මුහුදක්‌ නැති මොන්ගෝලියානු ධජය සහිත
පාවෙන අවි ගබඩා ශ්‍රී ලංකා මුහුදු කලාපයේ


ශ්‍රී ලංකාවේ ගාලු වරායට සැතපුම් 7 ක්‌ ඈතින් ජාත්‍යන්තර නැව් මාර්ගය ක්‍රියාත්මක වේ. මෙම ජාත්‍යන්තර නැව් මාර්ගයට සමීපව කලකට පෙර විදේශිකයන් මෙහෙයවු පාවෙන අවි ගබඩා දෙකක්‌ ක්‍රියාත්මක විය.

එහෙත් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙකී විදේශික පාවෙන අවි ගබඩා දෙකක්‌ අත්අඩංගුවට ගෙන ගාලු වරායට ගෙන පරීක්‌ෂණ මෙහෙයවනු ලැබීය. මෙම එක්‌ පාවෙන අවි ගබඩාවක්‌ වූ නැවක ඔසවා තිබුණේ මොන්ගොලියානු ධජයකි. එහෙත් මොන්ගෝලියාවට මුහුදක්‌ නැත. සති කීපයක්‌ තුළ කරන ලද පරීක්‌ෂණවෙලින් පසුව එකී නැව් දෙක හෙවත් පාවෙන අවි ගබඩා විදේශ සමාගම් විසින් මෙහෙයවන ලද්දක්‌ යයි තහවුරු වූයෙන් මුදා හැරීමට ක්‍රියා කෙරුණි.

ශ්‍රී ලංකාව අවට මුහුදේ විදෙස්‌ සමාගම් මෙහෙයවන පාවෙන අවි ගබඩා ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාවේ ආරක්‌ෂාවට තර්ජනයක්‌ විය.

සෝමාලි මුහුදු කොල්ල කරුවන්ගේ තර්ජනය නිසා එක්‌සත් ජාතීන්ගේ අන්ක්‌ලෝස්‌ ආයතනය රටවල් රැසකින් ඉල්ලීමක්‌ කරමින් වෙළෙඳ නැව්වලට ආරක්‌ෂාව යොදන ලෙස කියා සිටියේය.

මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනය නිසා නැව් සමාගම්වලට විශාල ලෙස රක්‌ෂණ ගාස්‌තු ගෙවීමටද සිදුවිය.

මේ අන්දමට ඉන්දියාවේ කොචින් වරාය ප්‍රදේශයේ සැරිසැරූ විදේශකියන් මෙහෙයවන අඩ්වන් නැව ඉන්දීය බලධාරීන්ට අල්ලා දීමටද මෙරටට හැකිවිය.

ශ්‍රී ලංකා නාවුක හමුදාව මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීමට ඉදිරිපත් වූයේ මේ පසුබිම මතය. එහෙත් වෙළෙඳ නැව් රැකීමට නාවික හමුදා නැවක්‌ යෑවීම යනු යුද්ධ නැවක්‌ යෑවීමකි. වෙළෙඳ නැව් සම්බන්ධ නීතිය යටතේ ඊට ඉඩක්‌ නැත.

මේ තත්ත්වය මත 2012 සැප්තැම්බර් 18 දා සිට නාවික හමුදාව මෙතෙක්‌ දියත් කළ මුහුදු කොල්ලකරුවන් මර්දනය රජයේ සමාගමක්‌ හා පුද්ගලික ආයතනයක්‌ වෙත පැවරීමට රජය අනුමැතිය දුන්නේය.

ශ්‍රී ලංකාවට ආසන්නම ජාත්‍යන්තර නැව් මාර්ග දෙකක්‌ ක්‍රියාත්මක වීම නිසා මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජන එල්ලවන රතු මුහුද, ඕමාන් බොක්‌ක හා ගාල්ලට ඔබ්බෙන් පිහිටි ජාත්‍යන්තර නැව් මාර්ග අසලද පාවෙන අවි ගබඩා හෙවත් සන්නද්ධ රැකවලුන් සහිත නැව් තුනක්‌ ස්‌ථානගත කිරීමට එකී ආයතන වූ රජය සතු රක්‌නා ලංකා ආරක්‌ෂක සමාගම සහ ඇවන්ට්‌ ගාඩ් මැරිටයිම් සර්විසස්‌ ආයතන ක්‍රියා කළේය.

මේ පාවෙන අවි ගබඩා නිසා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ හිටපු සාමාජිකයන් 3800 කට රැකියා හිමි විය. එසේම විදේශ වෙළෙඳ නැව්වලට සන්නද්ධ රැකවළුන් සහ ශ්‍රී ලාංකික අධීක්‍ෂණය යටතේ අවි ආයුද සැපයීමට මෙකී සමාගම ක්‍රියා කළේය.

පසුගිය දෙසැම්බර් මාසය වනවිට මෙකී සමාගම රක්‌නා ලංකා ආරක්‌ෂක සමාගමට රුපියල් මිලියන 88 ක්‌ද, නාවික හමුදාවට මිලියන 1-1/2 ක්‌ද ගෙවනු ලැබීය.

එහෙත් පසුගිය ඉරිදා ගාලු පොලිස්‌ කලාපයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුට ලත් තොරතුරක්‌ මත නිත්‍යානනුකූලව පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාවට සීල් තබා විමර්ශනයට ලක්‌ කෙරිණි. මේ පුවත ලොව පුරා ප්‍රචාරය විය. ඉන් මුහුදු කොල්ලකරුවන්ට එරෙහි ශ්‍රී ලංකා ක්‍රියාදාමය මුළුමනින්ම අනාවරණය විය. පසුගිය සඳුදා පොලිසිය එකී පාවෙන අවි ගබඩාවට එල්ල කළ චෝදනාව අස්‌කර ගත්තේය. එහෙත් ජාතික ආරක්‌ෂාවට එරෙහි රහසක්‌ හෙළිවීමේ වගකීම භාරගන්නේ කවුද? මෙය ඉතාම අවාසනාවන්ත සිදුවීමකි.

ජනතාවට හෙළි නොකළ යුතු කරුණු ඇතැයි බ්‍රිතාන්‍ය හිටපු අගමැති වින්සන්ට්‌ චර්චිල් වරක්‌ කීවේය. එහෙත් අපේ රටේ එවන් ක්‍රමවේදයක්‌ අනුගමනය වේද?

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.