සරා ගොයියා බය වූ පොලිසිය
නැවත වුවමනා කර තිබේ


අලුත් ආණ්‌ඩුවක්‌ යටතේ ද පොලිසිය සිය "පරණ රාජකාරි" ස්‌වභාවය අත්හැර දමා ඇති බවක්‌ පෙනෙන්නට නැත. පසුගිය වසර කිහිපයක කාලය තුළම zපොලිස්‌ වැඩZ ගැන ජනතාව තුළ එතරම් පැහැදීමක්‌ තිබුණේ ද නැත. ජනතාව ඇත්තටම පොලිසියට බය වග සැබෑවකි. එය අතීතයේදී "සරා ගොයියා", පොලිසිය යෑයි බිය වී තැපැල්කරුවාගේ කාකි ඇඳුමට බිය වී දිව යැමට වඩා වෙනස්‌ එකකි. එකල (අපට හිතෙන හැටියට 70 දශකයේ පසුවන තුරුත්) පොලිසියට ජනතාව තුළ තිබුණේ බියකට වඩා ගෞරවයකි. කවුරුන් හෝ පැන දීවේ වෙඩි කන්නට වේ යෑයි යන සැකයෙන්ම නොවේ. ගෞරවය පිණිසය. එකල අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීම "වෙඩි තැබීම" පවා පොලිසිය නිර්දය ලෙස විවේචනයට බඳුන් නොවන මට්‌ටමේ ප්‍රශස්‌ථ එකක්‌ විය. සරදියෙල්ගේ පටන් මරු සිරා, පොඩි විඡේ මේ ආදී වශයෙන් වෙඩි කා මළ චණ්‌ඩින්ට වෙඩි තැබූ පොලිසිය ගැන ජනතාවගේ කිසිදු ආරෝවක්‌, අපුල හැඟීමක්‌ තිබුණේ නැත. එයත් අද වන විට බරපතළ ගණයේ පාතාල සාමාජිකයනට හෝ අපරාධකරුවෙකුට පොලිසියෙන් වෙඩි තැබූ විට පමණක්‌ නොව අත පය කඩා දැමූ විගස ජනතාව කෝප වන්නේය. නීතිය අතට ගන්නේය. ඒ පෙර කී අපරාධකරුවන් ගැන ස්‌නෙහයෙන් නොව වෙඩි තැබූ පසුබිමෙහි ඇති අපැහැදිලි බව නිසා හටගන්නා විචිකිච්ඡාව නිසාය.

මෙය ලියවෙන්නේද එවැනි අප්‍රසන්න ආකාරයේ වෙඩි තැබීමක්‌ ඊයේ වාර්තා වී තිබීම හේතුවෙනි. පොලිසිය විසින් ඒ වෙඩි තැබීම සිදු කර තිබුණේ පුත්තලම, තිල්අඩිය ප්‍රදේශයේදීය. වෙඩි ප්‍රහාරයට ලක්‌ වූ තිස්‌හත් හැවිරිදි පුද්ගලයකු පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත්තේ බරපතළ තත්ත්වයෙනි. වෙඩි ප්‍රහාරයට ලක්‌ වූ පුද්ගලයා පොලිස්‌ අණ නොතකා යතුරුපැදියක්‌ ධාවනය කළ බවත්, ඔහු සිය යතුරුපැදිය පුත්තලම රෝහල දෙසට ධාවනය කර ඇති බවත් කියවේ. පොලිසිය වෙඩි තැබීම සිදුකර ඇත්තේ එම යතුරුපැදිය හඹාවිත් අදාළ පුද්ගලයා දණගැස්‌වීමෙන් අනතුරුව බව කියෑවේ. කෙසේ හෝ මෙම සිදුවීමේදී වෙඩි වැදුනු පාර්ශ්වය නිවැරැදි ආකාරයෙන් කටයුතු කළ බවක්‌ නොපෙනේ. එහෙත් ප්‍රශ්නය වන්නේ ආයුධ නොදරන පුද්ගලයකු යටත් කර ගැනීමට තරම් "හයියක්‌" ඇති පොලිසියේ මහත්වරු හිඟ ද යන්නය. මෙම සිදුවීම විමර්ශනය කරන ඕනෑම කෙනෙකුට පෙනී යන්නේ අදාළ පුද්ගලයා යටත් කිරීමට "ඔලුවට වෙඩි තැබීමේ අවම බලය" හෝ භාවිත කිරීමට අවශ්‍ය නොවූ බවය.

