ප්‍රධාන ජනාධිපති අපේක්‌ෂකයන් දෙදෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුලේ වස ඇති කේක්‌ ගෙඩියට සමානයි
වමේ පොදු සන්ධාන අපේaක්‌ෂක දුමින්ද නාගමුව

සිරිමන්ත රත්නසේකර

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු ඉදිරිපත් කරඇති ප්‍රතිපත්ති ප්‍රකාශන මදයේ වස ඇති කේක්‌ ගෙඩියකට සමාන යෑයි වමේ පොදු සන්ධානයේ ජනාධිපති අපේක්‌ෂක දුමින්ද නාගමුව මහතා සඳහන් කළේය.

වටේට අයිසින් දමා ඇති හෙයින් කටට පැණි රසයක්‌ දැනුනත් එහි ඇතුළත ඇත්තේ නව ලිබරල් ධනවාදය බවත් හෙතෙම කියා සිටියේය.

වමේ සංධානයේ ජනාධිපති අපේක්‌ෂක දුමින්ද නාගමුව මහතා එම අදහස්‌ පළ කළේ රාජගිරිය සිංහ සමාජ ශාලාවේ ඉකුත් 29 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ දුමින්ද නාගමුව මහතා මෙසේ පැවැසීය.

ප්‍රධාන අපේක්‌ෂකයන් දෙදෙනාටම ප්‍රතිපත්ති පිළිබඳ වැදගත්කමක්‌ නැහැ. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ බලය ලබා ගැනීම පමණයි. මහින්ද රාජපක්‍ෂ මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළිදැක්‌වූවේ තැපැල් ඡන්දය පැවැත්වෙන දෙවන දිනයේදීයි. තැපැල් ඡන්දදායකයන්ට ඡන්දය භාවිත කිරීමට ප්‍රථම ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අධ්‍යයනය කිරීමට අවස්‌ථාවක්‌ ලැබුණේ නැහැ.

පසුව හෝ ගෙන ආ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ විශ්‍රාම වැටුප් පනත, ඖෂධ පනත, අධ්‍යාපන පනත, ජල පනත, බීජ පනත ගෙන එන බව සඳහන් කර තිබෙනවා. සමාගම් ගැන පමණක්‌ සිතා රෝගීන් ගැන නොසිතා සැකසූ ඖෂධ පනත නැවත ගෙන ඒමට ඔවුන් මේ තුළින් උත්සාහ ගන්නවා.

ඒ වගේම බන්දුල ගුණවර්ධන මහතා සැකසූ අධ්‍යාපන පනතත් ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. මෙම පනත තුළින් පෞද්ගලික පාසල්, සමාගම් පනතෙන් ඉවත්කර සාමාන්‍ය පාසල් ප්‍රවාහයට ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. ජනාධිපතිතුමා සඳහන් කරන්නේ අධ්‍යාපනය රකිනවා කියලයි. නමුත් අපි ඔහුගෙන් අහන්නේ නිදහස්‌ අධ්‍යාපනය රකින්න නම් විශ්වවිද්‍යාල සිසුන්ගේ ඔළු පළන්නේ ඇයි කියලයි.

ජලය විකිණීම සඳහා පරණ ජල පනත ගෙන ඒම සිදු කෙරෙමින් තිබෙනවා. බීජ පනතත් එසේමයි. ව්‍යවස්‌ථාව සංශෝධනය කරනවා කිව්වත් එය කරන්නේ කෙසේද යන්න කිසිදු සඳහනක්‌ නැහැ.

සමාජ ප්‍රශ්නවලට උත්තර නොසොයන හා උත්තර නොදෙන ආණ්‌ඩුව බලයට උත්තර දෙමින් සිsටිනවා.

විධායකය අහෝසි කිරීම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාන සටන් පාඨයක්‌ වුවත් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ ගැන සඳහනක්‌ නැහැ. ඔහු කියන්නේ සංශෝධන කරනවා කියා පමණයි. ඔහු කරන්න යන එකම දේ ජනාධිපතිවරයා උසාවිය හමුවට කැඳවිය හැකි සංශෝධනය කිරීම පමණයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය යළි පුබුදමු ශ්‍රී ලංකා ක්‍රියාවලියේ දිගුවක්‌ සේ සැලකිය හැකියි. රට තුළ ජාතික ප්‍රශ්නයක්‌ ඇති බව මෙම අපේක්‌ෂකයන් දෙදෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයන්හි සඳහන් වන්නේ නැහැ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.