කුවේටයේදී වස බී මියගිය බව කියන
එක්‌දරු මවගේ හෘදය වස්‌තුවත් අතුරුදන්

අක්‌කාගේ මරණය ගැන මට සැකයි

මිය ගිය දේවිකාගේ
බාල සොහොයුරා පශ්චාත්
මරණ පරීක්‍ෂණයේදී කියයි

මීගමුව - විමල් කීර්ති

කුවේටයේ දිගු කලක්‌ ගෘහ සේවිකාවක්‌ ලෙස සේවය කළ 28 හැවිරිදි එක්‌ දරු මවක්‌ හදිසියේ කුවේටයේදී වස පානය කර සැකකටයුතු අන්දමින් මරණයට පත්වීමේ සිද්ධියක්‌ පිළිබඳව මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ සහ මීගමුව හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය කීර්ති සිරිජයන්ත විකුමරත්න හමුවේ පැවැති මරණ පරීක්‍ෂණයකදී අනාවරණය විය.

එසේ මිය ගිය කතගේ හෘදය වස්‌තුවද සිරුරෙන් අතුරුදන්ව තිබූ බව මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂිවලින් අනාවරණය විය. මෙලෙස කුවේටයේදී මරණයට පත්ව ඇත්තේ කොළඹ 14 මාදම්පිටිය මල්ලිමාරච්චි මාවතේ අංක 87-97/108 දරන නිවසේ පදිංචිව සිටි මනෝහරන් දේවිකා නමැති 28 හැවිරිදි එක්‌ දරු මවයි.

මෙහිදී කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ පො. කො. (70050) හේරත් මහතාගේ මෙහෙයවීම මත මියගිය කතගේ බාල සොහොයුරකු වන මනෝහන් හේමදීන් (23) මහතා සාක්‍ෂි දෙමින්,

මෙම සිද්ධියේදී මියගිය මනෝහරන් දේවිකා මගේ අක්‌කා. ඇය වසර පහක පමණ කාලයක සිට කුවේටයේ ගෘහ සේවිකාවක්‌ වශයෙන් සේවය කරනවා. ඇය වරින් වර ශ්‍රී ලංකාවට පැමිණ යනවා. දිනපතාම අක්‌කා මට දුරකථනයෙන් කථා කරනවා. ඇයට කිසිදු අසනීපයක්‌ තිබුණේ නැහැ. ඇය අවසන් වරට කුවේටයට 2013 මැයි මස 10 වැනිදා ගියා. ඒ බොරැල්ලේ විදේශ රැකියා ආයතනයකින්. ඇය අවසන් වරට මා සමග දුරකථනයෙන් කථා කළේ 2014 දෙසැම්බර් මස 28 වැනි දිනයි. එදින උදේ 7.30 ට පමණ ඇය මා සමග හොඳින් දුරකථනයෙන් කථා කළා. එදින සවස 3.30 ට පමණ නාඳුනන අයකු මගේ දුරකථනයට කථා කර කිව්වා. අක්‌කා වසබී රෝහලේ මිය ගොස්‌ ඇති බව. මම ගොස්‌ ඇය පිටරට ගිය ඒජන්සියට මේ බව කිව්වා. ඔවුනුත් එම ප්‍රවෘත්තිය සනාථ කළා. පසුව මෘත දේහය ලංකාවට එවා තිබුණා. මට මේ මරණය ගැන සැකයි. මීගමුව රෝහලේදී සිදු කළ ඇගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ඇගේ හෘදය වස්‌තුව සිරුරේ නැති බව වෛද්‍යවරයා කිව්වා.

මිය ගිය කතගේ සැමියා වන ලෙච්චමන් කාලිමුත්තු (30) මහතා සාක්‍ෂි දෙමින් මිය ගිය මගේ බිරිඳ රැකියාව සඳහා විදේශ ගතවීමට මම දැක්‌වූ අකමැත්ත නිසා ඇය මගෙන් වෙන්ව සිටියා. අපේ කුඩා දරුවාගේ භාරකාරත්වය භාරදී තිබුණේ ඇගේ දෙමාපියන්ටයි. මස්‌සිනා මට දැන්වූවා අක්‌කා (බිරිඳ) මිය ගොස්‌ ඇති බව.

මෙහි පශ්චාත් මරණ පරීක්‍ෂණය මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුහුල්හක්‌ මහතා විසින් පවත්වන ලදී. මරණ පරීක්‍ෂකවරයා මරණය පිළිබඳව විවෘත තීන්දුවක්‌ දෙන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.