පොලිසියට ආයුධ ලබාදීම කලකදී අවශ්‍ය යෑයි තීරණය කෙරිණි. යළිත් එය එසේ නොවේ යෑයි තීරණය කෙරිණි. නැවත එවැනි අවශ්‍යතාවක්‌ පැනනැගුණේ කුරුණෑගලදී රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ එක්‌ අයකු අමු අමුවේ මරා දැමීමෙන් පසුවය. එහෙත් එකී කාලයට පෙරාතුවත් පොලිසිය අත්තනෝමතික ලෙස ගිනි අවි භාවිත කළ අවස්‌ථා විය. මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු අමු අමුවේ ඝාතනය කිරීම ජනතාව පොලිසිය දෙස අතිශය අප්‍රසන්න හා අපුල ආකාරයේ ප්‍රතිචාරයන් දක්‌වන්නට වූයේ එහෙයිනි. නීතිය හා සාමය රකින්නට බැඳී සිටින පොලිසිය ගැන ජනතාවට කිසිදු විශ්වාසයක්‌ නැති තරමට බාල්දු විය. නම කැත කරගත් දේශපාලනඥයන්ගේ උද්ඝෝෂණ, පෙළපාලි සඳහා පොලිස්‌ ආරක්‍ෂාව සපයන පොලිසියම සාමකාමී ජනතා උද්ඝෝෂණවලට ප්‍රහාර එල්ල කිරීම නිරතුරුවම දක්‌නට ලැබිණි. මෙවැනි තොරතුරු දින සහිතව දීර්ඝ වශයෙන් ලියා දැක්‌විය හැකිය. එවන් ජරාජීර්ණ දිනපොතක්‌ ඇති පොලිසිය කෙරෙහි ජනතා විශ්වාසය පළුදුවීම රැකගන්නට හැකියාව ඇත්තේ ද පොලිසියටමය. පුත්තලමේ ඉහත දැක්‌වූ සිද්ධිය නරක ලෙස ඒ විශ්වාසය පළුදු කිරීමට හේතු වේ. මෙය සුළු සිදුවීමක්‌ ලෙස පොලිස්‌ නිවේදන නිකුත් විය හැක. එහෙත් එවැනි දේවලින් ඇතිවිය හැකි හානිය සුළු නැත.

"පොලිසියට" ත් ප්‍රශ්න ඇති බව අපි පිළිගනිමු. පොලිසියේ ඉහළම නිලවල සිට පහළම නිලය දක්‌වා මේ "කලකිරීම කළමනාකරණය" කරන අයුරු අපි දැක ඇත්තෙමු. අසා ඇත්තෙමු. බොරැල්ල පොලිසියේ කම්කරු වැඩට යොදවා සිටි පොලිස්‌ නිලධාරියාගේ සිට කුසලතා සහ ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගත් උසස්‌වීම් අහිමි පොලිස්‌ නිලධාරීන් රැසක්‌ මේ කලකිරීම සමඟ සහයෝගයෙන් ජීවත් වන බව අපි පොලිස්‌පතිතුමාට සිහිපත් කර සිටිමු. එවැනි කලකිරීමකින් සිටින පිරිසකගෙන් "අවම බලය භාවිත කරන පොලිස්‌කාරයෙක්‌" මිස කාකි ඇඳුමේ ගෞරවය රකින නිලධාරියෙක්‌ බලාපොරොත්තු විය නොහැකි බව ද සිහිපත් කරමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.