහිවන කලාපීය වාණිජ කේන්ද්‍රස්‌ථානයේ අගනගරය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව, වාණිජ සේවා, ජාත්‍යන්තර බැංකුකරණය ආදී සේවා සපයන කලාපයේ අග්‍රගන්‍ය මධ්‍යස්‌ථානය ලෙස සංවර්ධනය කිරීමට අපේක්‌ෂා කරන බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව කීවේ ඊයේ

(02 දා) කොළඹ 07, බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය.

වර්ෂ 2015 සහ ඉන් ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති පෙර දැක්‌ම ඉදිරිපත් කරමිනි. මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහ බැංකුවේ මුදල් මණ්‌ඩල සාමාජිකයන්, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු ඇතුළු මහ බැංකුවේ සහ වෙනත් බැංකු හා මූල්‍යායතනවල ප්‍රධානීන් රැසක්‌ මේ අවස්‌ථාවට එක්‌ව සිටියහ.

ශ්‍රී ලංකාව සාප්පු පහසුකම් සඳහා ජාත්‍යන්තර මධ්‍යස්‌ථානයක්‌ බවට පත් කරමින් නව නාවික, ගුවන් සහ වාණිජ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කෙරෙන බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

එසේම ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මූල්‍ය සහ ව්‍යාපාර මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීම, වාණිජ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ උපාය මාර්ගයෙහි ප්‍රධාන උපායංගයක්‌ බව ද මෙවැනි මධ්‍යස්‌ථානයක්‌ මෙරට පිහිටුවීමේ ආර්ථික සහ මූල්‍ය පසුබිම ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේ අධ්‍යයනය කරමින් සිටින බව ද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.