ජයග්‍රාහක ජවිපෙ

නරේන්ද්‍ර මෝදි බලයට එන්නට හය මාසයකට පෙර ඔහු හම ගහන්නට ඇමරිකාව සූදානමින් සිටියේය. ඉන්දියාවේ හින්දු මුස්‌ලිම් ජාතිවාදී අරගලයකට තුඩු දුන් සිදුවීම් කිහිපයකට මෝදි වගකිව යුතු බව කියා සිටි ඇමරිකාව ඔහුගේ ඇමරිකන් වීසා බලපත්‍රය පවා තහනම් කළේය. එහෙත් අද මෝදි ජයගත් පසු ඇමරිකාවේ ස්‌ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස්‌ වී තිබේ. නොබෝදා ඉන්දියාවට පැමිණි ඇමරිකන් ජනාධිපති බරක්‌ ඔබාමා කියා ඇත්තේ මෝදි අඳින ජාතියේ කුර්තාවක්‌ අඳින්නට තමන්ද කැමැති බවය. හෙට මෝදි කන තෝසේ සහ වඩේ කෑමටත් අනිද්දා හින්දි භාෂාවෙන් කතා කිරීමටත් ඔබාමා ප්‍රිය කරනවා ඇත. මිනිසුන් මේ විදියට දෙබිඩි කතා කියන්නේ කෙසේද යන්න අපට නම් නොතේරේ. මෝදි ඉන්දියානු මැතිවරණයෙන් ජයගත් විගස ඔහුට විරුද්ධව එතෙක්‌ පතුරුවමින් සිටි සියලු චෝදනා නිෂ්ප්‍රභ කරන්නට ඇමරිකන්කාරයාට මොළය පහළ වූයේද?

ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ

ඔබාමා පැත්තක තබමු. මේ වූ කලී අපේ ප්‍රශ්න ගැන කතා කිරීමට තිබෙන කාලයයි. පසුගිය ජනපතිවරණයේ ජයග්‍රහණය තුනට බෙදෙන බව අපගේ වැටහීමයි. පළමු ජය වාර්තා කරන්නේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේනය. දෙවැනි ජය හිමි වන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයට සහ එහි නායකයා වූ රනිල් වික්‍රමසිංහටය.

තුන්වැන්නා වූ කලී ජනතා විමුක්‌ති පෙරමුණය. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් අත තිබූ අතුරලියේ රතන හාමුදුරුවන් සහ පාඨලී චම්පික රණවක අත තිබූ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන සහ එජාපය අත තිබූ දූෂණ විරෝධී ව්‍යාපාරය සියතට ගත් ජනතා විමුක්‌ති පෙරමුණ සිය දේශපාලන ගමන් මගෙහි ජයග්‍රාහී ඉදිරි ගමනක්‌ මේ වන විට වාර්තා කරමින් සිටියි. වසර 2010 දී මහින්ද රාජපක්‍ෂ දෙවන වරටත් ජයග්‍රහණය කිරීම සමගම ජනතා විමුක්‌ති පෙරමුණට එතෙක්‌ ඔවුන් වාර්තා කරගෙන සිටි "තුන්වන බලවේගය" නමැති තත්ත්වය අහිමි විය. එය එම පක්‍ෂය දේශපාලන වශයෙන් ඉතාම නරක ලෙස නන්නත්තාර වූවකි. එවකට ජවිපෙ නායකයාව සිටි සෝමවංශ අමරසිංහට තවදුරටත් පක්‍ෂය පවත්වාගෙන යැමට බැරි බව බැලූ බැල්මට පෙනී ගිය අතර තවත් දෙවසරකට පසු අමරසිංහ ගොස්‌ එතැනට අනුර කුමාර දිසානායක පැමිණියේය. එය පක්‍ෂයට තරුණ නායකත්වයේ ආලෝකය පතිත වීමකි. තම දේශපාලන ඉතිහාසය තුළ ජනතා විමුක්‌ති පෙරමුණ වැරදි තීන්දු දෙකක්‌ ගෙන තිබිණි. එනම්, ඔවුහු කාලයක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආණ්‌ඩු හැදීමට උදව් කළහ. තවත් කාලයකදී ඔවුහු ශ්‍රීලනිපයට එරෙහිව එජාපය සමග එක්‌ වූහ. මේවා වැරදි තීන්දුවලට වඩා දේශපාලන අත්දැකීම්ය. කෙසේ වුවද ජවිපෙ කිසිදු කාලයක දූෂණ සහ වංචාවලට සම්මාදම් වී සිය නම කැත කර ගත්තේ නැත. පසු කාලයේදී ජවිපෙ සතු එකම සහ හොඳම දේශපාලන ධනය වූයේද මේ කාරණයය. ඒ නිසා දූෂණ විරෝධී ව්‍යාපාරයක්‌ මේ රටේ පවතීද, එය භාර ගැනීමට හෝ භාර දීමට ජවිපෙ තරම් සුදුසු දේශපාලන කණ්‌ඩායමක්‌ දැනට මේ රටේ නැත. මේ අනුව පසුගිය ආණ්‌ඩු කාලයේදී සිදුවී යෑයි කියන විවිධ දූෂණ සහ අක්‍රමිකතාවලට එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරමින්ද කරුණු ගොනු කරමින්ද ජවිපෙ ඉදිරියටම යමින් සිටී. ඒ අතර මේ රටේ තුන්වන දේශපාලන බලවේගය ලෙස යළි ඔවුහු ඉස්‌මතුව සිටිති. දූෂණ ගැන හොයන, ඒ ගැන නිතර අවදියෙන් සිටින බලවේගයක්‌ මේ රටට සෑම කල්හිම අවශ්‍යය. ජවිපෙ එතැනට පැමිණීම ගැන මේ රටේ ප්‍රගතිශීලී ජනයා මහත්සේ කැමැතිය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.